මම ලැබෙන්නෙ නැති දේවල් ගැන හිතලා දුක් වෙන කෙනෙක් නෙමෙයි
මනීෂා චංචලා යනු ගායනයෙන්, රංගනයෙන් මෙන්ම නිවේදන කටයුතුවලින් දස්කම් පාමින් රසික ආදරය දිනාගත් තැනැත්තියකි. මේ දිනවල ‘සිඳූ’ සහ ‘සිල්ලර සමනල්ලු’ ඔස්සේ ආලින්දයට පැමිණෙන ඇය ‘සාරවිට’ තරු කතාබහට මෙලෙස සම්බන්ධ වූවාය.
මේ දවස්වල ‘සිඳූ’ එකේ සහ ‘සිල්ලර සමනල්ලු’ එකේ වැඩකටයුතු තමයි කෙරීගෙන යන්නෙ.
වැඩිපුරම මෙගා ටෙලිනාට්‍යය එක්කද වැඩකටයුතු කරන්නේ?
මෙගා ටෙලිනාට්‍යයක්ද? ඒකාංගික ටෙලිනාට්‍යයක්ද කියන එක ගැටලුවක් නෙමෙයි. නිර්මාණය ඇතුළෙ තියෙන දේයි වැදගත්. ඒක නිසා මෙගාද, ඒකාංගිකද කියන එක තුළ පරතරයක් දකින්නේ නෑ.
එතකොට මෙගා හෝ ඒකාංගි ටෙලිනාට්‍යයක් තුළ ගුණාත්මක කියන කාරණාව මනින්නේ කොහොමද?
ටෙලිනාට්‍යයක් තුළින් සමාජයට යම්කිසි දෙයක් දෙනවා නම්, ඒ තුළින් සමාජයට යම්කිසි කාර්යයක් වෙනවා නම්, මෙගාද ඒකාංගිකද කියන දේ වැදගත් නෑ.
ඒ කියන්නේ ‘සිඳූ’ කියන ටෙලිනාට්‍යය තුළින් සමාජය යම්කිසි කාර්යයක් වෙනවා කියලා ඔබ විශ්වාස කරනවාද?
ඔව්, ඇත්තටම පවුලේ ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් ටෙලිනාට්යයක්නේ. ඒ කියන්නේ බාල, මහලු ඕනෑම කෙනෙක්ට නරඹන්න පුළුවන් නාට්‍යයක්. ඒ ඒ වයස්වලට මේ ටෙලිනාට්‍යය තුළින් හොඳ දෙයක් ලබා දෙනවා.
‘සිල්ලර සමනල්ලු’ ගැන කතා කළොත්?
‘සිල්ලර සමනල්ලු’ එකේ මම කරන්නේ ටිකක් දඟකාර සහ හැම දෙයකටම ඉස්සරහට යන චරිතයක් ලෙසයි. ඒ නිසා වෙනස් චරිතයක් මට ‘සිල්ලර සමනල්ලු’ ටෙලිනාට්‍යය තුළින් ලැබුණා කියලා කියන්න පුළුවන්.
සිනමාව තුළින් දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි?
චිත්‍රපට ක්ෂේත්රයට මම දැනට රංගනයෙන් දායක වෙලා නැහැ. නමුත් පසුබිම් ගායනයෙන් චිත්‍රපට තුනක් සඳහා දායක වෙලා තියෙනවා. හොඳ තිරපිටපතක් ලැබුණොත් රංගනයෙන් දායක වෙන එක ගැන හිතලා බලනවා.
ලැබුණු ආරාධනාවලට පෞද්ගිලකව තෘප්තිමත් වුණේ නැද්ද?
මට කාලයක් තිබුණා එකදිගට චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණා. උසස් පෙළ කරන ගමන් හිටියේ. ඒ නිසා චිත්‍රපට දෙක තුනක් මගහැරුණා.
ගායනයට දැන මොකද වෙන්නේ?
ගායනය පැත්තෙනුත් දේවල් සිදු වෙනවා. මේ අවුරුද්දේ අලුත් ගීතයක් එළිදක්වන්න ඉන්නේ. ඒ ගැන පසුව විස්තර කියන්නම්.
කරපු නිර්මාණ ගැන කිව්වොත්?
සින්දු නම් දැනට ගොඩක් කරලා තියෙනවා. ‘සිඳූ’ කියන ටෙලිනාට්යයෙන්නේ මට ජනප්‍රියත්වයක් හම්බ වුණේ. ඒකෙන් පස්සේ එළිදක්වපු ගීත දෙක තමයි ‘අවාරේ’ සහ ‘මගේ කියා’ කියන්නේ. ඉතිං ඒ දෙකට කලින් කරලා තිබුණු ගීතවලට වඩා ලොකු ප්‍රතිචාර ලැබුණා. ඒ ගීත දෙකටම ගොඩක් අය ආදරේ කළා.
ඔබට ගොඩක් දෙනා ආදරය කරන්නේ ගායිකාවක් විදියටද, එහෙමත් නැත්නම් රංගන ශිල්පිනියක ලෙසද?
එහෙම වෙනසක් නැහැ. ගායිකාවක වුණත්, රංගන ශිල්පිනියක වුණත් ඒ අංශ දෙකෙන්ම මට ආදරය කරන පිරිසක් ඉන්නවා.
ඔබ කැමැති ඔබේ ගායිකාවටද? නැත්නම් රංගන ශිල්පිනියටද?
මෙහෙමයි. මේ දෙකම මට ලැබුණේ මගේ මොකක්හරි වාසනාව නිසානේ. ඒ නිසා ඒ ක්ෂේත්රයන් දෙකටම මම ආදරය කරනවා වගේම ගරු කරනවා.
ඔබ කවුරු වෙනවා දකින්නද දෙමවුපියන් හීන දැක්කේ?
මම මුලින්ම ක්ෂේත්රයට එන්නේ ගායනයෙන්නේ. අම්මිත් කැමැති වුණේ මම ගායනයෙන් ක්ෂේත්රයට යනවාට. නමුත් මම ගායනයට කලින් නිවේදනය ක්ෂේත්රයෙත් හිටියානේ. ඒ වගේම දැන් රංගනයත් කරනවා. ඉතිං කවදාවත් මේ ක්ෂේත්රයට විතරක් දායක වෙන්න කියලා ඒ අය කවදාවත් මට බලපෑමක් කරන්නේ නැහැ. මේ ක්ෂේත්රයන් තුනේම වැඩකටයුතු කරගෙන යන්න මට ඔවුන්ගේ සහයෝගය ලැබෙනවා.
නිවේදිකාවට මොකද වුණේ?
ගායන ක්ෂේත්රයටත් එන්න කලින් මම ළමා නිවේදිකාවක් විදියට වැඩකටයුතු කළා කඳුරට ගුවන් සේවයේ. එතැනින් තමයි මගේ ගමන පටන් ගන්නේ. ඊට පස්සේ තමයි ලිට්ල් ස්ටාර් සීසන් 02 සඳහා ඇතුළත් වුණේ. කඳුරට ගුවන් සේවයෙන් පස්සේ නිවේදනය කියන එක කළේ දෙරණ නාළිකාවේ. දෙරණ නාළිකාවේ නිවේදිකාවක් විදියට වැඩ කළා. ඒ විදියට තමයි නිවේදනය පැත්තේ මගේ වැඩකටයුතු සිදු වුණේ.
ඉදිරියට මේ කටයුතුවලමද නියැළෙන්නේ?
ගායනය, නිවේදනය සහ රංගනය කියන මේ කාර්යයන් තුනම මම බාහිර වශයෙන් තමයි කරන්නේ. කවදාහරි දවසක මම මගේම ව්‍යාපාරයක් එක්ක ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.
දැනට කලාවට එකතු වෙලා කොච්චර කල්ද?
නිවේදනය ක්ෂේත්‍රයත් එක්ක ගත්තොත් අවුරුදු එකොළහක් වගේ වෙනවා.
මේ කාලය තුළ ලැබුණු ගුරුහරුකම්?
මේ ක්ෂේත්රයන් තුනෙන්ම 50%ක් විතර අත්දැකීම් ලබලා තියෙනවා කියලා මම හිතනවා. මට ප්‍රවීණයෝ සෑහෙන්න ප්‍රමාණයක් එක්ක වැඩ කරන්න ලැබිලා තියෙනවා. ඉතිං ඇත්තටම කියන්න ඕන ඒ අය හිතේ තියාගෙන හංගගෙන වැඩ කරන්නේ නැහැ. කියලා දෙන්න ඕන දේවල් කියලා දෙනවා. ඒ වගේ ලොකු සහයෝගයක් හම්බ වුණා. මම හිතන්නේ මට මේ තරම් දුර එන්නත් ඒ දේවල් හේතුවක් වුණා.
ආපු ගමන ගැන තෘප්තිමත්ද?
මම ලැබෙන දෙයින් සතුටු වෙන කෙනෙක්. කිසියම් දෙයක් වැඩිපුර ලබාගන්න හරි, ලැබෙන්නේ නැති දේවල් ගැන හිතලා දුක්වෙන කෙනෙක් නෙමෙයි. එහෙම වෙන්න මම ආස නැහැ. ඉතිං අද වෙනකොට ලැබිලා තියෙන දේවල් සහ ලැබෙන දේවල් ගැන තෘප්තිමත්.
ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?
ජනප්‍රියත්වය කියන දේ අපට එක මට්ටමක පවත්වාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපට ජනප්‍රියත්වය හිමිවෙනවා කියන්නේ මිනිසුන්ගේ ආදරය ලැබෙනවා කියන එකනෙ. මම හිතන්නේ නිර්මාණ කීයක්ද කියන දේ නෙමෙයි අදාළ වෙන්නේ. එක චරිතයක් ඔස්සේ මිනිසුන්ගේ හිතේ රැඳුණා නම්, අපට තවමත් ඒ තුළින් ආදරේ නම් ඒක තමයි ලබන්න පුළුවන් ලොකුම දෙය. ජනප්‍රියත්වය කියන ආදරේ මට තවමත් ලැබෙනවා කියලා මම හිතනවා.
ඒ ආදරේ හෝ ජනප්රිත්වය ලැබෙන්න වාසනාව නිසාද?
මම හිතන්නෙ වාසනාවයි දක්ෂතාවයි දෙකම තියෙන්න ඕන.
වෘත්තීමය රංගන ශිල්පියක් වීමට අද ක්ෂේත්රය තුළ හැකියාව තිබෙනවාද?
මෙහෙමයි. තමන් ජීවත් වෙන විදිය අනුව තමන් ඒ දේ. වෘත්තියක් කරගෙන ඉන්නවා නම්, තමන් ඒ ක්ෂේත්රයේ නියැළෙන විදියට තමයි අපට ඊට පිළිතුරු හම්බවෙන්නේ. කලාව කියන්නේ හරි නැති තැනක් එහෙම කියලා මම කියන්නේ නෑ. තමන් ජීවත් වෙන විදියත් එක්ක තමන්ට ලැබෙන දේවල් තමයි තියෙන්නේ. ඒක දවසින් දවස වෙනස් වෙමින් යනවා. අපි දැන ගන්න ඕන අපේ සීමාවල් ඇතුළෙ ඉන්න.
අවසාන වශයෙන් කිව්වොත් ඉදිරි කටයුතු සහ බලාපොරොත්තු ගැන?
මේ දවස්වල ටිකක් මහන්සි වෙනවා මගේ ඉගෙනීම පැත්තෙන්, මගේ ව්‍යාපාර ක්ෂේත්රයට අඩිතාලමක් තියන්න. ඉතිං ඒ දේවල් එක්ක තමයි මේ දවස්වල වැඩිපුර ඉන්නේ. ඊට අමතරව නාට්‍ය දෙකෙහි වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
Dilan Chryshantha