මම ලංකාවට ඇවිල්ලා ටික දවසයි
වර්තමාන පරම්පරාව තුළ බොහෝ දෙනෙකුගේ ආදරය ලබන රංගන ශිල්පිනියෙකු ලෙස ලෝචනා ඉමාෂි හැඳින්විය හැකිය. විදෙස්ගතව ජීවත්ව සිටින ඇය, මේ දිනවල නැවත ඇය ලංකාවට පැමිණ තිබේ. ඇයගේ අලුත් කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට මෙවර ‘සාරවිට’ තරු කතාබහට අප මෙලෙස ඇය එක් කර ගනු ලැබුවා.
මේ දවස්වල මොකද වෙන්නේ?
මම ලංකාවට ඇවිල්ලා ටික දවසයි. ගිය සතියේ තමයි ලංකාවට ආවේ. ආව ගමන් පුරුදු විදිහටම රූපවාහිනි වැඩසටහන්වලට දායක වෙන්න ගත්තා. එක ටෙලි නාට්‍යයක් තියෙනවා මම දායක වුණු. ඒකේ ඉතුරු ටික දැන් කරන්න ඉන්නේ. අලුත් ඒවා කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. මොකද මම ලංකාවට ආවට පස්සෙනේ වැඩ පටන් ගන්නේ. කාලේ බෙදාගෙන ඒ වැඩ කටයුතු කරනවා.
යම් කිසි නිර්මාණයක වැඩ කටයුතුවලටද ලංකාවට එන්නේ?
මම යම් කිසි වැඩක් කළොත් ඒකේ ඉතුරු ටික කරන්න සමහරක් වෙලාවට එන වෙලාවල් තියෙනවා. ඇතැම් වෙලාවට බබාගේ නිවාඩුවට, වෙනසකට ලංකාවට එනවා. මේ හේතු තමයි ගොඩක් වෙලාවට ලංකාවට එන්න හේතු වෙන්නේ. ගොඩක් වෙලාවට වැඩවලට තමයි එන්නේ.
ලංකාවේ නැති නිසා නිර්මාණ කටයුතු මඟ හැරෙනවාද?
ඔව් අනිවාර්යෙන්ම. මොකද ගොඩක් අය හම්බ වුණාම, කතා කළාම කියන දෙයක් තමයි මම එක දිගට ලංකාවේ නැති නිසා දිග වැඩකට මාව ගන්න අපහසුයි කියන එක තමයි ඒ ගොල්ලෝ කියන්නේ. ඇත්තටම ඒක ලොකු හේතුවක්. යන්න අන්තිම මොහොතේ මට වැඩ ගොඩක් ආවා. නමුත් මට ඒ අයට කියන්න සිද්ධ වුණා මම ලංකාවෙන් යන නිසා මම ඒක බාර ගත්තොත් ඒ අය අමාරුවේ වැටෙනවා කියලා. කොටස් කිහිපයක් සඳහා දායක වෙලා ඒක විකාශය වෙන්න ගත්තාම මම ලංකාවේ නැති එක ප්‍රශ්නයක් වෙනවානේ. ඒක අපහසුවෙන් හරි මට කියන්න වෙනවා. ඒ වගේ හොඳ වැඩ ගොඩක් අතපසු වුණා මම යන එන එකත් එක්ක. හැබැයි මම දැන් තීරණයක ඉන්නවා වැඩක් බාර ගත්තොත් මම ඒ වැඩේ ඉවර කරලා තමයි යනවා නම් යන්නේ කියලා.
නිර්මාණ සඳහා වැඩි වශයෙන් දායක වුණේ නැහැ කියල නම් රසික ආදරේ අඩුවක් වෙලා නැහැ නේද?
ඒක නම් මම හිතන්නේ වාසනාව වෙන්න ඇති. ලංකාවේ එක දිගට රැඳෙන්නේ නැති එක නිසා මම නිර්මාණවලට දායක වෙනවා අඩුයි. නමුත් මොකක්හරි වාසනාවකට වෙන්න ඇති මට අදටත්, ලංකාවට අඩිය තියෙන කොටත් ඒ ආදරය, පිළිගැනීම ඉහටත් උඩින් තියෙනවා. අදටත් ලංකාවේ රූපවාහිනි මාධ්‍ය තුළින් මාව පිළිගන්න, මගේ වැඩසටහන් කරන්න හැමෝම ආසාවෙන් ඉන්නවා. අදටත් මට එහෙම තැනක් ලැබෙන්නේ මගේ වාසනාව නිසා වෙන්න ඇති. නිර්මාණවල අඩුවක් තිබ්බත් ආදරය නම් කිසි අඩුවක් නැහැ. ඒ නිසා හදවතින් ඒකට ගරු කරනවා.
කාර්යබහුල අම්මා කෙනෙක් නේද දැන්?
බබා එක්ක ගත කරන කාලය හරිම ත්‍රාසජනකයි කිව්වොත් හරි. මොනවා කොයි වෙලාවේ කර ගනීද කියලා දන්නේ නැතුව ඉන්නේ. අද කාලේ ළමයි ගොඩක් දඟයි. අපේ මේක පළවෙනි අත්දැකීමනේ. ඉතින් ඒක වෙනමම ජීවිතයක්. ඇහැ ගහගෙනම ඉන්න ඕනේ. පොඩ්ඩක් එහා මෙහා වුණොත් මොන පාඩුවක් කරයිද, එයා මොනා කරයිද කියලා දන්නේ නැහැ. පොඩි වෙනසක් තියෙනවා. එයා එක්ක ගත කරන එකේ සතුටකුත් තියෙනවා. ඒ වගේම බයකුත් තියෙනවා එයා මොනවාහරි දෙයක් කර ගනීද කියන එක ගැන. ඔය හැම දෙයක්ම තියෙනවා.
‘අම්මා’ කියන චරිතය ගැන මොකද හිතෙන්නේ?
අපිට අම්මා කියන තැනින් දැන් කවදාවත් ගැලවීමක් නැහැ. මොකක්හරි නාට්‍යයක චරිතයක් කළොත් වැඩිම උනොත් කොටස් 500ක් වගේ. ඒ චරිතේ එතනින් ඉවරයි. ඇත්තටම කොතනින්වත් අපේ ජීවිතයේ ගැලවීමක් නැහැ. අදටත් අපේ අම්මලා අපිව අතඇරලා නැහැනේ. අපේ ළමයිව බලනවා. අපිව බලනවා. ඕක තමයි ජීවිතේ. අපි ජීවත් වෙනකම් පුතා එක්ක බැඳීම තියෙනවා.
වර්තමානයේ කලාකරුවන්ගේ පවුල් ජීවිතය සාර්ථක නැහැ කියලා ගොඩක් අය චෝදනා කරන්නේ ඇයි?
නැහැ. ඒක පිටින් බලලා තීරණය කරන්න බැහැ. මම දන්න විදිහට මේ ක්ෂේත්රයේ ඉන්න කෙනෙක් විදිහට ගොඩක් අය තමන්ගේ පවුල රැකගෙන ජීවත් වෙන්න බොහෝ ලෙස උත්සහ කරනවා. ප්‍රශ්න නැතුව නෙමෙයි. නමුත් එයාලා හැමෝම උත්සහ කරන්නේ පවුල ඇතුළේ ඉන්න. පිටින් බලන මිනිස්සුන්ට සමහරක් විට රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ පවුල් අවුල් තියෙනවා කියලා කිව්වට ඒවා සාමාන්‍ය ජීවිත තියෙන අයගෙත් තියෙනවා. ඒ දේවල් එළියට පේන්නේ නැහැ. ප්‍රසිද්ධ පුද්ගල අයගේ පවුල්වල පොඩි දෙයක් වුණොත් ඒක ලොකු විදිහට තමයි ගොඩක් අය දකින්නේ. මම ඉන්න ක්ෂේත්රය තුළ ගොඩ දෙනෙක් තමන්ගේ පවුල රැක ගන්න ලොකු කැපකිරීම් කරනවා. මම ඒක දැකලා තියෙනවා. මම දකින විදිහට වෙන තැන්වලට වඩා අපේ අය පවුල ආරක්ෂා කර ගැනීමට උත්සහ කරනවා වැඩියි. මම ගොඩක් පවුලට ලැදි කෙනෙක්. මට ගොඩක් පිරිස ඕනේ. මට බබයි, සැමියටයි අමතරව මගේ අම්මා තාත්තා, මගේ අක්කා නංගි එක්ක ගෙවන ජීවිතේ මම ගොඩක් සතුටින් ඉන්නවා.
දේවල් ආරක්ෂා කරන්න කැපකිරීම් කරන්න සිද්ධ වෙනවාමද?
අනිවාර්යෙන්ම. අපිට විශේෂ කැප කිරීමක් කරන්න වෙනවා. අපි කියන චරිතවලට වැරැද්දක් වෙනකන් බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. වැරදෙනකන් ඉන්න පිරිසක් ඉන්නවා. ඔවුන් එක්කනේ මේ සමාජයේ ජීවත් වෙන්න වෙන්නේ. අපේ පොඩි දෙයක්හරි ඒ අය ලොකු කළොත් අපේ ජීවිතයම විනාශ වෙනවා. ඉතින් ඒ මිනිස්සුන්ට අපේ වැරැද්දක් නොපෙනෙන විදිහට අපේ ජීවිත හදා ගන්න නම් කැප කිරීමක් කරන්න වෙනවා අනිවාර්යෙන්ම. මම ආසයි ලංකාවේ ඉඳන් මම හදා ගත්ත නම තව තවත් ඉදිරියට අරගෙන විවිධ වූ චරිතවලින් ඉදිරියට එන්න. නමුත් මට කැපකිරීම් කරන්න වෙනවා. මගේ ආසාවල් සීමා කරන්න වෙනවා මගේ පවුල් ජීවිතය හින්දා.
රසිකයන් වෙනුවෙන් කියන්න තියෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. ගොඩක් දැනෙනවා එයාලාව. රටින් පිට ඉන්නකොට තමයි ඒ අයගේ ආදරේ නැති එක දැනෙන්නේ. වෙන රටවල අපි තනියෙන් ජීවත් වෙන්නේ. අපි කලාකරුවෝ කියන දේ ඒ අය දන්නේ නැහැනේ. ලංකාවට අඩිය තිබ්බ දවසේ ඉඳන් ඒ ගොල්ලන්ගේ ආදරය දැනෙනවා කියන්නේ ඒ වෙනස මට දැනනවා කියන එකයි. ඇත්තටම අද වෙනකන් මාව මේ තැනට ගෙනාවේ ඒ අයගේ ආදරය. ඉතින් ඒ අයට ගෞරව කරනවා. මට කාත් එක්ක හරි කතා කරන්න තියෙනවා නම් මම දෙපාරක් හිතන්නේ නැහැ මගේ හැම වැඩක්ම දාලා මම යනවා. මට කැමැති කෙනෙක් ඉන්නවා නම් මම කතාබහ කරනවා. මම කැමැතියි ඒ අය එක්ක කරන්න. ඒ අයට ගොඩක් මම ආදරය කරනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ගයාන් කරුණාරත්න