මම රංගනයට වඩා දක්ෂ නිවේදනයට
යූ - ටියුබ් නාලිකා කිහිපයකම නිවේදිකාවක් ලෙස වැඩ කටයුතු කරන මහර්ඝා සිතුමිණීව මෙවර සාරවිට කතාබහට එකතු කරගන්නට අප සිතුවා. දක්ෂ, ජනප්‍රිය නිවේදිකාවක් වන්නට හීන දකින මහර්ඝා මාධ්‍ය වෘත්තීයට සම්බන්ධ වී දීර්ඝ කාලයක් වනවා. එම කාලය තුළ ඇය ඉතා සාර්ථක ගමනක් ආ බවයි ඇය පවසන්නේ. ඉතින් මහර්ඝා අපට කතා කළේ මේ විදිහටයි.
ඔබ ගැන හඳුන්වා දුන්නොත්?
මගේ නම මහර්ඝා සිතුමිණි. මම නිදහස් මාධ්‍යවේදිනියක් ලෙස යූ - ටියුබ් නාලිකා කිහිපයකම වැඩ කටයුතු කරනවා.
මාධ්‍ය ක්ෂේත්රයට එකතු වෙන්නේ?
දැනට අවුරුදු 10කට විතර කලින්. ඒ මැක්ස් ටීවී සහ රේඩියෝ නාලිකාව හරහා. දැන් මැක්ස් නාලිකාව විකාශය වන්නේ නැහැ. එතනින් ආරම්භ කළ වෘත්තීය ජීවිතය තමයි මේ. මුලදී නම් රංගනයටත් සම්බන්ධ වුණා. නමුත් දැන් රංගන කටයුතු වලින් ඉවත් වෙලා නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා.
රංගනයෙන් ඉවත් වීම ගැන කතා කළොත්?
මම ජයසේකර අපෝන්සු මහතා යටතේ තමයි මුලින්ම රංගනය හැදෑරුවේ. ටෙලි නාට්‍ය, ඒකාංගික නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වුණා. නමුත් වර්තමානයේදී මම තේරුම් ගත්තා මම රංගනයට වඩා දක්ෂ නිවේදනයට කියලා. ඒ නිසා තමයි රංගනය අත් හැරුණේ.
නිවේදිකාවක් ලෙස ඔබව දකින්න පුළුවන් යූ - ටියුබ් නාලිකා මොනවාද?
මම දැනට චැනල් සී, මියුසික් ටී.වී, ජයමග, චැනල් 01 ඇතුළු යූ - ටියුබ් නාලිකා කිහිපයකම වැඩ කරනවා.
ඇයි රූපවාහිනී නාලිකාවලින් මිදිලා ඉන්නේ?
ගොඩක් අය ඇත්තටම මගෙන් අහනවා ඔය ප්‍රශ්නේ. මට අවස්ථාවන් කිහිපයක්ම ආවා එකතු වෙන්න. නමුත් මගේ තිබෙන නිදහස, වැඩ කිරීමේ හැකියාව මත බොහෝ අවස්ථාවන් මඟ හැරියා. නමුත් නැවතත් මට ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකින් ආරාධනාවක් ලැබුණොත් මම කැමති ඔවුන් සමග එකතු වෙලා වැඩ කරන්න.
ජනප්‍රිය නිවේදිකාවක් වෙන්නද කැමති, දක්ෂ නිවේදිකාවක් වෙන්නද?
ඇත්තටම කිව්වොත් ජනප්‍රිය නිවේදිකාවක් වෙන්න කැමතියි. ජනප්‍රිය කියන්නේ ජනයාට ප්‍රිය වූ යන අර්ථයනේ. ඉතින් ජනයාට ප්‍රිය වන වැඩසටහන් ඉදිරිපත් කිරීම මමයි මම කැමතිම. ජනප්‍රියත්වය රඳා පවතින්නේ දක්ෂතාවය මතයි. ඒ වගේම දක්ෂ නිවේදිකාවක් වෙන්නත් ලොකු ආසාවක් තිබෙනවා. මේ වනවිට නිවේදන වෘත්තීය ක්‍රමයෙන් නැති වී ගෙන යනවා. ඒකට හේතුව තමයි වෘත්තීමය නිවේදිකාවන්ට වඩා නිරූපණ ශිල්පිනියන් සහ රංගන ශිල්පිනියන් යොදාගෙන වැඩසටහන් ඉදිරිපත් කිරීම.
නාලිකා කිහිපයකම වැඩ කිරීම අපහසු නැද්ද?
ඇත්තටම එහෙම නැහැ. හැමෝම එක්කම සුහදව වැඩ කරනවානේ. නාලිකා කිහිපයකම වැඩ කිරීම මට කවදාවත් කරදරයක් වෙලා නැහැ. මගේ පෞද්ගලික ජීවිතයටත් වඩා මගේ වෘත්තීය ජීවිතයට මම පලමු තැන දීලා තියෙනවා කියලා සමහර වෙලාවට හිතෙනවා. ඒ තරම් ආසාවකින් තමයි මම වෘත්තීයේ නියැළෙන්නේ. ඒ නිසා මම හිතන්නේ නැහැ කොයිම වෙලාවකදිවත් මට ගැටළුකාරී තත්වයක් ඇති වෙයි කියලා.
නිරූපණ ශිල්පිනියන් සහ රංගන ශිල්පිනියන් නිවේදනයට පැමිණීම ගැන ඔබ චෝදනා නගන්නේ ඇයි?
බොහෝ වැඩසටහන් නිෂ්පාදකවරුන්ට අවශ්‍ය වන්නේ ප්‍රෝග්‍රෑම් එක නිරූපණ ශිල්පිනිය හෝ රංගන ශිල්පිනියගේ ජනප්‍රියත්වය තුළින් හිට් කර ගැනීමටයි. නමුත් මට අවශ්‍ය වන්නේ වැඩසටහන තුළින් ජනප්‍රිය වන්නටයි. ඒක ලොකු භාග්‍යයක් ලෙස සලකන්න පුළුවන්. අනිත් කාරණය තමයි වෘත්තීයක නියැලී ඉන්න පුළුවන් වෘත්තියක් පිළිබඳව ඉගෙනගෙන ආවොත් විතරයි. එහෙම නැත්නම් අළුත් දේවල් කරන්න බැහැ. හැමදාම එකම තැන ඉන්නයි වෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරන දෙයක් තමයි වෘත්තීය ඉගෙනගෙන ආවොත් පැවැත්මක් තිබෙනවා කියන එක. මම හැම වෙලාවකදීම මගේ අඩුපාඩු මොනවාද කියලා සැලකිලිමත් වෙනවා. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් ක්ෂේත්රය පිළිබඳව හැදෑරීමකින් ඉන්න අයට විතරයි.
අද රූපවාහිනියෙන් ප්‍රේක්ෂකයා ඈත් වෙලා වගේ නේද?
සමාජ මාධ්‍යයට මේ වෙද්දි විශාල ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද අපට මේක ඇතුළේ බොහෝ මාතෘකා විවෘතව කතා කිරීමට පුළුවන්. අපි හරහා බොහෝ දෙනා අළුත් දේවල් බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකොට සමාජ මාධ්‍යයන් වටා හොඳ ප්‍රේක්ෂකයන් පිරිසක් එකතු වෙනවා.
පවුලෙන් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?
ඇත්තටම ඔවුන්ගෙන් ලොකු සහයක් ලැබෙනවා. විශේෂයෙන් මගේ සැමියා, අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් ඇතුළු හැමෝගෙන්ම විශාල සහයක් ලැබෙනවා. මට වෘත්තීයට ප්‍රථම තැන දෙන්න පුළුවන් වුණේ මේ අය නිසයි.
ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?
ඇත්තටම දක්ෂ සහ ජනප්‍රිය නිවේදිකාවක් වීමට ආසයි. ඒ වගේම මගේම යූ ටියුබ් නාලිකාවක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තුවක් තිබෙනවා. අවස්ථාවක් ලැබුණොත් ප්‍රධාන නාලිකාවක වැඩ කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. මේ දේවල් එක්කම මගේ මාධ්‍ය වෘත්තියේ ඉදිරියටම යන්න තමයි හීන දකින්නේ.
විශේෂයෙන් මතක් කළ යුතු පිරිස කවුද?
මුලින්ම මම මතක් කරන්න ඕනේ මගේ ගුරුවරයා හරේන්ද්‍ර ජයලාල් මහතාව. ඒ වගේම ප්‍රදීප් මහේෂ් මහතාට, මගේ පවුලේ අයවත්, මම වැඩ කරන නාලිකාවල නාලිකා ප්රධානීන්ටත්, වැඩසටහන් නිෂ්පාදකවරුන්ටත් මට වචනයකින් හෝ උදව් කළ සියළු දෙනාටමත් මම මේ වෙලාවේ ස්තූති කරනවා සහ ආදරයෙන් මතක් කරනවා.
කැළුම් දේවින්ද