මම යන්න ඕන දුරට තාම ඇතුළු වෙලාවත් නැහැ
‘මිස් ශ්‍රී ලංකා’ ලෙස කිරුළු පැලඳි ඇය මේ වන විට රංගන ශිල්පිනියක ලෙස කටයුතු කරන්නීය. නමින් ඉමායා ලියනගේ වන ඇය සිය ඉදිරි කලාකටයුතු පිළිබඳ කතාබහ කිරීමට මෙලෙස ‘අද’ට සම්බන්ධ වූවාය.
මේ දවස්වල ‘අපේ ආදරේ’ කියලා ටෙලිනාට්‍යයක් කරනවා. ඊට අමතරව ‘වෙල්ලස්සේ වෙඩි හඬ’ කියලා වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ‘දෙරණ’ නාළිකාවේ ‘ඇඩ්වෙන්චර්’ රියැලිටි වැඩසටහනක් සඳහා සහභාගි වෙලා ඉන්නවා. ඉතිං ඒ දේවල් එක්ක තමයි මේ දවස්වල කාලය ගත වෙන්නෙ.
නිර්මාණ ගැන කිව්වොත්?
දෙරණ නාළිකාවේ විකාශය වූ ‘අංකල් සෑම්’ , ‘මුතු කුඩ’ ටෙලි නාට්‍යය සඳහා රංගනයෙන් දායක වුණා. ‘මේ මමයි’ කියලා ටෙලිනාට්‍යයක් කළා. ඒක අයි.ටී.එන්. නාළිකාවේ විකාශය වුණා. මේ දවස්වල ‘අපේ ආදරේ’ විකාශය වෙනවා ‘සියත’ නාළිකාවේ. ‘අපේ ආදරේ’ කියන නාට්‍යය තමයි මේ අවුරුද්දේ ‘සුමති සම්මාන උළෙලේ’ ජනප්‍රියම නාට්‍යය වුණේ. ඉතිං ඒකත් ගොඩක් සතුටුයි. මම රංගන ක්‍ෂේත්‍රය ඇවිත් අවුරුදු 2යි. ඒ කෙටි කාලය තුළදී මට ලැබුණු නිර්මාණ විශේෂයි. ‘මුතුකුඩ’ ටෙලිනාට්‍යයේ ‘සකුන්තලා මැණිකේ’ කියන චරිතයත් ‘අපේ ආදරේ’ ටෙලිනාට්‍යයයේ, ’ආන්‍යයා’ කියන චරිතයටත් ඉහළ ප්‍රෙක්ෂක ප්‍රතිචාරයක් හිමි වුණා.
ඒ වගේම මම චිත්‍රපට දෙකක් කළා.
චිත්‍රපට ගැන කතා කළොත්?
මගේ පළමු චිත්‍රපටය තමයි ‘පෝරිසාදයා’ චිත්‍රපටය. මම ක්‍ෂේත්‍රයට ඇවිත් ටික කාලය තුළදී ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න වගේම චිත්‍රපටවලටත් සම්බන්ධ වෙන්න ලැබීම මගේ වාසනාව කියලා හිතනවා. ‘පෝරිසාදයා’ කියන චිත්‍රපටයේ සියලුම චරිත කරපු අය ප්‍රවීණ අයයි. ඒ අයත් එක්කයි මට වැඩ කරන්න ලැබුණේ. ඉතිං ගොඩාක් සතුටුයි. චිත්‍රපටයක් කියන්නේ වෙනස් දෙයක්. මගේ පෞද්ගලික කැමැත්තක් තියෙනවා ටෙලිනාට්‍යවලට වඩා චිත්‍රපට සඳහා. ගොඩක් ආසාවෙන් නිර්මාණය සම්බන්ධ වුණා සහ ප්‍රවීණ නළු නිළියන් එක්ක ප්‍රධාන චරිතයක් කරන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටු වෙනවා.
ඒ වගේම ‘කුණාටුවේ මාරයා’ චිත්‍රපටයටත් රංගනයෙන් දායක වුනා.
වේදිකාවට අවස්ථාව ලැබුණේ කොහොමද?
පොඩි කාලයක් ඇතුළත, ටෙලිනාට්‍ය, චිත්‍රපට සහ වේදිකාව කියන දෙයට සම්බන්ධ වීමට ලැබුණු එක ගැන සතුටක් වගේම සහ නිහතමානී ආඩම්බරයක් තියෙනවා. වේදිකාව කියන්නේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක්. කටවචනයෙන් ගොඩක් කියනවානේ, ‘වේදිකාව කියන්නේ ඉගෙන ගන්න තියෙන පාසලක්’ කියලා. ඒක මම අත්දැකීමෙන් දැක්කා. අපි අපේ හැංගිච්ච හැකියාවන් එළියට ගන්නේ කොහොමද කියන එක වේදිකාව තුළින් දැකගන්න පුළුවන්. වේදිකාවේදී රංගනය පිළිබඳ පුදුම හැදෑරීමක් කරන්න පුළුවන් තැනක්. මං හිතන්නේ මාස දෙකක්, දෙකහාමාර කාලයක් තුළ හැදෑරීම් කරන්න හැකියාව ලැබුණා. ‘වෙල්ලස්සේ වෙඩි හඬ’ කියන්නේ මීට පෙර දර්ශන වාර බොහෝ ප්‍රමාණයක් වේදිකාගත වුණු වේදිකා නාට්‍යයක්. ඒක ප්‍රතිසංස්කරණයක් තමයි මේ සිදු වුණේ. 1818 කැරැල්ලේ අවුරුදු 200ක් සපිරීම නිමිත්තෙන් තමයි මේක ආපහු වේදිකාගත කළේ. ඒකෙදිත් ලංකාවේ ඉන්න ප්‍රවීණ අයත් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ විතරක් නෙමෙයි වේදිකාව ගැන පුදුමාකාර හැදැරීමක් කරන්න අවස්ථාව ලැබුණා. වේදිකාව කියන්නේ සජීවීව රඟපාන්න ඕන. හඬත් එක්ක සෑහෙන්න ගනුදෙනු කරන්න ඕන. පළමු වැනි මංගල දැක්ම සිදු වුණේ සැප්. 02 වැනිදා ටවර් රඟහලේදී. මංගල දැක්මේදී 3.30 සහ 6.30 දර්ශන වාර දෙකම ටවර් රඟහල පිරෙන්න සෙනඟ ඇවිත් හිටියා. ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා.
අංශ තුනම ජය ගන්න ලැබුණේ වාසනාව නිසාද?
මම 2014 දී තමයි ‘මිස් ශ්‍රී ලංකා’ වුණේ. මම ක්‍ෂේත්‍රය එන්නේ ඊට ගොඩාක් පස්සේ. ඉතිං කෙටි කාලයක් තුළදී මේ අංශ තුනටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ වාසනාවක් වගේම, මගේ කැපවීම, උත්සාහය කියන දේ උදවු වුණා කියලා හිතනවා. මම තාම මේ ක්‍ෂේත්‍රයට ඇතුළු වෙලාවත් නැහැ. මම තාම හරිම ආධුනිකයි. මම යන්න ඕන දුරට තාම ඇතුළු වෙලාවත් නැහැ. ඉතිං නමුත් ගොඩක් සතුටුයි. වාසනාවක් වගේම මම කැපවුණු දේ වගේම මගේ වුවමනාව තිබුණු නිසා කියලා හිතනවා. යම්කිසි නිර්මාණයක් ලැබුණාම ඒක ඔහේ කරලා දානවාට වඩා, ඒකට ආදරේ කරලා ඒ වෙනුවෙන් මහන්සි වෙලා කැප වෙනවා නම්, ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන්. මට ඒ ලැබුණු චරිත එකිනෙකට වෙනස් චරිතයි. ඒ ගැනත් මම ගොඩක් සතුටු වෙනවා.
රූපරාජිනියක් විදියට කිරුළ දරන් ඉන්න එක ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒක ගැන කතා කරන කොට පොඩි දුකක් තියෙනවා. මම 2014 දී තමයි කිරුළ ලබා ගත්තේ. ඉතිං මේ වෙනකොට මම දන්න තරමින් අවුරුද්දකට ‘බියුටි කූයින්’ කියන අය 20ක්, 30ක්වත් බිහිවෙනවා. සමහර පැජන්ට් අපි දන්නෙත් නැහැ. අහලවත් නැහැ. නමුත් ලෝකයේ තියෙන්නේ ප්‍රධන බියුටි පැජන්ට් හතරයි. ‘මිස් වර්ල්ඩ්’, ‘මිස් යුනිවර්ස්’, ’මිස් අර්ත්’, ‘මිස් ඉන්ටර්නැෂනල්’. මේ හතර තමයි ලෝකයේ ප්‍රධාන පැජන්ට් විදියට ශ්‍රේණිගත වෙන්නේ. බියුටි පැජන්ට් එන එක හොඳයි. අලුත් අයට අවස්ථාව ලැබෙනවා. නමුත් අපි බලන්න ඕන කිරුළකට හරි වටිනාකම ලැබෙනවාද කියන දෙය. ඉස්සර ගත්තාම ‘බියුටි කුයින්’ කියන ඉලක්කයට යන්න හැමෝටම බැහැ. මොකද ඒකට වටිනාකමක් තිබුණා. ඒකට සෑහෙන්න සුදුසුකම් තියෙන්න ඕන. නමුත් අද දකින විදියට මේ බියුටි පැජන්ට් කියන දේ ව්‍යාපාරයක් මට්ටමට ගිහින් තියෙන්නේ. ඇත්තටම ඒ ගැන කියන්න දුකයි. කිරුළක් කියන්නේ ලොකු වටිනාකමක්. රටක් නියෝජනය කරලනේ ජාත්‍යන්තරයට යන්නේ. එතකොට සුදුසු කෙනාටමද, සුදුසු විදිහටමද මේ දේවල් ලැබෙන්නේ කියන දේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අවුරුද්දකට බියුටි කුයින්ස්ලා එනකොට ඒ කිරුළකට වටිනාකමක් තියෙනවාද කියන දේ මට තේරෙන්නේ නැහැ. අද හැමෝම බියුටි කුයින්ලා. කල්පනා කරලා බලන්න ඕන ඒ ලබා ගන්න කිරුළේ වටිනාකමක් තියෙනවාද කියලා.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
ලොකු බලාපොරොත්තු තියාගෙන නැහැ. අනාගතයේදී බලාපොරොත්තුවක් තියෙනවා හොඳම නිළියක් සම්මානය දක්වා යන්න. හොඳම නිළිය කියන සම්මාන තමයි අපට ලබා ගන්න පුළුවන්, සම්මාන අතින් හොඳම දේ. ඉතිං ඒ හින්දා ඒ සම්මානය දක්වා යන්න බලාපොරොත්තුවක් තියෙනවා.
Dilan Chryshantha