මම මුල්තැන දෙන්නේ මගේ දරුවාට හා මගේ පවුලට
ජනප්‍රිය ටෙලි චරිත කිහිපයකින්ම ඔබේ ආදරය දිනාගත් නිලුක්ෂි ප්‍රනාන්දු සමගින් මෙවර තරු කතාබහ අරඹන්නට අපි බලාපොරොත්තු වෙමු. ගෙවුණු සති කිහිපයේදී පෞද්ගලික හේතුමත කලා කටයුතුවලින් තාවකාලිව ඈත් වූ ඇය මේ වනවිට යළිත් සුපුරුදු පරිදි සිය රංගන කටයුතුවල නිරතව සිටින්නීය. ඒ පිළිබඳව හා ඉදිරි කලා කටයුතු පිළිබඳව නිලුක්ෂි අපට මෙසේ තොරතුරු පැවසුවාය.
කාලෙකින් ඔබව ටෙලි නිර්මාණවල දැක්කේ නැහැ?
ඔව්, අනිත්මට මම රංගනයෙන් දායක වුණේ ජාතික රූපවාහිනියේ විකාශය වුණ "එරන්ලන්දු" හා ස්වර්ණවාහිනියේ විකාශය වුණ "සේයා" ටෙලි නාට්‍යයවල. ඊට පස්සේ මම පෞද්ගලික හේතුවක් මත තාවකාලිව කලා කටයුතුවලින් ඉවත් වුණා.
දැන් ආයෙත් ඔබ කලා කටයුතු කිහිපයකටම දායක වෙලා ඉන්නවා?
ඔව්, දැනට නිර්මාණ තුනක වැඩ භාර අරගෙන තියෙනවා. පෙබරවාරි 12 වැනිදා සංජය නිර්මාල් මහතාගේ "විහාරා" කියන අලුත්ම ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් කටයුතුවලට සම්බන්ධ වුණා.
නිලුක්ෂි දැන් කලා ක්ෂේත්රයට ඇවිල්ලත් දිගු කාලයක් වෙනවා නේද?
අවුරුදු 10ක් විතර වෙනවා මම කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙලා. මා රඟපාපු ප්‍රථම ටෙලි නාට්‍යය වුණේ වසන්ති චතුරාණි මහත්මියගේ "සත්ගුණාකාර" නාට්‍යය. ඊට පස්සේ ටෙලි නිර්මාණ කිහිපයකටම මම දායක වුණා. ඒ අතරින් "ගැහැනු ළමයි" ටෙලි නාට්‍යයේ ඉදිරිපත් කළ රංගනය හරහා යම් පිරිසකගේ අවධානය දිනාගන්න මට හැකියාව ලැබුණා.
නමුත්, ඔබේ කලා දිවියේ හැරවුම් ලක්ෂය තමයි "සඳා" ටෙලි නාට්‍යයේ "සඳසි" කියන චරිතය?
ඇත්තටම ඔව්. මගේ කලා දිවියේ වෙනසක් ඇති කරන්න "සඳසි" කියන චරිතයට හැකිවුණා. "සඳා" ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ ශාන්ත සොයිසා මහත්මයා. "සඳා" ටෙලි නාට්‍යයේ තිර පරීක්ෂණයට ඇවිල්ලා ඒ චරිතය ගැන විස්තර දැනගන්න කොට මට ලොකු ආසාවක් ඇතිවුණා ඒ චරිතය මට ලැබෙනවා නම් හොඳයි කියලා. තිර පරීක්ෂණයට සහභාගි වෙලා දවසක්, දෙකක් ගියාට පස්සේ තමයි මාව මේ චරිතයට තෝරගත්තා කියලා දැනගත්තේ. ඇත්තටම මම ගොඩක් සතුටු වුණා. "සඳා" ටෙලි නාට්‍යය විකාශය වෙන්න කලින් මාව කවුරුත් දැනගෙන හිටියෙ නැහැ. නමුත්, අදටත් මට "සඳසි" කියන චරිතයට රසික ප්‍රතිචාර ඉහළින්ම ලැබෙනවා.
"සඳා" ටෙලි නාට්‍යයෙන් පස්සේ ඔබට බොහෝ චරිත ලැබුණා?
ඔව්, මම ගොඩක් වාසනාවන්ත වුණා ඒ ලැබුණ සෑම චරිතයක්ම එකිනෙකට වෙනස් චරිත වීම නිසා. එකම රාමුවකට කොටු වෙනවා කියන්නේ අපේ දක්ෂතාවයත් එකම රාමුවකට කොටු වෙනවා කියන එක. මා ටෙලි නාට්‍යය ක්ෂේත්රයට පිවිසුණදා ඉඳලා අද දක්වා මට එකිනෙකට වෙනස් විවිධ චරිත රඟපාන්න ලැබිලා තියෙනවා.
අද ජනප්‍රිය නළුනිළියන් බොහෝ දෙනෙකු රියලිටි තරගවලදි දකිනවා. නමුත්, නිලුක්ෂි ඒ අතර නැහැ?
ආරාධනා නම් ගොඩක් ලැබුණා. නමුත්, එවැනි තරගයකට ලොකු කාලයක් වැය කරන්න අවශ්‍යයි. මම විවාහකයි. මට දරුවෙක් ඉන්නවා. ඔවුන්ගේ වැඩ කටයුතු නිතර මම හොයලා බලන්න ඕන. ඒ හින්දා රියලිටි තරග සඳහා ලැබුණ ආරාධනා මම ප්‍රතික්ෂේප කළා. මම මේ හැමදෙයක්ම කරන්නේ මගේ දරුවා වෙනුවෙන්. ඉතින් මේ කැපවීම මට මගේ දරුවා හා මගේ පවුල වෙනුවෙන් ප්‍රතික්ෂේප කරන්න වුණා.
ඔබ දක්ෂ නර්තන ශිල්පිනියක්. ඉතින් මේ ලැබුණ ආරාධනා ප්‍රතික්ෂේප කිරීම හරහා ඔබගේ හැකියාවන් ඉදිරිපත් කරන්නට තිබුණු අවස්ථාවක් මඟ හැරුණා කියලා හිතෙන්නේ නැද්ද?
හිතුණා. නමුත්, මම කලින් කිව්වා වගේ මගේ ජීවිතේ මම මුල්තැන දෙන්නේ මගේ දරුවාට හා මගේ පවුලට. ඉතින් ඕනෑම දෙයක් ඒ වෙනුවෙන් මට අත්හරින්න පුළුවන්. බොහෝ දෙනෙක් දන්නේ නැහැ මම නර්තනයට ගොඩක් දක්ෂ කෙනෙක් කියලා. මටත් අනන්ත වාර ගණනක් හිතුණා මේක හොඳ අවස්ථාවක් මට මගේ හැකියාවන් ඉදිරිපත් කරන්න කියලා. ඒ වුණත්, මේකට වෙන්කරන්න වෙන කාලය මට ලොකු ගැටලුවක් වුණා.
අවුරුදු 10ක කාලයක් තිස්සේ ඔබ මේ ක්ෂේත්රය තුළ කටයුතු කරනවා. ඒ කාලය දෙස ආපසු හැරිලා බැලුවොත්?
නිළියක් විදිහට ආපු ගමන ගැන නිහතමානීව ගොඩක් සතුටු වෙනවා. ටෙලි නාට්‍යය බොහෝමයක මම රඟපාලා තියෙනවා. සම්මාන දිනලා තියෙනවා. ඒ වගේම සම්මාන සඳහා නිර්දේශවෙලා තියෙනවා. නිළියක් විදිහට ප්‍රේක්ෂයන්ගේ ආදරය දිනාගන්න ගන්න මට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම මට ලැබුණු චරිත පිළිබඳවත් මම ගොඩක් සැහීමට පත්වෙනවා. ක්ෂේත්රයට එන නවකයන්ට සමහර විට එකම රාමුවකට කොටුවෙන්න සිද්ධ වෙනවා. නමුත්, මට එහෙම වුණේ නැහැ. බොහෝ අවස්ථාවල මම අහිසංක පෙම්වතියගේ චරිත රඟපෑවා. මට ඒ ලැබුණ අහිසංක පෙම්වතියගේ චරිත තුළත් යම් වෙනසක් ඇති කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ ගෙවුණු කාලය පිළිබඳව නිළියක් විදිහට මම ගොඩක් සතුටු වෙනවා.
පුංචි තිරේට පමණක් නිලුක්ෂි සීමා වෙලාද?
සිනමාවට දායක වෙන්න අවස්ථා දෙකක් ලැබුණා. නමුත්, ඒ ආරාධනා මට ප්‍රතික්ෂේප කරන්න වුණා. මොකද මගේ සීමාවක් තියෙනවා. චරිත තෝරාබේරා ගැනීමක් තියෙනවා. ඉතින් ලැබුණ චරිත පිළිබඳව මට කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ නිසා ඒ චරිත මම භාරගත්තේ නැහැ. නමුත්, හොඳ චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මම ඒ වැඩේ භාරගන්නවා.