මම පොඩි කාලේ ඉඳලා සින්දු කියනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201022Sithara (1)

ගුවන් විදුලියේ ළමා ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට සම්බන්ධ වී මේ වන විට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳ බාහිර කථිකාචාර්යවරියක් ලෙස සේවය කරන සිතාරා ටෙලි නාට්‍ය සහ චිත්‍රපට පසුබිම් ගායනයට ද සම්බන්ධ වී තිබෙනවා. එමෙන්ම සංගීතය තුළ ඇයටම අනන්‍ය වූ ගමනක ඇය ගමන් කරමින් සිටිනවා. සිතාරාව සාරවිට කතාබහකට එකතු කරගන්නට අප සිතුවේ සංගීතය තුළින් ඇය දිගු ගමනක් යාමට බලාපොරොත්තු වන නිසා.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම සිතාරා මධුෂානි. මගේ පදිංචිය පිළියන්දල. මම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙස සේවය කරනවා. ඒ වගේම සංගීත කටයුතුවලත් නිරත වෙලා සිටිනවා. 

සංගීත සම්බන්ධ වෙන්නේ?

පොඩි කාලෙදි මම නර්තනය හැදෑරුවේ. අපේ නැටුම් ගුරුතුමිය ටිකක් සැරයි. එක දවසක් හරි රිහසල් වලට ආවේ නැත්නම් අස් කරලා දානවා. මටත් එක දවසක් යන්න බැරි වුණා. ඒ නිසා මාවත් අයින් කරා. ඊට පස්සේ සංගීතය කරන්න පටන් ගත්තා. කොහොමත් මම පොඩි කාලේ ඉඳලා සින්දු කියනවා. අවුරුදු අටේදී වගේ දහම් පාසලේ ත්‍යාග උත්සවයේදී මම ගීතයක් ගායනා කරා. ඒ උත්සවයට ඇවිත් හිටියා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාද්‍ය වෘන්දයේ හිටපු විජේසිරි ගෝවින්ද සහ යාපා කියන සර්ලා. විජේසිරි ගොවින්ද සර් මට කතා කරලා ඇහුවා ''පුතේ අපි ගුවන් ගුවන්විදුලියට සින්දුවක් කියමුද" කියලා. මමත් හා කියලා ගුවන් විදුලියට ළමා ගීතයක් ගායනා කලා. එතනින් තමයි ඇත්තටම ගමන ආරම්භ වෙන්නේ. 

ඔබ මේ වෙද්දි ගිත කොපමණක් ගායනා කරලා තිබෙනවාද?

මම ඇත්තටම ගණන් කරලා නැහැ. ළමා ගීතත් එක්කම ගීත පනහකට ආසන්න ප්‍රමාණයක් ගායනා කර තිබෙනවා. මම බොහෝ දෙනා හඳුනාගත්තේ අධිරජ ධර්මාශෝක ටෙලිනාට්‍යයේ තේමා ගීතයෙන්. රාවණා, මුතු අහුර, දේදුන්නයි ආදරේ, ගඟ ලග ගෙදර, කුටු කුටු මාමා, නීල පළිඟු දිය ඇතුළු ටෙලි නාට්‍ය රැසක ගීත ගායනා කරලා තිබෙනවා. එතකොට සරිගම චිත්‍රපටය, දෙවෙනි වරම අතුළු චිත්‍රපට කිහිපයකම ගීත ගායනා කර තිබෙනවා. ඊට අමතරව මගේම ගීත කිහිපයකුත් නිර්මාණය කර තිබෙනවා. ඒ අතර මගේ දමිල ගීත කිහිපයකුත් තිබෙනවා. 

විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සහ සංගීත කටයුතු කරන්නේ කොහොමද ?

කැම්පස් එකේ ඉගෙනගන්න ගන්න කාලේදී පවා මම වැඩ සියලු දේම සමබරව කරගෙන ආවා. දැන් මම ළමයි ගැනත් හිතලා මගේ රැකියාව පිළිබඳවත් හිතලා තමයි නිර්මාණ තෝරගන්නේ. මම මුල් තැන දීලා තියෙන්නේ දරුවන්ගේ වැඩ කටයුතුවලට. ඊට පස්සේ තමයි කලාවේ වැඩකටයුතු භාරගන්නේ. දැනට නම් සමබරව කරගෙන යනවා. 

වර්තාමනයේ ලංකාවේ සංගීතය තිබෙන්නේ මොන වගේ තැනකද?

හොඳ ප්‍රශ්නයක්. ලංකාවේ සංගීතය ගැනත් දෙපැත්තකින් කතා කරන්න පුළුවන්. හොඳ දේවල් සහ නරක දේවල්. අද වෙද්දි ගොඩක් අය බනිනවා අලුතින් බිහිවෙන ගීත වලට. වචන, සංගීතය තුළ රසයක් නෑ කියන්වනේ. නමුත් ඒ අතරින් හොඳ ගීත නිර්මාණත් අපි දකිනවා.ඒ ගීත කැපිල පෙනෙන්නේ අර බනින ගීත අතුරින්. එයාලට බනින්නෙ නැහැනේ. විශයක් ඉගෙන ගන්නවා නම් අපි ඒක හරියට ඉගෙන ගන්න ඕනේ. ඒ ඇතුළේ අපි නිර්මාණශීලී වෙන්න ඕනි. තමන් ඉගෙන ගත්තු දේවල් නිර්මාණශීලීව අලුත් රැල්ලට එකතු කළොත් මම හිතන්නේ ඒක සාර්ථක වේවි. සනුක, නදීමාල් කියන්නෙත් ඒ වගේ වැඩ කරන අයයි. 
 

ගීතයක් 'හොඳ ගීතයක්' වන්නේ පද රචනාවෙන් පමණද?

නැහැ. සංගීතය, වචන සහ කටහඬ කියන තුනම වැදගත් වෙනවා. 

සංගීතය කරලා හොඳ ආර්ථික මට්ටම හදා ගන්න පුළුවන්ද?

මෙහෙමයි. අනෙක් රටවලට වඩා අපේ රටේ ගත්තොත් එකේ ලොකු වෙනසක් තිබෙනවා. බොහෝ රටවල ගායකයන්ගේ ගීත අවසරයකින් තොරව කිසිදු තැනක ගායනය කරන්න බැහැ. ගායනා කරනවා නම් එහි අයිතිකරුවන්ට කර්තෘ භාග ගෙවන්න ඕන. නමුත් අපේ රටේ එවැනි තත්ත්වය දකින්නේ නැහැ. මෙහෙ වෙද්දි ගායක ගායිකා සංගමය සහ තවත් සංගීත සංගම් කිහිපයක් එකතු වෙලා ඒ සඳහා සැලසුමක් නිර්මාණය කරමින් තිබෙනවා. ඉදිරියේදී මම විශ්වාස කරනවා ලංකාවෙත් එවැනි තත්ත්වයක් උදා වේවි කියලා. මොන ව්‍යසනය ආවත් මුලින්ම අසරණ වෙන්නේ අපේ රටේ කලාකරුවෝ. ඔහුන්ට නිසි වටිනාකමක් සහ වයස්ගත වුණාම ජීවත් වෙන්න නිසි ක්‍රමවේදයක් තවම සැකසිලා නැහැ. එය ඉදිරියේදී සිදු වෙන්න ඕනේ. 

උදව් කරපු සහ ස්තූ කරන්න ඕන අය කවුද?

මුලින්ම මගේ අම්මා සහ තාත්තා, ඊට පස්සේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපති සන්ධ්‍යා කාන්ති ඉලේපෙරුම ගුරුතුමිය, විජේසිරි ගොවින්ද සර්, මට පාසලේදීත් ඉගැන්වීම් කළ ගුරුවරු සහ ගුරු පියවරු,  ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සහ සංගීත ක්ෂේත්‍රයේ මට උදව් කරපු හැමදෙනාවම ආදරයෙන් මතක් කරනවා. 

කැළුම් දේවින්ද

20201022Sithara (3)

20201022Sithara (4)