මම පොඩි කාලේ ඉඳලා ආසා වුණා නිවේදිකාවක් වෙන්න
ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයෙහි නිවේදිකාවක් ලෙස ක්ෂේත්රයට පැමිණ අද වනවිට වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්, රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන සකුරාට අප මෙවර සාරවිට කතාබහෙන් ඉඩක් වෙන් කරන්නට සිතුවා. සකුරා මේ වනවිට ටෙලි නාට්‍ය, චිත්‍රපට කිහිපයකට දායක වී ප්‍රෙක්ෂක ආකර්ශණය දිනාගෙන තිබෙන අතර knowledge TV නාලිකාවේ නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා.
සකුරා ඔයාව හඳුන්වා දුන්නොත්?
මගේ නම සකුරා විමලසේන. මගේ පදිංචිය ගාල්ල. මගේ පවුලේ ඉන්නේ අයියයි අක්කයි මල්ලි මමයි ඉන්නේ. මේ වෙද්දි නිවේදිකාවක් ලෙසත් රංගන ශිල්පිනියක් ලෙසත් නිරූපිකාවක් ලෙසත් ක්ෂේත්රයේ වැඩ කටයුතු කරනවා.
නිවේදනයටද මුලින්ම එකතු වුණේ රංගනයටද?
මුලින්ම නිවේදිකාවක් ලෙස තමයි වැඩ කටයුතු කරන්නේ. මම අවුරුදු පහක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවයේ නිවේදිකාවක් ලෙස කටයුතු කළා. ඉන්පසු චාමර ජනරාජ් පීරිස් මහතාගේ නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස කටයුතු කළා. මේ වනවිට knowledge TV නාලිකාවේ නිවේදිකාවක් ලෙස වැඩ කටයුතු කරනවා.
ගුවන්විදුලි සේවයේ අත්දැකීම කොහොමද?
මම පොඩි කාලේ ඉඳලා ආසා වුණා නිවේදිකාවක් වෙන්න. ඒක පොඩි කාලේ ඉඳලාම තිබුණු හීනයක්. මම පාසලේ අධ්‍යාපනය හැදෑරුවෙත් මාධ්‍ය අධ්‍යයනය පැත්ත. මම ආසයි නිවේදනය කරන්න. මම පොඩි කාලේ ඉඳුනිල් දිසානායක, රම්‍යා වනිගසේකර වැනි ප්‍රවීණ නිවේදිකාවේ ප්රවෘත්ති කියනවා ආසාවෙන් බලනවා. මටත් කවදාහරි රටටම ඇහෙන්න කතා කරනවා කියලා පොඩි පොඩි හීනයක් තිබුණා. ඒ හීන වෙනුවෙන් මම ගොඩක් මහන්සි වෙලා ඉගෙනගත්තා. අද වනවිට ඒ හීනය හැබෑවෙලා තියෙනවා. මම මුලින්ම ගුවන්විදුලියට යනකොට මම කිසි දෙයක් දන්නේ නැහැ. මම එතකොට පොඩියි. එතැනින් ලබා ගත් ආභාෂය කොච්චරක්ද කියලා කියන්න බැහැ. ඒ තරමටම ලොකු වටිනාකමක් තියෙනවා. මම තමයි රුහුණු ගුවන් විදුලි සේවයේ හිටපු පුංචිම කෙල්ල. අනිත් හැමෝම වැඩිමල් ප්‍රවීණ අය. ඉතින් ඒ අයගෙන් ලබාගත් දේවල්, ඇසුරු කරලා ලැබුණු අත්දැකීම් මේ තාක් දුරකට එන්න ලොකු පිටිවහලක් වුණා. ගුවන්විදුලිය කියන්නේ රූප මාධ්‍යයක් නෙවෙයිනේ. හඬ විතරයි. එතකොට අපේ හඬෙන් තමයි හැමෝවම ආකර්ශණය කරගන්න ඕනේ. අපේ හඬට තමයි එයාලා අවනත වෙන්නේ. තරඟකාරී ගුවන්විදුලි සේවයන් සමග රුහුණු සේවය කරට කර ඉන්නවා කියන්නේ ලොකු දෙයක්. ගුවන් විදුලි සේවයේ වැඩ කරපු අවුරුදු පහ තුළ මට ලැබුණු දේවල් කියලා නිම කරන්න බැහැ.
ගුවන්විදුලි සේවයට එකතු වෙන්නේ කොහොමද?
මම උසස් පෙළින් අනතුරුව ගුවන්විදුලි සේවයේ පාඨමාලාවක් කළා. ඊට පස්සේ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ සර්ගේ පාඨමාලාවකටත්, ජාතික රූපවාහිනියේ තිලක් ගුණවර්ධන සර්ගේ පාඨමාලාවකටත් සම්බන්ධ වුණා. හැබැයි ගුවන්විදුලි සේවයේ කරපු පාඨමාලාව හරහා තමයි රුහුණු සේවයට එකතු වුණේ.
රංගනය පැත්තෙන් සම්බන්ධ වුණු නිර්මාණ මොනවාද?
රංගනය කියන්නේ මම පොඩිකාලේ ඉඳලා හිතාගෙන හිටපු දෙයක් නෙවෙයි. ඒක අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. මම මුලින්ම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ රොෂාන් අහංගම අයියාගේ නිර්මාණයකටයි. ඒක තවමත් විකාශය වුණේ නැහැ. ඒකට සම්බන්ධ වුණේ මම ගොඩක් පොඩි කාලේදි. රොෂාන් අයියාගේ ටෙලි නාට්‍ය තුනකටම සම්බන්ධ වුණා. නමුත් තවම ඒ කිසිවක් විකාශය වුණේ නැහැ. ඊටපස්සේ චාමර ජනරාජ් පීරිස් මහතාගේ බටහිර අහස ටෙලි නාට්‍ය ඔස්සේ තමයි මාව බොහෝ දෙනා හඳුනාගත්තේ. ඊටපස්සේ බෙනට් රත්නායක සර්ගේ නාට්‍යයක රඟපෑවා. ඒක දැන් විකාශය වනවා. ඊටපස්සේ මට චාමර අයියාගේ චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒක ලබන වසරේදී තිරගත වීමට නියමිතයි. තව බෙනට් රත්නායක මහතාගේ චිත්‍රපටයකටත් එකතු වෙන්න ලැබුණා.
රංගන ක්ෂේත්රයේ අත්දැකීම් කොහොමද?
මෙහෙමයි. හැමදේකම හොඳ පැත්තකුයි නරක පැත්තකුයි දෙකක් තියෙනවා. හැබැයි අපි හොඳ නම් අපිට ඕන තැනක ගිහිල්ලා කිසි ගැටළුවක් නැතිව ඉන්න පුළුවන්. මම බෙනට් සර්, චාමර ජනරාජ් වැනි ප්‍රවීණ අය සමග වැඩ කරලා තියෙනවා. ප්‍රවීණ අයෙකු සමග වැඩ කරනවා කියන්නෙම ඒක නවකයෙකුට ලැබෙන මාරම අත්දැකීමක්.
ඔබ වැඩියෙන්ම කැමති රංගනයටද, නිවේදනයටද?
ඇත්තටම රංගන ශිල්පිනියක් වෙන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මොකද මම වැඩ කරන්න පුළුවන් සහ දන්න අයත් එක්ක තමයි වැඩ කරන්නේ. සමහර දර්ශන දහපාරක් විතරත් ගන්න අවස්ථා තිබුණා. ඇත්තටම මම දැනටත් කැමති ඉදිරියටත් කැමති එකම වෘත්තීය නිවේදනය විතරයි.
නිවේදනය පැත්තෙන් ඔබට තිබුණු හැම ඉලක්කයක්ම සාර්ථක කරගෙන තිබෙනවාද?
මට පොඩි කාලේ ඉඳලා ඕනේ වුණේ නම කියපු ගමන්, කටහඬ අහපු ගමන් රටම දන්න නිවේදිකාවක් වෙන්නයි. මම වැඩ කළේ ඒකටයි. සකුරා කියලා නම කියපු ගමන් ගුවන්විදුලිය ඇතුළේ මම ගොඩක් ජනප්‍රියයි. මම හිතනවා යම් කිසි පිරිසක් මේ වනවිට මාව දන්නවා. සමහර වෙලාවට බැංකුවට ගියාම වුණත් මගේ වැඩසටහන් අහන බලන අය ඇවිත් කතා කරනවා. මම හිතනවා මගේ තිබුණු ඉලක්කය සම්පූර්ණ වෙලා කියලා.
ඔබට ගෙදරින් බලපෑමක් එල්ල වුණේ නැද්ද?
ඇත්තටම කියනවා නම් අම්මා ගොඩක් ලොකු සහයෝගයක් දෙනවා. අම්මා ගොඩක් ආසයි මම රඟපානවාට. ඇත්තටම මගේ ගෙදර කවුරුත් කලාව පැත්තට නැඹුරු නැහැ. මම විතරයි ඒ පැත්තට නැඹුරු වුණේ. මට ඕනේ වුණේ වෙනස් කෙනෙක් වෙන්න. ඒකට ගෙදරින් බලපෑමක් එල්ල වුණේ නැහැ. එයාලා මට සහයෝගය දුන්නා. මම වැරදි දේකට යන්නේ නැහැ කියලා ගෙදර අය දන්නවා. ඒ නිසා මට බලපෑමක් නැහැ. මම ඉන්න තැන ගැන එයාලාටත් සතුටු වෙන්න පුළුවන්.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
හැමදාම බලාපොරොත්තු වුණේ සතුටින් ඉන්න, රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් වෙන්නයි. ලොකු ලොකු බලාපොරොත්තු නැහැ.
මේ පැමිණි ගමනේදි උදව් කළ අය කවුද?
මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මා සහ පවුලේ අයව. ඊටපස්සේ ගුවන් විදුලි සේවයේ අශෝකා අක්කා මතක් කරන්න ඕනේ. ඊටපස්සේ රෝහණ දේශප්‍රිය, චාමර ජනරාජ් පීරිස්, බෙනට් රත්නායක සර්ට ස්තූතියි කරන්න ඕනේ. මේ හැමෝගේම සහයෝගය, ඒ ලැබුණු පන්නරය තමයි මාව මේ තාක් දුරකට ගෙන ආවේ.
කැළුම් දේවින්ද