මම පෙම්වතියක් නෙවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200514damithri-01

දමිත්‍රි සුබසිංහ කියන්නේ බැංකු නිළධාරිනියක් වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක්. 2019 දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත්වූයේ ඇයයි. වෙළඳ දැන්වීම් රැසකට දායක වෙලා තිබෙන දමිත්‍රි මේ නිවාඩු කාලය ගත කළේ කොහොමද කියලා අපිට කිව්වේ මෙහෙමයි.

මේ දවස්වල විවේකයෙන් නේද ඉන්නේ?

ලොකු විවේකයක් තිබුණේ නැහැ. රැකියාව නිසා අතරින්පතර රැකියාවට යන්න වුණා. නිවාඩු දවස්වල නම් විවේකයෙන් කාලය ගත කළා.

ඇඳිරි නීතියේදී පැල හිටෙව්වේ නැද්ද?

නැහැ. පැල හිටවනවා ඒවා නම් කළේ අම්මා තමයි. මම මගේ නර්තන පැත්ත ටිකක් දියුණු කරගන්න ටිකක් මහන්සි වුණා. කාර්යබහුලකම නිසා කාලයක්ම ඒ පැත්තට විශේෂ අවධානයක් ලබා දෙන්න බැරි වුණානේ. 

මේ දවස්වල වැඩ කරද්දි දැනෙන හැඟීම මොන වගේද?

ලෝකේ ජීවත්වන හැම කෙනෙක්ගේම ජීවිත මේ වෙද්දි ගොඩක් සංකීර්ණ වෙලා තියෙන්නේ. මටත් එහෙමයි. හිතුවේ නැති ජීවන රටාවකට හුරු වෙන්න සිද්ධ වුණානේ. ගෙදර ඉඳලා කරන්න පුළුවන් දේවල්වලට සීමා වුණානේ. ඉක්මනට මේ තත්ත්වය හරි යනවා නම් හොඳයි.

'පාවෙලා වලාකුළේ ඒවිද අම්මා' නාට්‍යයෙන් ලැබුණ ප්‍රතිචාර කොහොමද?

හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒකේ මම රඟපෑවේ උදාරා කියන චරිතය. නාට්‍ය ඉවර වුණත් ලැබෙන ප්‍රතිචාර දිහා බලද්දි උදාරා තාමත් මිනිස්සුන්ගේ හිත් තුළ ඉන්නවා කියලා තේරෙනවා.

ඉන්පස්සේ වෙනත් නිර්මාණවලට සම්බන්ධ වුණේ නැද්ද?

ටෙලි නාට්‍යවලට නම් සම්බන්ධ වුණේ නැහැ. වෙළඳ දැන්වීම් කිහිපයකට නම් පහුගිය කාලේදි දායක වුණා. ක්ෂේත්‍රයට එකතු වෙලා අවුරුද්දක කාලයක් ඇතුළෙදි වෙළඳ දැන්වීම් විස්සකට විතර සම්බන්ධ වෙලා තිබෙනවා. ඉදිරියට තව නිර්මාණ කිහිපයක් විකාශය වෙන්න නියමිතයි. මේ කාලයේදී ගොඩක් වැඩවලට දින දීලා තිබුණා. ඒ හැමදේම පස්සට ගියා කොරොනා නිසා.

20200514damithri-02

සිනමාවට ආරාධනා ලැබිලා නැද්ද?

චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණා. තවම මම ඒ ගැන හිතුවේ නැහැ. මම ගොඩක් නිර්මාණ තෝරා බේරාගෙන තමයි වැඩ කරන්නේ. හිතට දැනෙන දෙයකට ආරාධනා කළොත් මම ඒක බාරගන්නවා.

දමිත්‍රි පෙම්වතියක්ද?

නැහැ. මම පෙම්වතියක් නෙවෙයි.

කලාවෙන් ඉස්සරහට යද්දි රැකියාව ප්‍රශ්නයක් වෙයිද?

මේ වෙනකල් මට එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. මම බැලන්ස් කරගත්තා. මම හිතනවා ඉදිරියටත් මට සමබරව ගෙනියන්න පුළුවන් වෙයි කියලා.

මෙවර ‘දෙරණ අවුරුදු කුමරිය’ පැවැත්වුණු විදිහ ගැන මොකද හිතන්නේ?

පවතින වාතාවරණය එක්ක දෙරණ අවුරුදු කුමරිය තරඟාවලිය පැවැත්වුණු ආකාරය වෙනස් වුණා. දාහකට එහා අයදුම්කාරියන්ගෙන් සජීවීව අවසන් වටය සඳහා විසි හතරදෙනෙකු තෝරා ගත්තා. ඒ අය දින කිහිපයක් චන්දන සර් යටතේ පුහුණුවීම් වලට සම්බන්ධ වුණා. ඒ කාලයේදී තමයි මේ තත්ත්වය ඇති වුණේ. දෙරණ කියන්නේ කෙනෙක්ව අත් හරින තැනක් නෙවෙයි. මේ විදිහට හරි ඒ අයව අවසන් තරඟයට යොමු කළ එක ලොකු දෙයක්. ඉස්සරහට ඔවුන් සියළු දෙනාටම හොඳ අවස්ථාවක් ලැබෙයි.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

නිදහස් විදිහට සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න තමයි බලාපොරාත්තු වෙන්නේ.

මතක් කළ යුතු අය කවුද?

විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ අම්මා තාත්තා සහ ගෙදර අයව. ඒ අය ළඟින් ඉන්නවා හැම මොහොතකම. එතකොට මගේ රැකියා ස්ථානයේ අය සහ මගේ යාළුවෝ. දෙරණ ආයතනයත් මතක් කරනවා.

කැළුම් දේවින්ද

20200514damithri-03 20200514damithri-04 20200514damithri-05