මම පිළිකාව දිහා ධනාත්මකව බැලුව නිසා අද මම ජීවිතය ජයගත්තා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-842

අද සාරවිට කතාබහට අපි එකතු කරගත්තේ ලංකාවෙන් පිටත සිට ලංකාවේ කලාවේ නිරත වන කෙනෙක්ව. ඇය චතූ පත්බේරියයි. චතූ මේ වනවිට පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන්වලයි. ඇය එහි සිට කලා කටයුතුවල මෙන්ම රූපවාහිනි නිවේදිකාවක් ලෙසද කටයුතු කරනවා. ඉතින් චතූව අපි මේ විදිහට එකතු කරගත්තා.

 

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම චතූ පත්බේරිය. මම ඉපදුනේ පාදුක්කේ. දැන් නම් පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ. මෙහෙට ඇවිත් දැන් අවුරුදු දොලවක් විතර. මම පොඩි කාලේ ඉඳලාම කලාවට ලොකු අශාවක් දැක්වූවා. මම මෙල්බන්වල ඉඳන් විකාශය වන විශ්වවාහිනි නාලිකාවේ නිවේදිකාවක් ලෙස වැඩ කටයුතු කරනවා. ඊට අමතරව මෙල්බන්වල කලා කටයුතුවලටත් සම්බන්ධ වෙනවා.2019-09-19-ent-844

 

ලංකාවේදි කලාවට සම්බන්ධ වුණේ කොහොමද?

මම උසස් පෙළට නාට්‍ය හා රංගකලාව හැදෑරුවා. මංගල සේනානායක, ධර්මසිරි බණ්ඩාරනායක යන ගුරුවරුන් යටතේ තමයි මුලින්ම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණේ. ඊටපස්සේ පද්මිණි දහනායක, කුලසිරි බුදවත්ත යන ගුරුවරුන් යටතේ නර්තනය හැදෑරුවා. රෝහණ වීරසිංහ සර් යටතේ සංගීතය හැදෑරුවා. මුල් කාලේදී වේදිකා නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වුණා. යෞවන සම්මාන උළලේදී සම්මාන පවා හිමි වුණා. ලංකාවේදි නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරා. මොඩ්ලින් ෂෝ වලට ලංකාවට කිහිප වතාවක්ම ආවා. වෙළඳ දැන්වීම් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඩයලොග් ආයතනයේ වෙළඳ දැන්වීම්වලටත් සහභාගී වුණා.

 

මෙල්බන්වල කලා ජීවිතය ආරම්භ කරන්නේ කොහොමද?

මම මෙල්බන්වලට ආවේ ශිෂ්‍යාවක් විදිහටයි. මම මෙල්බන් යුනිවර්සිටි එකේ වෛද්‍ය සමාජ විද්‍යාව කියන විෂය ඉගෙනගන්නවා. පසුව මට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමිවුණා. දැන් මම මේ රටේ රජයේ රැකියාවක් කරනවා. ඒ අතරතුර තමයි මෙල්බන්වල කලාවට එකතුවෙන්නේ. මෙල්බන්වලත් මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරනවා. මේ වෙද්දි Saree Galore Australia ආයතනයේ ප්‍රධාන නිරූපණ ශිල්පිනිය මම වැඩ කටයුතු කරනවා.

 

ඔබ පිළිකා රෝගයකට ගොදුරු වෙනවා?

ඔව්. මම 2012දි පිළිකා රෝගයකට ගොදුරු වෙනවා. එතැනදි වෛද්‍යවරු කියනවා මාව ජීවත් කරවන්න බැරි වෙයි කිව්වා. ඒ කාලේදි මම හැමදේම නැවැත්වූවා. මම අවුරුදු ගාණක් ඇඳට වැටිලා හිටියා. නමුත් මම විශ්වාස කරා මට ජීවත් වෙන්න පුළුවන්, මගේ රෝගය සනීප වෙනවා කියලා. මම පිළිකාව දිහා ධනාත්මකව බැලුවා. අවුරුදු දෙකක් විතර යද්දි මට හැකිවුණා මගේ රෝගය සම්පූර්ණයෙන්ම සනීප කරගන්න.

 

ඉන්පසුව ආයෙත් වැඩ කරන්න පටන් ගන්නවා?

ආයෙත් මම 2014 ඉඳලා කලා ක්ෂේත්‍රයේ වැඩ කරන්න පටන් ගත්තා. ඒ කාලේදි මට මෙහෙදි 'සෙරන්ඩිබ්' සම්මානය දෙපාරක්ම හිමි වුණා. පිළිකා රෝගය සනීප වුණාම මම ධනාත්මක චින්තනය පිළිබඳව වැඩසටහන් පවත්වන්න පටන්ගත්තා. ලංකාවට ආපු හැම වෙලාවකම මම පිළිකා රෝගීන් සමග වැඩ කරා. මම මගේ අත්දැකීම් පිළිබඳව ඔවුන් සමග කතා කරා. මම මගේ යම් ජනප්‍රියත්වයක් තිබුණාද ඒකෙන් පිළිකා රෝගීන්ගේ චින්තනය ඉහළට ඔසවන්න ප්‍රයෝජන ගත්තා. අදටත් මම පිළිකා රෝගීන් වෙනුවෙන් වැඩසටහන් ඉදිරිපත් කරනවා.

 

ඔබ විශ්වවාහිනියේ ඉදිරිපත් කරන වැඩසටහන් මොනවාද?

විශ්වවාහිනිය කියන්නේ මෙල්බන් නගරයේ සිට විකාශය වන සිංහල රූපවාහිනී නාලිකාවක්. වෙනත් රටක සිට විකාශය වන ලෝකයේ එකම ශ්‍රී ලාංකික රූපවාහිනි නාලිකාව තමයි විශ්වවාහිනිය කියන්නේ. එහි සභාපතිතුමන් වන බන්දු දිසානායක මහතාගේ ආරාධනයෙන් තමයි මම නාලිකාවට සම්බන්ධ වුණේ. මම ඒකෙන් ලංකාවත් සම්බන්ධ කරගෙන ගොඩක් වැඩසටහන් ඉදිරිපත් කරනවා. විශ්වවාහිනියේ මම ඉරුදින කතාබහ කියන සජීවී වැඩසටහන කරනවා. ඒකට ගොඩක් ශ්‍රී ලංකාවේ කලාකරුවෝ සම්බන්ධ කරගන්නවා. මම තව වැඩසටහනක් කරනවා 'මෙල්බන් යූත්' කියලා. ඒකෙන් මෙල්බන්වල ඉපදුන ශ්‍රී ලාංකික දරුවන්ගේ කලා දක්ෂතා ඉස්සරහට ගේනවා.

 

මෙල්බන්වල කොහොමද ලංකාවේ කලාව?

මෙල්බන්වල ඇත්තටම කලාවට සලකන්නේ ගොඩක් ඉහළින්. විශේෂයෙන් මෙල්බන්වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඇත්තටම කලාවට ගොඩක් ආදරය කරන අය. බොහෝමයක් කලාකරුවෝ මෙහෙ දැනට පදිංචි වෙලා ඉන්නවා. මෙල්බන්වල අපිට පොඩි කලා පවුලක් තියෙනවා. ඒක ලෝකේ කොහෙවත් නැහැ. මෙලබන් ටවුන් එකේ ලංකාවේ කලාවට සම්බන්ධ මොකක්ම හරි වැඩසටහනක් තියෙනවා. ඒකට හැමෝම එකතු වෙනවා. මම ඒවා සංවිධානය කරන්න, ටී.වී. එකෙන් ඒවා ප්‍රචාරය කරන්න වැඩ කරනවා. මෙල්බන් කියන්නේ ඇත්තටම ලංකාවේ කලාවට හොඳ තෝ තැන්නක්. විශේෂයෙන් මෙහෙ නැටුම් පන්ති, සංගීත පන්ති වගේ දේවලුත් පැවැත්වෙනවා.

 

ලංකාවේ කලා වැඩ කරන්නද වඩාත්ම කැමති, නැත්නම් මෙල්බන්වලටද?

ලංකාවෙන් මට ගොඩක් ආරාධනා ලැබෙනවා. සිනමා පටයකට, ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණා. ඇත්තටම මෙල්බන්වල හිටියට ලංකාවත් එක්ක තමයි කලා සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ. ඔස්ට්‍රේලියාවේ ටෙලි නාට්‍යයක් රූගත කරන්න නියමිතයි. ඒකටත් මට ආරාධනා ලැබුනා. මම ඒකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ලංකාවට මම නිරතම වගේ එනවා. වෙළඳ දැන්වීම්වලට, ෆැෂන් ෂෝ වලට ලංකාවට එනවා. ඒ ආවාම රූපවාහිනී නාලිකාවල වැඩසටහන්වලටත් සහභාගී වෙනවා.

 

අන්තිමටම ලංකාවට ආවේ කවද්ද?

ගිය අවුරුද්දේ. ඒ ආවේ මගේ විවාහයටයි. නමුත් ඒ එක්ක කලා වැඩ කිහිපයකටත් සම්බන්ධ වුණා.

 

මේ ගමනේදී මතක් කළ යුතු පිරිස කවුද?

ඇත්තටම ගොඩක් අය ඉන්නවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ජයලත් මනෝරත්න මහත්මයා, රෝහණ වීරසිංහ සර්, මහේන්ද්‍ර පෙරේරා මහත්මා, දිල්හානි ඒකනායක අක්කා, රනිල් මල්ලවආරච්චි අයියා, ඉන්ද්‍රජිත් මිරිහාන අයියා ඇතුළු ලොකු පිරිසක් මට උදව් කරලා තියෙනවා. ඒ වගේම විශ්වවාහිනි නාලිකාවේ සභාපතිතුමන් බන්දු දිසානායක මහත්මාවත් මතක් කරනවා.

 

අනාගත බලාපොරොත්තු මොනවාද?

ඉදිරියේදී මගේ ලොකුම බලාපොරොත්තුව තමයි මෙල්බන්වල මොඩ්ලින් ඇකඩමි එකක් පටන් ගන්න. මෙල්බන්වල ඉන්න ගොඩක් ශ්‍රී ලාංකික තරුණ පරපුර ගොඩක් කැමති ඒකට. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රඳවා ගනිමින් මොඩ්ලින් ඇකඩමි එක පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

සාකච්ඡා - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද

 

 2019-09-19-ent-843