මම පළවෙනියටම කළෙත් චිත්‍රපටයක්
නිරූපණයට අත්පොත් තබන ඇය මේ වනවිට සිනමාව මෙන්ම ටෙලිනාට්‍ය රංගනයට එක්වී සිටින්නීය. නමින් චතුරිකා පෙරේරා නම් මෙම රුවැත්තිය ඇගේ ඉදිරි කටයුතු හා ක්ෂේත්රයේ ආගමනය සම්බන්ධයෙන් ‘සාරවිට' අපට මෙලෙස අදහස් දැක්වූවාය.
ඔබ කවුද? මොකද කරන්නේ?
මම චතුරිකා පෙරේරා. මගේ පදිංචිය කෑගල්ලේ. දැනට නිරූපණය හදාරමින් ඉන්නවා.
නිරූපණයට පිවිසීම සිදුවෙන්නේ කොහොමද?
නිරූපණයට එකතුවෙන්න පොඩිකාලේ ඉඳන්ම ආසාවක් තිබුණා. ඒ වුණාට අවස්ථාවක් ලැබුණේ නෑ. දැන් අවුරුද්දක් විතර වෙනවා ක්ෂේත්රයට එකතුවෙලා. ඒ කාලය තුළ වැඩකටයුතු කිහිපයක් කරලා තියෙනවා.
මුලින්ම ක්ෂේත්රයට ආවේ කොහොමද?
මුලින්ම මම Bridel තමයි කළේ. තවමත් කරනවා. ගොඩක්ම කැමතිත් Bridel වලට තමා. මුලින්ම මගේ යාළුවෙක් මාව තරගයකට යොමුකළා Bride කෙනෙක් විදියට. එතනින් තමයි පටන්ගත්තේ. ඒ පටන්ගත්ත ගමන තමයි තවමත් මේ යන්නේ.
වැඩකටයුතු සිදුවෙන්නේ නිරූපණය පැත්තෙන් විතරද?
මම මේ වනවිට ටෙලි නාට්‍ය දෙකකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ නාට්‍ය දෙකම ජී. නන්දසේන මහත්මයාගේ. මට ඒ සඳහා උදවු උපකාර කළේ රාජ් රණසිංහ සර්. ඔහුගේ චිත්‍රපටයකටත් මම රංගනයෙන් දායක වුණා. එය තවම ප්‍රදර්ශනය වුණේ නැහැ.
රංගනයට යොමුවීම සිදුවෙන්නේ කොහොමද?
මම හඳුනන අක්කා කෙනෙක් ඉන්නවා විජිතා කියලා. එයා දැනගෙන හිටියා මම රංගනයට කැමැත්තෙන් ඉන්නවා කියලා. එයා තමයි රාජ් රණසිංහ සර්ව මට හඳුන්වලා දුන්නේ.
රංගනයට ආරාධනා කරද්දී ඒ සඳහා එකතුවීමට බයක් දැනුණේ නැද්ද?
ඇත්තටම බයක් තිබුණා. නැත්තේ නැහැ. මම පළවෙනියටම කළෙත් ටෙලි නාට්‍යයක් නෙවෙයි චිත්‍රපටයක්. ඒක දමිත් ෆොන්සේකා සර්ගෙ. මම කවදාවත් එහෙම රූගත කරපු තැනකටවත් ගිහින් තිබුණේ නෑ. ඒ වුණාට කොහොම හරි හිත ධෛර්යමත් කරගෙන කළා. අසාර්ථක වුණෙත් නෑ. පළවෙනි රංගනයම හොඳයි කියලා ඒ අයත් කිව්වා.
ඒ පළවෙනි අත්දැකීම මොනවගේද?
ඇත්තටම භයක් ඇරෙන්න වෙන මොකුත්ම හිතුණේ නෑ. ගැහි ගැහි තමයි කැමරාව ඉස්සරහට ගියේ. ඒකත් මම පළවෙනි වතාවට රඟපෑවේ ක්ෂේත්රයේ ඉන්න ප්‍රවීණම කෙනෙක් වන මහේන්ද්‍ර පෙරේරා එක්ක තමයි මට රඟපාන්න ලැබුණේ. මම පුදුම විදියට බයවෙලා හිටියේ. එයාගෙනුත් වැඩවලට ලොකු සහයෝගයක් ලැබුණා. එයා කියලා දුන්නා මේ විදියට කරන්න ඔයාට බැරිවෙන එකක් නෑ කියලා. ඉතිං මම ඒ කියලා දීපු විදියට කළා.
අනිත් දේවල්වලට අවස්ථාව ලැබුණේ එතැනින් පස්සේද?
එතැනින් පස්සේ මගේ රංගන කටයුතු දැකලා තමයි ජී. නන්දසේන මහත්මයා ‘මෝදර වැල්ල‘ ටෙලිනාට්‍යයට මට ආරාධනා කළේ. ඒකෙත් වැඩකටයුතු හොඳින් සිදුවුන නිසා, ඔහුගේ ‘දෙව්ලියේ’ ටෙලිනාට්‍යයට කථා කළා. තව ඉදිරියටත් වැඩකටයුතු ලැබේවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.
නිරූපණය කියන දේට අද ලංකාවේ තියෙන්නේ මොනවගේ තත්ත්වයක්ද?
ලංකාවේ නිරූපණය ගැන ඇත්තටම මම කතා කරන්න කැමති නෑ. ඒක හොඳ මට්ටමක නෑ කියලා තමයි මගේ පෞද්ගලික අදහස. ගොඩක් අය කරන්නේ කැමරාකාරයෙක් අල්ලාගෙන පොටෝ ටිකක් අරගෙන ෆේස්බුක් දාලා ජනප්‍රිය වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. හරියට කරන අයත් ඉන්නවා. නැත්තේ නැහැ. වැඩිපුරම මොඩ්ලින් කියලා රවට්ටන එක තමයි තියෙන්නේ. මෝඩ ගැහැණු ළමයි, ක්ෂේත්රයට එන්න ආසාවෙන් ඉන්න අය රැවටෙනවා.
අලුතෙන් එන අය නිසා ක්ෂේත්රයේ ඉන්න වෘත්තීමය නිරූපණ ශිල්පීන්ට හානියක් වෙනවාද?
ඔව් ඇත්තටම එහෙම වෙනවා. නිරූපණ ශිල්පිනියක් කිව්වාම මිනිස්සු ගණන් ගන්නේ නැති තත්ත්වයට වැටිලා තියෙන්නේ. මම වුණත් ඒ වගේ බාධා ගොඩක් මැද්දේ තමයි කරගෙන යන්නේ. තමන් හරි දෙයක් කරලා, නමට හානියක් කරගන්නේ නැතිව ගමනක් ගියොත් තමන්ට පැවැත්මක් තියෙනවා. සමස්තයක් විදියට ගත්තාම නිරූපණ ක්ෂේත්රය පිළිබඳ සමාජයේ කිසිම පැහැදීමක් හෝ හොඳ තත්ත්වයක් නැහැ.
මෙවැනි තත්ත්වයක් උඩ පවුලේ අයගෙන් ලැබුණේ මොනවගේ ප්රතිචාරයක්ද?
මට සහෝගය දෙන්නේ මගේ මහත්තයා විතරයි. එයාට මම ගැන ලොකු විශ්වාසයක් තියෙන නිසා මාව හැමදේටම බය නැතිව එවනවා. එහෙම නැතිව මගේ අම්මාවත්, මහත්තයාගේ අම්මාවත් මේදේට කැමති නෑ. අහන දකින දේවල් එක්ක තමයි එහෙම වෙලා තියෙන්නේ. එයාලා මගේ කැමැත්තට ඉඩදීලා තියෙනවා. මට වැදගත්ම දේ මගේ මහත්තයාගේ කැමැත්ත. එයාගේ කැමැත්ත මට ඕනවටත් වඩා ලැබෙනවා. උදවුත් ලැබෙනවා. ඒ නිසා මම වැඩකටයුතු කරගෙන ඉන්නවා.
ඔබ වැඩකටයුතුවලට දායක වෙන්නේ තෝරාබේරාගෙනද?
ලැබෙන වැඩ හැම එකක්ම කරන්නේ නැහැ. තෝරා ගැනීමක් තියෙන්නත් ඕනෙ. අපිට ගැළපෙන චරිතත් තියෙනවානේ. සාමාන්‍ය කෙනෙකුට හැම චරිතයක් කරන්න පුළුවන් නම් ඒක විශේෂයි. ඒක හරි. ඒ වුණාට මම තාම එච්චරම ප්‍රවීණ මට්ටමට ගිහිල්ලා කියලා මම හිතන්නේ නැහැ. ඒ හින්දා මම තෝරා ගැනීමක් කරනවා.
තෝරාබේරාගෙන වැඩ කිරීමට ජනප්‍රියත්වයට පාඩුවක් නෙවෙයිද?
ජනප්‍රියත්වය පස්සෙන් හඹාගෙන යන කෙනෙක් නෙවෙයි මම. මම ඒක මානසික තෘප්තියත් එක්ක කරන දෙයක්. පස්සේ හරි හිතලා සතුටු වෙන්න පුළුවන් නිර්මාණ විතරයි මම කරන්නේ.
ඉදිරි වැඩකටයුතු හා බලාපොරොත්තු මොනවාද?
මගේ තියෙන එකම හීනය තමයි Pageant එකකට යන එක. ඒකට තමයි මම මේ හැමදේම කරන්නේ. නිරූපණයට ආවෙත් ඒකට තියෙන ආසාව නිසා. ඒ වගේ දෙයක් හරහා සමාජයට දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා. ඒක මගේ පොඩිකාලේ ඉඳන්ම තිබුන ආසාවක්. මම විවාහක කෙනෙක්. මට බාබාලත් දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා මම ළඟදී තියෙන Pageant එකකට යන්න සූදානමින් ඉන්නවා.
ඔබට අතහිතදුන් ස්තූතිවන්ත විය යුතු පිරිසක් ඉන්නවාද?
විශේෂයෙන්ම මගේ හස්බන් මතක් කළ යුතුයි. රාජ් රණසිංහ සර්ට ස්තූතිවන්ත විය යුතුයි. ඔහු නිසා තමයි මෙපමණ දුරක් ඇවිත් ඉන්නේ. ඔහු තමයි මට ගොඩක්ම උදවු උපකාර කළේ. ඒ වගේම නන්දසේන සර්. ඔයාමා ෆැෂන් එරංග රණසිංහ මහතාවත් මතක් කළ යුතුයි. මාව විශ්වාස කරලා ක්ෂේත්රයට එන්න අත දුන්න නම් කියූ නොකියූ සෑම දෙනාටම ස්තූති වන්ත වෙනවා.
Dilan Chryshantha / Pix - Disna Dhramarathna