මම නිවුණු චරිතයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රූපවාහිනි තිරයේ දැන්වීම් නැරඹීමට ආසා කරන බොහෝදෙනාට චමීෂා දිසානායක, නමැති මේ සොඳුරු තරුණියගේ රුව ආගන්තුක නැහැ. වයස අවුරුදු 12 දී විතර දැන්වීම් සඳහා නිරූපණයට එක්වූ ඇය මේ වනවිට පෙනී සිටි දැන්වීම් සංඛ්‍යාව පනහකට ආසන්නය. එලෙසින් දැන්වීම් සඳහා පමණක් මෙතෙක් පෙනී සිටි ‘චමීෂා’ මේ දිනවල අපට හමුවන්නේ සිරස ටී.වී විකාශය කරන ‘රැස්’ නාට්‍ය මාලාව සමගයි. රැස් චමීෂා ප්‍රථම වතාවට රංගනයෙන් දායකවූ නිර්මාණයයි. එහි ‘දසුනි’ නමින් චරිතයක් රඟපාන චමීෂා අද සඳැල්ල හැඩ කළේ මෙලෙසිනි.

 

20200613Hot--(1)‘චමීෂා’ කවුද මේ චමීෂා කියලා කිව්වොත්?

මම බොහොම නිවිච්ච චරිතයක්. කේන්ති නොයන තරම්. මිනිස්සුන්ට උදවු කරන්න ආස චරිතයක්. කවුරු තරහින් කතා කළොත් මොනවා හරි කිව්වොත් ඉක්මණට හිත රිදෙන කෙනෙක්. හරිම සංවේදීයි කිව්වොත් හරි. හැඟුම්බර තේමා රැගත් චිත්‍රපටයක් නැරඹුවත් මට ඇඬෙනවා. මං ඒ වගෙයි.

 

හොඳටම ඇඬුවෙ මොන චිත්‍රපටය නැරඹීමෙන් පසුවද?

‘සනම් තෙරි කසම්’ අලුත් බොලිවුඩ් ෆිල්ම් එක නරඹලා.

 

‘චමීෂා’ ගෙ නම ගැන කිව්වොත්? මොකක්ද තේරුම?

අපෙ අම්මා කිව්ව විදියට මම ඉපදිලා තියෙන්නෙ අම්මගෙ තාත්තගෙ උපන්දිනය දවසෙදියි. අද ‘සීයා’ ජීවතුන් අතර නැහැ. ඒත් අම්මා කියන්නෙ, අම්මට එයාගෙ තාත්තා වෙනුවෙන් ලැබුණු හොඳම සැමරුම මම කියලයි. උපන් වෙලාව අනුව ‘ච’ අක්ෂරය තමයි දීලා තියෙන්නෙ. ඉතින් ඒ අතර යොදාගෙන චමීෂා කියලා දැම්මලු. මම උපන් දවසේ ඉඳලාම නිතරම හිනාවෙන, ගොඩාක් හුරතල් දරුවෙක් කියලා, අම්මට ඕනෑ වුණේ ඒ හුරුබුහුටිකමට හරියන නමක් දාන්නලු. චමීෂා කියලා දැම්මෙ ඒ නිසාලු.

 

‘චමීෂා’ රෑ නින්දේදීත් හිනා වෙනවලු. ඔයාගෙ අම්මා තමයි එහෙම කිව්වෙ? ඒක ඇත්ත වෙන්නැති නේද?

අම්මා කියන්නෙ නම් එහෙම තමයි.

 

එතකොට ගෙදරට කවුරු හරි කෙනෙක් ඇවිත් ඉඳගන්න කලින්, ඔයා කුස්සියට ගිහින් කේතලය ලිපේ තියනවලු?

ආ ඒකත් අම්මා තමයි කියන්න ඇත්තෙ. ගෙදර වැඩට උදවු කරන්න මම හරිම ආසයි. ඒ වගේම ගෙදරට එන අපේ නෑදෑයින්ට සහ අමුත්තන්ට සංග්‍රහ කරන්න ආසයි. අපේ ගෙදරට එන නෑදෑයින් මං හදන තේ කෝපි බොන්න ආසයි. ඉතින් මම කවුරුහරි ආව හැටියෙ, එයාලට සංග්‍රහ කරන්න තමයි බලන්නෙ.

 

චමීෂාගෙ පවුලෙ විස්තර කිව්වොත්?

මගෙ ගම බම්බලපිටිය. ඉගෙන ගත්තෙ වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමයෙන්. අපේ පවුලේ අම්මයි, තාත්තයි, මමයි, අක්කයි විතරයි.

 

ඉගෙන ගත්තෙ මොන වගේ අරමුණකින්ද?

තවම ඉගෙන ගන්නවා. ලබන අවුරුද්දෙ බාහිර අයැදුම්කරුවකු ලෙස A/L විභාගයට ලියන්න සූදානමින් ඉන්නෙ. මෘදුකාංග ඉංජිනේරු අංශයට වගේම විලාසිතා නිර්මාණකරණයට තමයි මගේ ආසාව තියෙන්නෙ. අපේ තාත්තා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ. අම්මා පුද්ගලික අධ්‍යාපන ආයතනයක විදුහල්පතිනියක්.

 

‘රැස්’ ගැන කියමු? කොහොමද ‘රැස්’ නාට්‍යයේ රඟපෑමට අවස්ථාව ලැබුණෙ?

රැස් නාට්‍යයේ අධ්‍යක්ෂ අකිල අබේරත්න මහතා, දසුනිගෙ චරිතයට කැරලි කොණ්ඩයක් තියෙන කෙනෙක් තමයි හොයලා තියෙන්නෙ. එතකොට කැලුම් ශ්‍රී අයියා, මම පෙනී සිටින සන්ලයිට් දැන්වීම පෙන්නලා කිව්වලු, එයා හොඳයි නේද කියලා. ඉන්පස්සෙ සංගීත් ප්‍රභූ ගෙන් මගේ දුරකථන අංකය ඉල්ලගෙන. සංගීත් මා එක්ක දැන්වීම්වලට පෙනී සිටි කෙනෙක්. එදා මේ කතාබහ යන අතරතුරේදී ආ මං ගාව එයාගෙ අංකය තියෙනවා කියලා, මගේ ෆෝන් නම්බර් එක දීලා. ඊට පස්සෙ මට කතා කළා. මම බැහැම කියලා තමයි කිව්වෙ. ඒත් අපේ අම්මා මාව උනන්දු කළා. මොකද ඊට කලිනුත් නාට්‍ය දෙකක්ම මම බාරගත්තෙ නැහැ. හැබැයි දැන් මේ නාට්‍යයේ රඟපාන්න ගියාම මට ලොකු ආසාවක් ඇතිවුණා. කොච්චර නම් දැන්වීම් වලට පෙනී සිටියත්, කැමරාව ඉදිරියට ගියාම නම් බයකුත් ආවා. ගයාන් වික්‍රමතිලක අයියා සහ මුතු අක්කි තමයි මේ නාට්‍යයේ මගේ අම්මා තාත්තා ලෙස රඟපාන්නෙ. කොහොම හරි පළවැනියට කියන්න තිබුණු දෙබස හරියට කියාගන්න බැරිව සෑහෙන්න වරද්දා ගත්තා. ඒ වෙලාවෙ මට හරියට ලැජ්ජා හිතුනෙ. ඒත් ගයාන් අයියා. මුතු අක්කි වගේම අනෙක් ශිල්පීන් සියලුදෙනාත්, අධ්‍යක්ෂ ඇතුළු නිෂ්පාදක කණ්ඩායම මට ලබාදුන්නෙ ලොකු සහයෝගයක්. මාව රඟපෑමට හදලා ගත්තෙ රැස් අධ්‍යක්ෂ සහ එම කණ්ඩායමයි. දැන් නම් මුලදි තරමට වරද්දන්නෙ නැහැ. රඟපෑමට ආවට පස්සෙ තමයි රඟපාන්න කොච්චර අමාරුද කියලා හිතුණෙ. අමාරු වුනත් හරි ලස්සන අංශයක්. ඉදිරියේදී රඟපෑම හදාරන්න තමයි හිතාගෙන ඉන්නෙ.

 

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

අද බොහෝදෙනා මා දිහා බලලා කතා කරනවා. මට හරි සතුටුයි. ඒ වගේම දුකකුත් තියෙනවා.

 

දුකක්, ඇයි ඒ?

මගේ නමින් ව්‍යාජ ඉන්ස්ටර්ග්‍රෑම් පේජ් එකක් සහ ෆේස්බුක් පේජ් එකක් තියනවා. කවුරු හරි මගේ පිංතූර සහ විස්තර දාලා හරියට පෙනී සිටින්නෙ මම විදියටයි. ඒත් ඒ මම නෙවෙයි. ඒ නිසා මගේ ආදරණීය රසිකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙ, ව්‍යාජ ඒවාට අහුවෙන්න එපා කියලයි. මගේ ඔර්ජිනල් පේජ් වල Chameeshaoz (Chameesha Dissanayake) කියලා තියෙන්නෙ. එහි මගේ ඡායාරූපය මනාලියකගේ (මගේම) එකක්. මගේ නොවන ඒවාට අහුවෙන්න එපා. සමහර විට ඒ විදියට කරන කෙනාට හැකියාවක් නැතුව ඇති. ඒකයි අනුන්ගෙ ජනප්‍රියත්වය එක්ක යන්න හදන්නෙ. ඒත් මේ වගේ දේ එක්ක මම සැලෙන්නෙ නැහැ.

 

‘චමීෂ’ නිරූපණයට අමතරව වෙන මොන අංශ වලටද දක්ෂ?

කාලයක් මම මලල ක්‍රීඩා අංශයේ දක්ෂතා දැක්වුවා. දිවීම, පැනීම, (උස සහ දුර) ඉසව් නියෝජනය කළා. ඊට අමතරව උඩරට බැලේ සහ නිදහස් ආරෙ නර්තනය හැදෑරුවා. මේ දිනවල නම් ගෙදරට වෙලා අතුරුපස වර්ග හදන්න පුරුදු වුණා. මුලින් මුලින් හරියට වැරදුණා. ඒත් දැන් මගේ චොක්ලට් බ්‍රවුනි එක තරම් රස බ්‍රවුනි තවත් නැහැ කියලා තමයි ගෙදර අය කියන්නෙ. පාසල් කාලයේ ඉඳලාම මගේ හොඳම යෙහෙළිය වන ට්‍රියෝනා මම කරන මේ වගේ වැඩවලට උදවු කරනවා. අම්මි සහ අක්කි තමයි නිතරම මගේ හෙවනැල්ල වෙලා ඉන්නෙ. තාත්ති මේ දිනවල විදෙස් ගතව සිටින්නෙ.

 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

20200613Hot--(2) 20200613Hot--(3)