මම නම් වාසනාව කියන දේ විශවාස කරන කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20191030Oushani-4වෙළෙඳ දැන්වීම් නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිසි ඇය ඖෂානි රත්නයකය. සඳුන් රාජකරුණාගේ ‘තෝඩු’ ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතය හැඩ කරන ඇය මෙවර කතාබහට මෙලෙස එක්විය.

කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල ‘තෝඩු’ නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. ඒ වැඩකටයුතුත් සමග මගේ අධ්‍යාපන වැඩකටයුතුත් කරගෙන යනවා. කාර්යයබහුල වුණත් මගේ පවුලේ අයත් එක්ක සතුටෙන් ඉන්නවා.

ඉගෙනීමේ කටයුතු මොනවාද?

මම උපාධියක් හදාරනවා. ඒ තමයි ‘ව්‍යාපාර කළමනාකරණය’. ඒක මම හදාරන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක. ඒක තමයි මගේ අධ්‍යාපන කටයුතුවලින් මූලික තැන වෙන්නේ.

මේ දවස්වල සිදුකෙරෙන නිර්මාණ වැඩකටයුතු ගැන කතා කළොත්?

මේ දවස්වල ප්‍රධාන චරිතයකින් මාව දකින්න ලැබෙන්නේ ‘තෝඩු’ ටෙලි නාට්‍යයේයි. ඒ නාට්‍යයේ වැඩකටයුතු කරනවා. තව නාට්‍යය දෙකක වැඩකටයුතු කරලා තියෙන්නේ. ඒවා විකාශය වෙන්න තියෙන්නේ. ඊට අමතව වෙළෙඳ දැන්වීම් කටයුතු කරගෙන යනවා.

කොහොමද ඔබ කලාවට එන්නේ?

මම වෙළෙඳ දැන්වීම්වලට තමයි මුලින්ම දායක වෙන්නේ. වෙළෙඳ දැන්වීම්වලින් ප්‍රසිද්ධ වුණාට පස්සේ තමයි ටෙලි නාට්‍ය සඳහා අවස්ථාවන් ලැබෙන්නේ.

ඔබ දායක වුණ වෙළෙඳ දැන්වීම් මොනවාද?

මුලින්ම මම දායක වෙන්නේ ‘ෆැඩ්නා ශේප් අප් ටී’ වෙළෙඳ දැන්වීමටයි. එහි සන්නාම තනාපතිවරිය ලෙසත් මා කටයුතු කරලා තියෙනවා. ඒක මට අවුරුදු 16දී ලැබුණේ. ඒක හරි අමුතු අත්දැකීමක් වුණා. මාව දකින කොට හැමෝම හිතුවේ මට වයස 22ක් 23ක් විතර ඇති කියලා.

ඒ වගේ වෙළෙඳ දැන්වීම්වලට යන්න වයස තියෙන්න ඕනේ නිසායි ඒ. ඒ ආයතනය එක්ක මම වැඩකටයුතු කළා. ඒ නිසා තමයි මට මේ දේවල් ලැබිලා තියෙන්නේ. ඊට අමතරව ‘පීපල්ස් බෑන්ක්’, ‘ඩයලොග්’, ‘මැලිබන්’ වැනි වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙලා තිබෙනවා.

ඔබ රංගනයෙන් දායක වූ නාට්‍යයන් ගැන කිව්වොත්?

මම මුලින්ම රංගනයෙන් දායක වෙන්නේ ‘සුසුමක ඉම’ ටෙලි නාට්‍යයේ. ඒක ‘ITN’ නාළිකාවේ දැන් විකාශය වෙනවා. ඊට අමතරව ‘නීල පබලු’ ටෙලි නාට්‍යයට දායක වෙනවා. ‘තෝඩු’ නාට්‍ය නිසා වෙනත් නාට්‍යයවලට දායක වෙන්නේ නැහැ. ඒක අවසන් වුණායින් පස්සේ තමයි අනෙක් නිර්මාණයක් සඳහා දායක වෙන්නේ.

‘තෝඩු’ නාට්‍ය තුළින් ඔබට ලැබෙන අත්දැකීම පිළිබඳව කතා කළොත්?

මගේ වයස අවුරුදු 17යි. පොඩි කාලේදීම තමයි මට මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ. පොඩි කාලේදී මේ ලැබුණු අවස්ථාව නිසා ලැබුණු අත්දැකීම් නිසා ජීවිතේ සමහර තැන් සාර්ථක කර ගැනීමට මට පුළුවන් වුණා.

මෙයින් මම ලොකු අත්දැකීමක් ලබනවා. මෙම නාට්‍ය හරිම වෙනස් නාට්‍යයක්. අපි කියන්නේ ‘සීනි බෝල කතා’ කියලා. නමුත් මේ කතාව එහෙම එකක් නෙමෙයි. සමාජට ආදර්ශයක් දෙන කතාවක් කියලා කියන්න පුළුවන්.

20191030Oushani-1

මේක වාසනාවද?

මම නම් වාසනාව කියන දේ විශවාස කරන කෙනෙක්. නමුත් වාසනාව තිබ්බට වැඩක් නැහැ අපේ උනන්දුව නැත්නම්. වාසනාව සහ මගේ දක්ෂතාව එකතු වුණා නිසා මට මෙහෙම දෙයක් ලැබුණා.

ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ආදරණීය ප්‍රතිචාර වගේම සංවේදී ප්‍රතිචාරත් ලැබෙනවා. පාරේ බැහැලා කතා කරද්දී මට අලුත් අත්දැකීමක් වුණා. මම හිතුවේ නැහැ රසිකයන් මාව දන්නවා ඇති කියලා. දැකලා කතා කරද්දී මට පුදුම සතුටක් තියෙනවා. හරිම ආදරණීයයි.

ඔබට පෙම්වතියගේ චරිතය අභියෝගයක්ද?

පොඩි වයසේදී තමයි මට පෙම්වතියකගේ චරිතය හම්බවෙන්නේ. මට මුලින්ම ලැබෙන්නේ ළමා චරිත. පෙම්වතියක් කියන චරිතයට මට පුළුවන් උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. මේ චරිතය කතාබහට ලක්වන දෙයක් වුණා. මගේ පෙම්වතාට රඟපාන්නේ, චමීර ලියනගේ. ඔහු ප්‍රවීණයෙක්. මට වාසනාවකුත් ඇති ඒ වගේ ප්‍රවීණයෙකු එක්ක රඟපාන්න. චරිතයෙන් මිදුනට පස්සේ පෙම්වතියක් කියන දේ මගේ නැහැ. ඒක රඟපෑමක් විතරයි.

අවුරුදු 17ක කෙනෙක්ට ජීවිතේ ගැන දැනෙන දේ කොහොමද?

මට ජීවත් වුණ මේ කාලෙට හිතුන දේ තමයි, මට තව කල් තියෙනවා. තව ජීවිතේ මුහුණපාන්න ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් දේවල් විඳින්න තියෙනවා කියන එක. මේ අවුරුදු 17ක කාලය තුළදී මම දැක්ක දෙයක් තමයි, ජීවිතේ හරිම පුදුමාකාර දෙයක් කියන එක.

දුක සතුට  සැප වගේම ගොඩක් දේවල්වලින් තමයි ජීවිතේ ගොඩ නැගිලා තියෙන්නේ. ඉතිං මම හිතන්නේ ජීවත්වීම කියන්නෙම ලොකු දුකක්. මම බෞද්ධ කෙනෙක්. මට හිතෙන්නේ මේ සංසාරය කියන්නේ දුකක්. අපි ලෙඩ වෙනවා, අපි ආදරය කරන කට්ටිය සමහර විට නැතිවෙන්න පුළුවන්. ඔය වගේ දේවල් නිසා දැනෙන්නේ ජීවිතේ පුදුමාකාර දෙයක් කියලායි. මගේ අරමුණ තමයි සංසාරයෙන් එතෙර වෙන එක. මම බෞද්ධාගම අදහන නිසා ඒ විදිහට තමයි මම ජීවත් වෙන්නේ. ජීවිතේ හරි අමුතු දෙයක්.

ජීවිතේට ලැබෙන අභියෝගවලට ඔබ බයද?

ඇත්තම කතාව ජීවිතේ ලැබෙන සමහර අභියෝගවලට බයයි. නමුත් ඒවට අපිට මුහුණදෙන්න වෙනවා. අපි කොච්චර බැහැ කිව්වත් අපි යාථාර්ථය තේරුම් ගන්න වෙනවා. අකමැත්තෙන් හෝ ඒ දේවල්වලට මුහුණදෙනවා. හිතින් ශක්තිමත් වෙලා ඒ දේවල්වලට අනිවාර්යයෙන්ම මුහුණදෙන්න වෙනවා. නැතිනම් අපි ජීවිතේ අසාර්ථක වෙනවා වගේම හිත් තැවුල් ඇති වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවන්වලදී අපේ ජීවිතේ නැති කරගන්න වෙනවා. අකමැත්තෙන් හරි හිත හදාගෙන ඒ දේවල්වලට මුහුණදෙනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

20191030Oushani-2 20191030Oushani-3