මම දිනයි කියලා මගේ යටි හිත කිව්වා
මිස් ශ්‍රී ලංකා 2019හි ජයග්‍රාහිකාව වන ආශිව මෙවර සාරවිට කතාබහට එකතු කරගන්නට සිතුවේ නවක නිරූපණ ශිල්පිනියන්ට ඇයගෙන් ලබා ගත හැකි වටිනාකම් රැසක් ඇති නිසායි. ආශි මේ වනවිට නිරූපිකාවක් ලෙසද ක්ෂේත්රයේ නියැලෙනවා. ඉදිරියේදී රංගනයටත් එකතු වීමට අපේක්ෂාවෙන් සිටින ඇය අපට කතා කළේ මේ විදිහටයි.
ඔයාව හඳුන්වලා දුන්නොත්?
මගේ නම ආශි ද සිල්වා. දැනට මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරනවා. මිස් ශ්‍රී ලංකා 2019 රූ රැජිනි තරඟාවලිය ජයග්‍රහණය කළේ මමයි. ඒ පැජන්ට් එකෙන් පස්සේ තමයි මට ක්ෂේත්රයට එන්න අවස්ථාව ලැබුණේ.
කොයි කාලේදීද නිරූපණයට එකතු වෙන්නේ?
මිස් ශ්‍රී ලංකා ජයග්‍රහණය කරන්න කලින් ඉඳලාම මම නිරූපිකාවක් විදිහට වැඩ කටයුතු කළා. නමුත් ලොකුවට කළේ නැහැ. පැජන්ට් එකෙන් පස්සේ විශාල ප්‍රමාණයකින් ආරාධනා ලැබුණේ. පැජන්ට් එකෙන් පස්සේ තමයි මිනිස්සු මාව හඳුනාගත්තේ. පැජන්ට් එකෙන් පස්සේ තමයි දිගින් දිගටම මට වැඩ කරන්න ආසාවක් ඇති වුණේ.
ආශි මේ වෙද්දි දායක වෙලා තියෙන නිර්මාණ ගැන කිව්වොත්?
මියුසික් වීඩියෝ, වෙළඳ දැන්වීම් කිහිපයකට සම්බන්ධ වෙලා තියෙනවා. චිත්‍රපට කිහිපයක් සඳහාත් මට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවාත් ගැලපෙන විදිහට භාරගෙන කරනවා.
මිස් ශ්‍රී ලංකා 2019 තරඟාවලිය ගැන කිව්වොත්?
දැනට මාස කිහිපයකට පෙර තමයි තරඟාවලිය පැවැත්වුණේ. ඇත්තටම ගොඩක් හොඳ අත්දැකීමක් ලැබුණා. මේ පැජන්ට් එක හරහා මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. නිරූපණ ශිල්පිනියක් වුණාම හැසිරෙන්න ඕනේ කොහොමද කියන දේවල් ගැන වැඩියෙන් ඉගෙන ගන්න පැජන්ට් එකේදී හැකි වුණා. තරඟාවලිය නියෝජනය කළ තරඟකාරිනියෝ මට අභියෝගයක් වුණා. මම ඒ අභියෝගය සතුටින් භාර ගත්තා. මම හැම ටයිට්ල් එකක් වෙනුවෙන්ම ලොකු කැපකිරීමක් කළා. ඒ උන්නදුව මත තමයි මගේ ජයග්‍රහණය රැඳුණේ කියලයි මගේ විශ්වාසය.
ජයග්‍රහණය ලැබුණු වෙලාවේ හිතට දැණුනේ මොන වගේ හැඟීමක්ද?
ඇත්තටම මට හිතාගන්න බැරි වුණා ඒ වේලාවේ. මම දිනයි කියලා මගේ යටි හිත කිවුවා. ඒ වගේම මගේ නම කියද්දි මට දැණුනු හැඟීම කියාගන්න බැහැ. මගේ අම්මා, තාත්තා, අයියා ඒ හැමෝම මට උදව් කළා. ඒ අය මට උදව් කළේ නැත්නම් මට මේ තැනට එන්න අමාරුයි.
කිරුළක් දිනාගන්නවා කියන්නේ ඊට පස්සේ අපි ලොකු වගකීමක් අතේ තියාගෙන ජීවත් වෙන්න ඕනේ. මේ ගරුත්වය රැක ගන්නේ කොහොමද?
ඇත්තටම ලොකු වගකීමක් තියෙනවා. මොකද හැමෝම බලන්නේ “එයා බියුටි ක්වීන්” කියන තැන ඉඳලානේ. පාරේ ගියත් හැසිරෙන්න ඕන විදිහ වෙනස්. සමාජය අපි දිහා හැමතිස්සෙම බලාගෙන ඉන්නේ. ඔවුන් බලන කෝණය වෙනස්. අපි වැරදියට හැසිරුණොත් අපිට ගොසිප් හැදෙනවා වැඩියි. හැසිරෙන්න ඕන විදිහ සහ අපි ඉන්න ඕන විදිහ හැමතිස්සෙම හරි වෙන්න ඕනේ. නැත්නම් අපේ නම කැත වෙනවා. අපේ විතරක් නොවේ කිරුළේ ගෞරවය පවා නැති වෙනවා.
නිරූපිකාවන්ට සහ ක්ෂේත්රයට ලොකු චෝදනාවන් සමාජයෙන් එල්ල වෙනවා. මේ චෝදනා නිසා ක්ෂේත්රයට පැවැත්මක් තියේවිද?
ක්ෂේත්රයට ආපු මුල් කාලේ මමත් ලොකු කලකිරීමකින් හිටියා. සමහර අය හිතන්නේ නිරූපිකාවෝ කියන්න් බඩුවක් කියලා. හරියට ක්ෂේත්රයේ වැඩ කරනවා නම් එහෙම අහගන්න වෙන්නේ නැහැ. නමුත් තවත් පිරිසක් ඉන්නවා අපි කොහොම වැඩ කළත් ඒ විදිහටම අපි ගැන හිතන. නිරූපිකාවක් කිවුවාම එයාලා බලන කෝණය වෙනස්. ඇත්තටම අපිට ඒ බලන කෝණය වෙනස් කරන්න ටිකක් අමාරුයි. සමහර අයට කොටට අඳිනවා කියන එක ඇලජික්. ඒ මතය වෙනස් කරන්න බැහැ. අපිට අනුන්ගේ පාට කණ්නාඩි ගලවන්න බැහැ.
ඔය තත්වයත් සමග ගෙදරින් බලපෑම් එල්ල වෙන්නේ නැද්ද?
ඇත්තටම දැන් ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර තමයි ගොඩක්ම බලපෑම් ඇති වෙන්නේ. මගේ දෙමාපියන් මං ගැන ලොකු පැහැදීමකින් ඉන්නේ. ඒ නිසා මට එයාලා එපා කියන්නේ නැහැ. මම කරන කියන හැමදේම ඒගොල්ලෝ දන්නවා. ඒ නිසා මට ගෙදරින් බලපෑමක් නැහැ. මම දන්නවා මම නරක දෙයක් කරන්නේ නැහැ කියලා. නරක දෙයක් කරලා ඉදිරියට එන්න බැහැ. මගේ දෙමාපියෝ සමාජය ගැන දන්නවා. එයාලා උගත් මිනිස්සු.
ඉදිරියේ වැඩ කටයුතු ගැන කිව්වොත්?
රංගනයට පිවිසෙන්න ලොකු ආශාවක් තියෙනවා. මට ලැබුණු ආරාධනාත් සමග ඉදිරියේදී රංගන ක්ෂේත්රයට එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මේ ගමනේදී ළඟින් හිටපු, උදව් කරපු අයවත් මතක් කරමු?
ඇත්තටම මට මේ තැනට එන්න ගොඩක් උදව් කළා අම්මා, තාත්තා, නංගි, දුලාජ් අයියා. ඒ වගේම මගේ පැජන්ට් එකේ අධ්‍යක්ෂක තරිඳු ලක්ෂාන්, මිස් ලීසා, දිනූෂා දන්තනාරායන අක්කාවත්, එයා ළඟ හිටපු කණ්ඩායමත්, අමින්දි අක්කා, අචිනි අක්කා, මල්ෂා, තිසරි ඇතුළු ලොකු පිරිසක් මගේ පසුපස ඉන්නවා. නම් වශයෙන් මතක් කළේ නැතත් සුළු වචනයකින් හරි මට සහයක් දක්වපු හැමෝමව මම ආදරයෙන් මතක් කරනවා. වෛද්‍ය ප්‍රසාද් මහතාවත් ආදරයෙන් මතක් කරනවා. මේක දම් වැලක් වගේ. ඒ අයගේ උදව් නැති වුණා නම් මට මේ තැනට එන්න හැකි වෙන්නේ නැහැ.
ඉදිරියේදී පැජන්ට් වලට එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න නවකයන්ට දෙන්න පුළුවන් උපදේශය මොකද්ද?
ඇත්තටම දැන් පැජන්ට් ගොඩක් තියෙනවා. දිනන්න හෝ පරදින්න ඒවාට ඉදිරිපත් වෙන්න. පැරදීමත් ලොකු ජයග්‍රහණයක්. පරාජයෙන් ලැබෙන අත්දැකීමත් ලොකු දෙයක්. හොඳ දේවල් තෝරාගෙන ඉදිරිපත් වෙන්න. දිනන්න උත්සහ කරන්න. දිනන්න නම් උනන්දුව, උත්සාහය, කැපවීම තියෙන්න ඕනේ. ඒවා තියාගන්න. නවකයන්ට දෙන්න පුළුවන් උපදේශය තියෙන්නේ ඒකයි.
කැළුම් දේවින්ද