මම ජනප්‍රිය චරිතයක්ද දන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-22-ent-100

වෙළෙඳ දැන්වීම් හරහා රසික ඔබ අතර වඩාත් ජනප්‍රිය වූ අනුරාධා එදිරිසිංහ මේ වනවිට රංගන ශිල්පිනියක ලෙස නිතර දකියි. මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකින් ප්‍රේක්ෂක ඔබ හමුවන අනුරාධා ඉදිරියේදී ලාංකීය සිනමාවටද පිවිසීමේ සූදානමකින් සිටියි. 'සාරවිට' තරු කතාබහට අද එක්වන්නේ ඇයයි.

 

අනුරාධාව අපි මේ දවස්වල දකින ටෙලි නිර්මාණ මොනවද?

2017-03-22-ent-101ඔව්, සඳුන් රාජකරුණා මහතා අධ්‍යක්ෂණය කළ 'පැහැසරා' ටෙලි නාට්‍යයේ 'පහන්දි' ලෙසත්, ජාතික රූපවාහිනියේ විකාශය වෙන ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ 'එකවගේ මිනිස්සු' ටෙලි නාට්‍යයේ 'ගීති' ලෙසත්, ටීවීවන් නාළිකාවේ විකාශය වෙන ටිකිරි රත්නායකගේ 'ඇත්තමයි මේ ආදරය' ටෙලි නාට්‍යය තුළිනුත් මාව මේ දවස්වල දකින්න පුළුවන්. ඒ වගේම මම මුලින්ම දායක වුණ 'පාට පිහාටු' කියන ටෙලි නාට්‍යයත් ඉදිරියේදී විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා.

 

මෑතකදී සිනමාවටත් දායක වෙන්න අවස්ථාවක් ලැබුණා නේද?

ඔව්, සනත් ගුණතිලක මහත්මයාගේ 'මංගල තෑග්ග' දෙවැනි නිර්මාණය සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එහි එන ප්‍රධාන චරිත කිහිපය අතරින් එකක් තමයි මම නිරූපණය කරන්නේ. ප්‍රවීණ නළුනිළියන් පිරිසක් මෙහි දායක වෙනවා. පළමු චිත්‍රපටයේ දිගහැරුණු කතාවේ කොටසක් තමයි මෙහි කතා තේමාව වෙලා තියෙන්නේ.

 

ක්ෂේත්‍රයට ඔබ එන්නේ නිරූපිකාවක් විදිහට?

නිරූපිකාවක් කිව්වට මම ගොඩක්ම කළේ වෙළෙඳ දැන්වීම්වලට පෙනී හිටිය එක. වර්තමානයේ නම් රංගන ශිල්පිනියක් විදිහට තමයි වැඩිපුර වැඩ කරන්නේ. නමුත්, වෙළෙඳ දැන්වීම්, මියුසික් වීඩියෝ වගේ දේවල්වලටත් ආරාධනා ලැබෙන පරිදි එදා වගේම මම සම්බන්ධ වෙනවා.

 

රංගන ශිල්පිණියක් වුණේ.

මීට වසර දෙකහමාරකට විතර කලින්. ඒක අහම්බෙන් වුණ සිදුවීමක්. මුලින්ම රඟපෑවේ 'පාට පිහාටු' කියන ටෙලි නාට්‍යයට. මේ දක්වා ටෙලි නිර්මාණ අටක් විතර මම රඟපාලා තියෙනවා. ඒ අතරින් මිනිස්සු වඩාත්ම මං ගැන කතා කළේ මීට සති දෙකකට කලින් විකාශය නිමා වූ 'වස්සාන ප්‍රේමය' ටෙලි නාට්‍යයේ 'සුමුදු' කියන චරිතය හරහා. ඊට අමතරව ටෙලි නාට්‍යය නිළියක් විදිහට මුලින්ම මාව දැක්ක 'උතුම් පැතුම්'හි 'නයෝමි' කියන චරිතයත්, 'කොළඹ අපි ආවා' ටෙලි නාට්‍යෙය් 'අෂේනි' කියන චරිත තුළිනුත් මාව ප්‍රේක්ෂකයන් අතර වඩාත් කතාබහට ලක් වුණා.

 

අලුතෙන් ක්ෂේත්‍රයට එන අය එකම රාමුවකට කොටු වෙනවා නේද?

ඔව්, ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි. 'උතුම් පැතුම්'හි 'නයෝමි' කියන චරිතෙන් තමයි මාව ප්‍රේක්ෂකයන් මුලින්ම අඳුනගත්තේ. එහි මා ටිකක් නපුරු සැර කෙනෙක් විදිහට රඟපෑවේ. ඊට පස්සේ ලැබුණ චරිත ගත්තොත් හැම එකක්ම එකිනෙකට වෙනස්. එකිනෙකට වෙනස් චරිත ලැබුණ නිසා රංගනය පැත්තෙන් මට බොහෝ දේ ඉගෙන ගන්නත් පුළුවන් වුණා. ඒ වගේම මගේ හැකියාවන් පෙන්වන්න පුළුවන් අන්දමේ චරිතත් මේ අතර ලැබුණා. ඉතින් ඒ ගැන මට ගොඩක් සතුටුයි.

 

අනුරාධා ජනප්‍රිය කෙනෙක්?

බොහෝ දෙනෙක් මාව අඳුනගෙන කතා කරනවා. 'වස්සාන ප්‍රේමය' ටෙලි නාට්‍යයේ 'සුමුදු' හා 'කොළඹ අපි ආවා' ටෙලි නාට්‍යයේ 'අෂේනි' කියන චරිත හරහා ප්‍රේක්ෂකයෝ මාව අඳුනගත්තා. නමුත්, තවමත් මම ජනප්‍රිය චරිතයක්ද කියන එක නම් දන්නෙ නැහැ.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - කවිත් මිලින්ද

 

2017-03-22-ent-103 2017-03-22-ent-102   2017-03-22-ent-99 2017-03-22-ent-98 2017-03-22-ent-97