මම ගෙවන හැමදවසක්ම මට ගොඩක් කාර්යබහුලයි
දේශීය සිනමාව තුළ වර්තමානයේ නිතර දකින යොවුන්, දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස සෙලිනා ෆොන්සේකා හැඳින්විය හැකිය. මේ වසරේ ඉහළ ආදායමක් ලබමින් ප්‍රදර්ශනය වූ "විජයබා කොල්ලය" චිත්‍රපටයේ ප්‍රධාන නිළි භූමිකාවට පණදුන් සෙනාලි ඉදිරියේදී තවත් කලා නිර්මාණ රැසකින් ප්‍රේක්ෂක ඔබ හමුවීමට සූදානමින් සිටියි.
සෙනාලිගේ ජීවිතේ සාමාන්‍යයෙන් ගෙවෙන්නේ කොහොමද?
මගේ පෞද්ගලික ජීවිතේ නම් දැන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඉස්සර නම් මගේ ජීවිතේ නිදහසේ පොඩි ළමයෙක් වගේ මම ගෙව්වා. ඒත්, ගෙවුණ මාස කිහිපය ගත්තොත් කලා ජීවිතයත් එක්ක මම ටිකක් විතර කාර්යබහුල වෙලා තියෙනවා.
සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතය ගෙවෙන විදිහයි ජනප්‍රිය පුද්ගලයෙකුගේ ජීවිතේ ගෙවෙන විදිහයි වෙනස් නේද?
මිනිස්සු අඳුනන චරිතයක් වුණාම අපිට සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවිතේ ගෙවන්න අමාරුයි. අපි දෙයක් කරන්න කළින් එක වරක් දෙවරක් නෙමෙයි කිහිපවරක් හිතලා තමයි ඒ දේ කරන්නේ. ඒ නිදහස අපිට අද පොඩ්ඩක් විතර නැතිවෙලා තියෙනවා. නමුත්, මම හැම වෙලාවේම උත්සාහ කරනවා මගේ ජිවිතේ හරි සරළ විදිහට ගෙවන්න.
සෙනාලිගේ දවස ආරම්භ වෙන්නේ හා අවසන් වෙන්නේ කොහොමද?
මගේ දවස දෙවිදිහකට ගෙවනවා. රංගන ශිල්පිනියක් විදිහට මගේ දවස ආරම්භ වෙන්නේ පාන්දර තුනට. අපි රූපගත කිරිමකට දුර බැහැර ගමකට වගේ යනවා නම් කළින් දවසේ ගිහින් ඉන්න ඕනා. ඒ වගේම කුමන කල කටයුත්තකට දවසේ සහභාගි වෙන්න තියෙනවා නම් ඒකට කළින් සූදානම් වෙන්න ඕනා. රංගන ශිල්පිනියක් විදහට දවස ගෙවෙද්දි නම් උදේ දවල් රෑ වෙනවා තෙරේන්නේ නැහැ. වැඩ කටයුතු මට යෙදිලා නැති දවස්වල ඒත්, මොන මොනවා හරි වැඩ කටයුතු යෙදිලා තියෙනවා. රූපගත කිරිම් කටයුතුවලට සහභාගි වෙන නිසා එදිනෙදා ජීවිතේදී කරන්න බැරිවුණ එහෙමත් නැත්නම් අතපසු වුණ වැඩ ටික එදාට යෙදිලා තියෙනවා. ගේ දොර අස්පස් කරන එක. ඇගට ව්යායමක් ලබා දෙන්න ඇවිදින්න හෝ ජිම් එකකට යන්න. රූව ගැන හිතලා සැලුන් එකකට යන්න වගේ දේවල් ඒ දවසට යොදා ගන්නවා. ඒ නිසා මට දැන් මට එහෙම නිදහස් කියලා දිනයක් නැහැ. හැම දවසේම කාර්යබහුලයි.
නිදහස් ජීවිතයක් ගත කරපු ඔබ කලාවට සම්බන්ධ වෙලා ඒ නිදහස අහිමි කරගත්තා කියන හැගීම මතු වෙන්නේ නැද්ද?
ඇත්තටම ඔව් කිව්වොත් හරි. මම හරි සරළ ජීවිතයක් ගත කරපු කෙනෙක්. මගේ ජීවන රාටාව හරි සරළයි. මට අවුරුදු අටේදී තමයි මම ලංකාවෙන් ගියේ. ඒ ගිහින් ආයේ ලංකාවට එන්නේ සෝමරත්න අංකල්ගේ %සිරි පැරකුම්^ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න. මගේ ජීවිතේ මම වැඩිපුරම ගත කළේ එංගලන්තයේ. මගේ ජීවිතේ සොඳුරුතම කාලේ තමයි මගේ විශ්වවිද්‍යාල ජීවිතේ. අදටත් ඒ ගෙව්ව අතිතය ගැන මම ගොඩක් සතුටු වෙනවා. අද රංගන ශිල්පිනියක් විදහට මම කාර්යබහුල වෙලා ඉන්නවා ඒක ඇත්ත. ඒ වුණාට මම කලාවට ආදරේයි. ඒ වෙනුවෙන් කැප කිරිමක් අද මම කරලා තියෙනවා කියලා හිතනවා.
රුව කියන්නේ කලා ශිල්පිනියකට ආභාරණයක්. එය රැකගන්න ඔබ මොනවද කරන්නේ?
අනිවාර්යයෙන්ම. රංගන ශිල්පිනියකට විතරක් නෙමෙයි ඕනෑම ගැණු ළමයෙකුට තමන්ගේ රුව කියන දේ ආභරණයක්. රංගන ශිල්පිනියක් විදහට අපිට ඒ ලැබිලා තියෙන ආභාරණය අපි හැමදාමත් රැකගෙන පවත්වාගෙන යන්න ඕනා. මොකද හැම කෙනෙක්ම කැමති ලස්සන දේ දකින්නනේ. ඒ ලස්සන වගේම පෞර්ෂත්වය අපි හැමදාම රැකගන්න ඕනා. මම දකින විදිහට ලස්සන කියන දේ හැමෝටම සාපේක්ෂයි. සුදු වෙන්න නෙමෙයි හැම තිස්සේම අපි උත්සාහ කළ යුත්තේ නිරෝගී කෙනෙක් වෙන එක. මමත් පෞද්ගලිකව උත්සාහ කරන්නේ මගේ තියෙන ලස්සන තව තවත් වැඩි කරගන්න නෙමෙයි තියෙන ලස්සන රැකගන්න. උපතින්ම අපි ලස්සනක් ගේනවා. නමුත්, අපිට ඒක නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දේ නැතිවෙන්නේ නැතුව රැකගන්න තමයි අපි උත්සාහ කරන්න අවශ්‍යය. අපි නිරෝගීව හිටියොත් මේ හැමදෙයක්ම රැකිලා තියෙවි කියලා මම හිතනවා.
අධ්‍යාපනයට දක්ෂයෙකු වුණ ඔබ ඇයි මේ රංගනය කියන දේ තෝර ගත්තේ?
මෙහෙමයි. කලා ක්ෂේත්රයට ආවට පස්සේ විශේෂයෙන්ම මම එංගලන්තයේ ජිවත් වෙච්ච කෙනෙක් විදිහට ගොඩක් අය අහනවා එංගලන්තේ වගේ හොඳ රටක් දාලා ඇයි මේ ලංකාවට ඇවිල්ලා රඟපාන්නේ කියලා. සල්ලි හින්දද? එහෙමත් නැත්නම් ජනප්‍රියත්වය හින්දද? කියලා. ඇත්තටම මම රඟපාන්නේ ඒකට මම කැමති නිසා. වෘත්තියකට වඩා මම ආස කරන දෙයක් තමයි රංගනය කියන දේ. ජනප්‍රියත්වය කියන දේට මම ලෝබයි කියන්නේ නැහැ හැබැයි මම ආසයි. කවුරු හරි කෙනෙක් පාරේ යන කොට මාව දැකලා මම කරපු රංගනයක් ගැන අගේ කරලා හරි බැනලා හරි කතා කරනවා නම් මට අන්න ඒකයි සතුට. අන්න ඒක තමයි මා ලබන තෘප්තිය. මේක හැම කෙනෙක්ටම ලැබෙන වාසනාවක් නෙමෙයි. ඉතින් මට ඒ වාසනාව අද ලැබිලා තියෙනවා.
බුද්ධික සේනාධීර
ඡායාරූප - දුලීත ශ්‍රීනාත්