මම ගුරුවරියක් වෙන්න ආසයි
ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස තම සිහිනය පසුපස යෑමට වෙර දරණ ඇය අශිකා නානායක්කාර වෙයි. රූපාවාහිනි අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබූ ඇයගේ කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ සඳහා පැවැසුවේ මෙවැන්නකි.
ඔබ ගැන හැඳින්වීමක් කරන්න.
මම අශිකා නානායක්කාර. මම ගියවසරේ උසස් පෙළ හදෑරුවා. මම දැනට රුපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස පුහුණු කටයුතු සිදුකරනවා. මේ වසරේ රූපවාහිනි අවුරුදු කුමරියට ආවා. එහි අන්තිම 12 දෙනා අතරට තේරී පත්වුණා. ඉන් පසුව තමයි නිරූපණයට යොමුවීම සිද්ධවුණේ.
අවුරුදු කුමරිය සඳහා ඉදිරිපත්වුණේ නිරූපණයට යොමුවෙන්න හිතාගෙනද?
නෑ එහෙම ආසාවකට නෙවේ. මම පසුගිය වසරේ ඉඳන් හිතාගෙන හිටියේ ඒ සඳහා ඉදිරිපත් වෙනවා කියලා. ආසා හිතිලා ඒ සඳහා ඉදිරිපත් වුණා.
ඒ සඳහා පවුලේ අයගෙන් කැමැත්ත ලැබුණද?
අම්මා නම් කැමති වුණේ නැහැ. කොහොම හරි කැමති කරගෙන ඒ සඳහා ඉදිරිපත් වුණා. ඉන්පසු පළමු, දෙවෙනි වටවලට තේරෙන කොට අම්මාටත් ආසා හිතෙන්න ඇති.
නිවේදනය සඳහා යොමුවෙන්නේ කොහොමද?
මම ඒ සඳහා ආසාවෙන් හිටියේ නැහැ. අවුරුදු කුමරියට ඉදිරිපත් වුණාට පස්සේ තමයි අපිව ස්ක්‍රීන් ටෙස්ට් තියලා තෝරාගත්තේ. ඒ නිසා මම දැන් නිවේදනය පිළිබඳව පාඨමාලාවක් හදාරනවා. අලුත් ටෙලිනාට්‍යයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම Photoshoots කිහිපයක් කරලා තියෙනවා.
වෘත්තීය වශයෙන් තෝරාගන්න කැමති මොන ක්‍ෂේත්‍රයද?
මම ගුරුවරියක් වීමට ආසයි. මම නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ගුරු උපාධිය හදාරනවා.
නිවේදනය පැත්තෙන් ඉදිරි වැඩකටයුතු මොනවාද?
දැනට නම් ප්‍රවෘත්ති නිවේදනය සඳහා තමයි එන්න කීවේ. ඊළඟ මාසේ ඉඳන් අපිව ප්‍රවෘත්ති නිවේදනය සඳහා ඉදිරිපත් කරවනවා.
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මගේ මූලිකම බලාපොරොත්තුව ගුරුවරියක් වීම. ඒ අතරතුර තමයි අනෙකුත් වැඩකටයුතු කරගෙන යන්නේ.
ඉගෙනීමේ වැඩත් එක්ක මේ දේවල්වලට කාලය වෙන් කරගන්න හැකියාව තියෙනවාද?
උපාධියේ ඉගෙනීම් කටයුතු තියෙන්නේ සති අන්තයේ නිසා මට සතියේ දවස්වල නිවාඩුවක් තියෙනවා. ඒ නිසා ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ.
ඔබට උදවු කළ මතක් කළයුතු පිරිසක් ඉන්නවාද?
අම්මා තමයි හැමදේටම පිටිපස්සෙන් ඉඳන් උදවු කරන්නේ.
Dilan Chryshantha / Pix - Kaveeth Milindha