මම කොහොමත් සීමා ඇතුව රඟපාපු කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-07-ent-149

කලා ක්‍ෂේත්‍රයේ වැඩි ආදරයක්, ආකර්ෂණයක් දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනී තිසුරි යුවනිකා පසුගියදා ඇයගේ ජීවිතේ සුවිශේෂීම කඩඉමක් පසු කළාය. ඒ විවාහ දිවියට පා තැබීමෙනි.අලුත් ජීවිතයක්, අලුත් බලාපොරොත්තු සමගින් ලස්සන මනාලියක වූ තිසුරිගේ කලාකටයුතු පිළිබඳ කතාබහ කිරීමට ‘සාරවිට’ තරු කතාබහට මෙලෙස සම්බන්ධ කර ගතිමු.

 

ජීවිතේඅලුත් වුණා නේද?2018-08-07-ent-150

ඔව්, ජීවිතයට තව කෙනෙක් එකතු වුණා. මම පසුගියදා (19දා) විවාහ වුණා. ඉතිං මම විවාහ වුණේ නාවික නිලධාරියෙක් එක්කයි. ඔහුගේ නම සුරාජ්.

 

පොඩි කාලේ ඉඳන්ම දන්නා හඳුනන කෙනෙක් නේද විවාහ වෙන්නේ?

ඔව්, මම එයාව පොඩි කාලේ ඉඳන්ම දන්නවා. පවුල් දෙක හිතවත්. ගෙවල් දෙකත් ඒ තරම් කිට්ටු සම්බන්ධතා පවත්වපු නිසා මම පාසල් යන කාලෙත් සුරාජ්ව ළඟම යාළුවෙක් විදියට ආශ්‍රය කළා. පොඩි කාලේ සිටම දැනහැඳින ගැනීම ඔස්සේ ගොඩ නැගුණු සම්බන්ධතාවක් තමයි මේ. ඉතිං විවාහ දක්වා ඇවිත් විවාහය සිදු වුණා.

 

සුරාජ් කාලවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි නේද?

ඔව්. ඔහු කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. මම කලාවට සම්බන්ධ නොවන කෙනෙක් එක්ක තමයි විවාහ වෙන්න තීරණය කරලා තිබුණේ. ඇත්තටම ඒක මගේ පෞද්ගලික කැමැත්තක්. මොකද මට පොඩි කාලයේ ඉඳන්ම හුරු තාත්තා වෙනම ක්‍ෂේත්‍රයක, අම්මා වෙනම ක්‍ෂේත්‍රයක කෙනෙක් වීමයි. ඒක නිසා නිසා මට කලා ක්‍ෂේත්‍රයේ කෙනෙක් නෙමෙයි වෙනම කෙනෙක් හොඳයි කියන එක තමයි හුරුව තිබුණේ. මම හැමවෙලාවෙම හිතුවේ එකම ක්‍ෂේත්‍රය වුණාම කරදරයි කියලා. නමුත් ඒක මගේ පෞද්ගලික මතය. අද එකම ක්‍ෂේත්‍රයේ අය කසාද බැඳලා හොඳින් ජීවත් වෙනවා. ඒකයි මම කියන්නේ ඒක මගේ පෞද්ගලික කැමැත්ත කියලා. මම ඒක හොඳ නැහැ කියනවා නෙමෙයි. මම කැමති වුණා වෙන ක්‍ෂේත්‍රය කෙනෙක් කසාද බඳින්න.

 

ඔහු කලාකටයුතුවලදී ඔබට සීමා මායිම් පනවයිද?

මෙහෙමයි, මම කොහොමත් සීමා ඇතුව රඟපාපු කෙනෙක්. විවාහට කලින් කියලා සීමාවල් බිඳගෙන ගිහින් රඟපාපු කෙනෙක් නෙමෙයි. මගේ යම්යම් සීමාවල් තියෙනවා. ඒ සීමාවල් ඇතුළෙ ඉඳන් තමයි මම හැමදාම රංගනයේ යෙදුණේ. ඒක නිසා එයාට මට අමුතුවෙන් සීමාවල් පනවන්න දෙයක් නැහැ. එයා මාව පොඩි කාලේ ඉඳන් දන්නවා, මම රඟපානවා කියලා දන්නවා. මම මේවායේ ඉන්නේ කොහොමද කියලා දන්නවා. ඒක එයාගෙන් මට කිසි ගැටලුවක් නැහැ. මගේ වෘත්තීමය පැත්තට එයාගෙන්, එයාගේ පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. ඒක මට ලොකු පහසුවක් මගේ වැඩකටයුතු කර ගන්න.

 

නිර්මාණ ගැන කිව්වොත්?

මම දැනට නිර්මාණ තුනකට විතර සම්බන්ධ වෙලා තියෙනවා. ‘නේත්‍රා’, ‘කණාමැදිරියෝ’, ‘මිනිගන්දෑල’ කියන නිර්මාණ තුනයි. මම විවාහයට පෙරත් මේ වැඩකටයුතුවල තමයි යෙදිලා හිටියේ විවාහයෙන් පසුවත් ඒ වැඩ සඳහා දායක වෙලා කටයුතු කරනවා වගේම ඒවත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා තියෙනවා.

 

මේ නිර්මාණ අතරින් වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ?

නාට්‍ය තුනෙන් එකක් විකාශ වෙන්නේ නැහැ. ඒ තමයි ‘කණාමැදිරියෝ’ කියන නාට්‍යය. මං හිතනවා ආදරණීය ප්‍රේක්‍ෂකයන් වැලඳ ගනියි කියලා හිතනවා. ‘මිනිගන්දෑල’ට ප්‍රතිචාර තියෙනවා. ඒවගේම ‘නේත්‍රා’ නාට්‍යයේ ‘නේත්‍රා’ කියන චරිතයට හොඳ ප්‍රතිචාර තියෙනවා. ඇත්තටම රංගන ශිල්පිනියක් විදියට මං හිතනවා මම ගොඩක් වාසනාවන්තයි කියලා. මොකද මට මේ අවුරුද්දේ හොඳ නිර්මාණ තුන හතරකට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ නිර්මාණ ඔක්කෝම ප්‍රේක්‍ෂකයන් වැලඳ ගත්තා. ‘කණාමැදිරියෝ’ කියන නාට්‍යයත් වැලඳ ගනියි කියලා හිතනවා. එකත් වෙනස්ම තලයේ නිර්මාණයක්.

 

‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයෙන් පස්සේ සිනමා නිර්මාණයකට දායක වුණේ නැද්ද?

‘ධර්ම යුද්ධය’ට පසුව මම සිනමා නිර්මාණයක් සඳහා සම්බන්ධ වුණේ නැහැ. ආරාධනා නම් ලැබුණා. නමුත් යම් යම් එක්ක කාර්ය බහුලත්වයක් එක්ක ඒවා බාර ගන්න බැරි වුණා. ‘ධර්ම යුද්ධය’ වගේ මට යමක් කරන්න පුළුවන් හොඳ නිර්මාණයක් ලැබුණොත් මම සම්බන්ධ වෙනවා.

 

ඔබ ‘මෙගා රැල්ලට’ නැද්ද?

මම මෙගා කරලා තියෙනවා. නැත්තේ නැහැ. මම මෙගා, කොටස් අඩුගාණෙ ඒ හැම දෙයක්ම මම කරලා තියෙනවා. දැන් මෙගා කියලා කරන්නේ කොටස් 100 නෙ. මුල, මැද, අග ඇතුව කෙරෙනවානම් ගැටලුවක් නැහැ. ගාල කඩා ගත්තා වගේ යන්නෙ නැතුව. අගක්, මුලක් නැතිව යනවට වඩා, නැත්නම් නිර්මාණයත් එපා වෙලා නිර්මාණයේ ඉන්න අයත් එපා වෙලා තමයි නිර්මාණය නවත්වන්න වෙන්නේ. එහෙම වෙන්නේ නැතුව මුල, මැද, අග තියාගෙන නිර්මාණයක් කරනවා නම් නිර්මාණයටත් හොඳයි, ඉන්න රංගන ශිල්පීන්ටත් හොඳයි කියලා මම හිතනවා. මෙගා නැතුව කොටස් අඩුගාණෙ ඒවා කරනවා නම් අපිත් කැමැතියි. යම් රැල්ලක් ඇති වෙලා තියෙනවා. දැන් ඒ රැල්ලට අපටත් ගහගෙන යන්න වෙලා තියෙනවා. මම මෙගාවලට අකැමැති වුණා කියලා හැමෝම මෙගා නොකර ඉන්නේ නැහැනේ. මගේ වෘත්තීය රංගනය නම් තනි අතින් අත්පුඩි ගහන්න වෙන්නේ නැහැ. ඒනිසා මටත් ඒ රැල්ලට ගහගෙන යන්න වෙනවා. මම මෙගා කළත් මුල, මැද, අග ඇති ගොඩක් වෙලාවට කොටස් 100ක් තියෙන නිර්මාණවලට තමයි දායක වෙන්නේ.

 

වර්තමානයේ නිර්මාණ වෙන ටෙලිනාට්‍ය යම්කිසි ගුණාත්මක භාවයක් දකිනවාද?

ඔව්, යම්කිසි ගුණාත්මක නිර්මාණ බිහි වෙනවා. ඒ ගැන රංගන ශිල්පිනියක් විදියට ගොඩාක් සතුටුවෙනවා. ගුණාත්මක නිර්මාණ බිහිවෙන්න ප්‍රේක්‍ෂකයන් ඒවා හොඳින් වැලඳ ගන්නවා. හොඳ නිර්මණ බලන පිරිසකුත් ඉන්නවා. පසුගිය කාලයේ හොඳ නිර්මාණ බිහිවුණා, ඒ දේවල් ප්‍රේක්‍ෂකයන් වැලඳ ගත්තා කියන දේ අපි දැක්කා. අපිත් කැමැතියි හොඳ නිර්මාණවලින් ප්‍රේක්‍ෂකයන් අතරට යන්න. හොඳ නිර්මාණ ඉදිරියේදීත් නොඅඩුව බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

 

සම්මානලාභී නිළියක් වශයෙන් සම්මාන උළෙලවලදී සම්මාන දෙන ක්‍රමවේදය පිළිබඳ දකින්නේ කොහොමද?

අපේ රටේ සම්මාන දෙන ක්‍රමය ගැන නම් තේරුම් ගන්න බැරි අවස්ථාත් තියෙනවා. මොකද මට පෞද්ගලික කියලා තියෙනවා කොච්චර හොඳට කරලා තියෙනවාද කියලා. නමුත් ඊට පස්සේ කියනවා අපට කාලේ තියෙනවා කියලා. ඒක නිසා අපට වඩා ජ්‍යෙෂ්ඨ කෙනෙක් හිටියොත් අපට කාලේ තියෙනවා කියලා මතයක් යනවා. ඒ ගැන මතයක් තියෙනවා. ඇත්තටම මම සම්මාන බලාගෙන රඟපාන්නේ නැහැ. මේ යන විදියත් එක්ක මට ලැබිලා තියෙන සම්මානය තමයි ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගේ සම්මාන. ඒ ගැන සතුටුයි. අර කියන මතයේ ඉඳලා සම්මාන දුන්නු අවස්ථාත් නැතුව නෙමෙයි. ‘සුමති’, රාජ්‍ය සම්මාන වැනි දේවල්වලින් මම හොඳම නිළිය සම්මාන අරගත්තා. ඒ මතය බිඳලා සම්මාන දෙන්නත් සම්මාන උළෙල තිබුණා. නමුත් බහුතරයක් තිබ්බේ අර විදියට තමයි. සම්මාන බලාගෙන රඟපාන්නේ නැහැ. නමුත් දුන්නොත් සතුටින් බාර ගන්නවා. මොකද අපි හැම නිර්මාණයක් කරන්නේ ගොඩක් මහන්සි වෙලා. සතුටුයි එහෙම සම්මානයක් ලැබුණොත්, නොලැබුණත් දුකක් නැහැ. මොකද ප්‍රේක්‍ෂකයන් ඒ නිර්මාණය හොඳින් වැලඳගෙන ප්‍රතිචාර තියෙනවා නම් ඒ ඇති.

 

අවසාන වශයෙන් කිව්වොත් ජීවිතේ ලොකුම බලාපොරොත්තුව මොකක්ද කියලා?

ලොකු ලොකු බලාපොරොත්තු කියන දේවල් ඉස්සර කාලේ ඉඳන්ම තිබුණේ නැහැ. මේ කාලේට මේ දේවල් කරනවා කියලා ලොකු සැලැස්මවල් තිබුණේ නැහැ. හැමදාම ඕන වුණේ සරල විදිහට කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න. හැබැයි හැමදේම හොඳින් කරගෙන ජීවත් වෙන්නයි ඕන වුණේ. ඉස්සරටත් එහෙමම තමයි කාටවත් කරදරයක් නැතුව මගේ දේවල්, මගේ පවුලේ හොඳින් කරගෙන ජීවත් වෙන්න තමයි මගේ ලොකු බලාපොරොත්තුව.

 

Dilan Chryshantha / Pix - Sumudu