මම කොහෙත්ම නිරූපණ ශිල්පිනියක් වෙන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-18-ent-35

වෙළෙඳ දැන්වීම් ඔස්සේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු ගීත්මා බණ්ඩාර 2018 වසරේ හිරු අවුරුදු කුමරිය තරගය ජයග්‍රහණය කරනු ලැබුවා. ඇය මේ වනවිට ටෙලි නාට්‍ය කිහිපයකට ද සම්බන්ධ වී තිබෙනවා. මේ දිනවල විකාශය වන නීල පබළු ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වන ගීත්මා සාරවිට කතාබහට එකතු වුණේ මේ විදිහටයි.

 

ගීත්මා කලා ක්ෂේත්‍රයට එකතු වෙන්නේ කොහොමද?2019-01-18-ent-39

මම කලාවට එකතු වෙන්නේ 2018 හිරු අවුරුදු කුමරිය තරගය හරහා. එතනින් පස්සේ තමයි මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ. නමුත් ඊට අවුරුදු දෙකකට කලින් ඉඳලා මම ටී.වී. කමර්ෂල්වලට සම්බන්ධ වෙලා තිබෙනවා.

 

රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්?

මම රංගනයෙන් දායක වන දෙවෙනි ටෙලි නාට්‍ය තමයි “නීල පබළු” කියන්නේ. ඒ වගේම තව දැවැන්ත නිර්මාණයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ගැන දැන්ම කියන්න බැහැ. මගේ මුලින්ම සම්බන්ධ වුණේ අහස් මාලිගා ටෙලි නාට්‍යයටයි.

 

දායක වුණු වෙළෙඳ දැන්වීම් ගැන කිව්වොත්?

මේ වෙද්දි මම වෙළෙඳ දැන්වීම් 28කට විතර දායක වෙලා තිබෙනවා. මේ දිනවල විකාශය වෙනවා මැගී සුප් වෙළෙඳ දැන්වීම. එතකොට මම මුලින්ම දායක වු‍ණේ මැලිබන් ක්‍රීම් ක්‍රැකර් පෙත්තප්පු වෙළෙඳ දැන්වීම. ඒක තවමත් විකාශය වෙනවා. කලා ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්නද බලාපොරොත්තු වෙන්නේ?

මම තවමත් අධ්‍යාපනය හදාරනවා. ඉතින් අධ්‍යාපනය හදාරලා උගත් රංගන ශිල්පිනියක් වීමට තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

නිරූපණයට වඩා රංගනයටද කැමැත්තක් දක්වන්නේ.

ඔව්. මම කොහෙත්ම නිරූපණ ශිල්පිනියක් වෙන්නේ නැහැ. රංගන ශිල්පිනියක් විදිහට තමයි ඉදිරියටත් දැක ගන්න ලැබෙන්නේ.

 

තවම සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද?

මේ අවුරුද්දේ එක් සිනමා නිර්මාණයක රූගත කිරීම්වලට දින ලබාදී තිබෙනවා. ඒ කටයුතු වලට ඉදිරියේදී සම්බන්ධ වෙනවා.

 

වර්තමානයේ රංගන ක්ෂේත්‍රය සහ නිරූපණ ක්ෂේත්‍රය ගැන මිනිස්සු කතා කරන්නේ වෙනස් විදිහකට. ඒකට හේතුව මොකක් කියලද හිතන්නේ?

නොගැළපෙන අය මේ ක්ෂේත්‍රයන්ට සම්බන්ධ වීම නිසා මේ ක්ෂේත්‍ර දෙකටම හානියක් වෙලා තිබෙනවා. ක්ෂේත්‍රය ගැන වටිනාකමක් දන්නේ නැති, ක්ෂේත්‍රයෙන් මුදල් ඉපැයීම පමණක් අරමුණු කරගන්නා අය ක්ෂේත්‍රයට එකතු වුණාම තමයි ඕනෑම ක්ෂේත්‍රයක් පිරිහීමට ලක් වෙන්නේ.

 

නිරුවත සහ අඩ නිරුවත කියන දේ කලාව තුළ විවිධාකාරයෙන් මතු වෙනවා. ඒක කොහොමද කලාවේ ඉදිරියට බලපාන්නේ?

මෙහෙමයි. අපි බටහිර රටක් නෙවෙයි. බටහිර සංස්කෘතිය තුළ නිරුවත සහ අඩනිරුවත කියන්නේ සාමාන්‍ය දෙයක්. නමුත් ආසියාතික රටක් විදිහට සංස්කෘතිය කියන දේට අපි මුල් තැන දීලා තියෙන්නේ. සංස්කෘතිය සහ සදාචාරය කියන දේ අපි අතීතයේ ඉඳලාම ආරක්ෂා කරගෙන ආවානේ. ඒ දේවල් ඒ විදිහටම රැකගෙන හැමෝම තම තමන්ගේ ක්ෂේත්‍රවල නියැලුණා නම් හොඳයි.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

අලුත් නාට්‍යයක ප්‍රධාන චරිතයට ආරාධනා ලැබුණා. ඉදිරියේදී විකාශය වෙන්න නියමිත වෙළෙඳ දැන්වීම් රැසක් තිබෙනවා. ඉදිරියට කියලා වැඩ ගොඩාක් බාර අරගෙන නැහැ. මගේ අධ්‍යාපන වැඩකටයුතු කරගෙන යනවා. එතකොට මේ දිනවල නීල පබළු රූ ගත කිරීම්වලටත් සම්බන්ධ වෙනවා.

 

ඔබට උදව් කළ පිරිසක් ඉන්නවානේ. ඒ අය ගැන කිව්වොත්?

නම් වශයෙන් කියන්න ගොඩාක් අමාරුයි. මොකද ඒ තරමට පිරිසක් මට ඉන්නවා. මට හිනාවකින් හරි වචනයකින් හරි උදව් කරපු හැමෝටම මම ස්තුති කරනවා. ඒ වගේම මගේ ජයග්‍රහණය පිටිපස්සේ හිටපු හැමෝටමත් මම ස්තුති කරනවා. එතකොට මගේ පවුලේ හැමෝටමත් සහ හිරු නාළිකාවේ හැමෝටමත් මම ස්තුති කරනවා.

 

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද

 

 2019-01-18-ent-36 2019-01-18-ent-37 2019-01-18-ent-38