මම කොයි මොහොතකවත් කියන්නේ නැහැ මට පෙම්වතෙක් නැහැ කියලා
ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ 'දේදුනු ආකාසේ' චිත්‍රපටය හරහා ලාංකේය සිනමාවට පිවිසෙන ටීනා ෂනෙල් ප්‍රනාන්දු සමගින් 'අද' තරු කතාබහ අරඹන්නට අපි සිතුවෙමු. වෘත්තීය මට්ටමේ නිරූපිකාවක වන ටීනා මේ දිනවල වඩාත් කතාබහට ලක්වන්නේ 'පවනි' හේතුවෙනි. තම පළමු සිනමා අත්දැකීම සහ ඉදිරි කටයුතු පිළිබඳ ඇය මෙලෙස අදහස් දැක්වුවාය.
මේ දිනවල ඔබ ගැන බොහෝ දේවල් කතා වෙනවා නේද?
ගොඩක් සන්තෝෂයි. මොකද ලැබෙන ප්‍රතිචාර හොඳයි. ෆේස්බුක් එකේ මගේ ෆෑන්ස්ලා සහ ගොඩක් අය මට හොඳ ප්‍රතිචාර ලබා දෙනවා. ඒ කියන්නේ මගේ චරිතේ ගොඩක් අයට දැනිලා තියෙනවා කියලා හිතෙනවා. හැමෝම 'පවනි' කියලා කතා කරන්න පටන්ගෙන තියෙනවා. ඉතිං ගොඩක් සතුටුයි.
නිරූපිකාවක විදියට කතාබහට ලක්වූ ඔබ දැන් සිනමා නිළියක වීම පිළිබඳ කතාබහට ලක්වෙලා?
මොඩල් කෙනෙක් විදියට ක්ෂේත්රය තුළ ඉද්දි ඉහළින්ම කමෙන්ට් තිබ්බා. ඉන්න මොඩල්ස්ලා අතර ප්‍රතිචාර ගොඩක් ලැබුණා. දැන් රංගනය පැත්තෙන් දායක වුණාමත් අර තිබ්බ තැන ඊටත් වඩා වැඩිවෙලා කියලා හිතෙනවා. මේක මගේ පළමුවැනි චිත්‍රපටය, මට හොඳ අධ්යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න ලැබුණා. හොඳ සහෝදර පිරිසක් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒවගේම ප්‍රසිද්ධ සහ දක්ෂ රංගන ශිල්පියෙක් එක්ක රංගනයේ යෙදෙන්න ලැබුණා. මගේ රඟපෑම සාර්ථකව කළා කියලා හිතනවා. මොකද මට විශිෂ්ට කණ්ඩායමක්, පවුලක් එක්ක වැඩ කරන්න පුළුවන් වුණා. මගේ පළමු චිත්‍රපටය නිසා යම්යම් දුර්වලතා ඇති. ඒවා හදාගෙන ඉස්සරහට යන්න තමයි හිතන්නේ. ප්‍රතිචාර බැලුවාම මම හිතනවා ඒ චරිතයට මම සාධාරණයක් ඉටු කරලා තියෙනවා කියලා.
'දේදුණු ආකාසේ' ඔස්සේ ඔබට මෙන්ම නිරූපිකාවක වන චූලක්ෂිට වාසනාවක් ලැබුණ එක ගැන මොකද හිතෙන්නේ?
ඔව් ඇත්තටම. අධ්යක්ෂවරුන් ඇත්තටම බයයි නිරූපිකාවන් ඔවුන්ගේ නිර්මාණවලට සම්බන්ධ කරගන්න. කොහොම රඟපායිද දන්නේ නැහැ, බැරිවෙයිද දන්නේ නැහැ කියන මේ දේවල් ඒ අයට තියෙනවානේ. ඉතිං ඒ අය බයයි තමන්ගේ චිත්‍රපටය ෆේල් වෙයිද? එහෙම නැත්නම් මේකට ප්‍රසිද්ධ අය ගන්න එක හොඳයි කියන මතයේ තමයි ඉන්නෙ. එතැනදී, ප්‍රියන්ත කොළඹගේ කියන අධ්යක්ෂවරයා වැලේන්ජ් එකක් බාරගත්තා කියලා කියන්න පුළුවන්. එයා අපිව සාධාරණ ලෙස හදලා. මහේන්ද්‍ර සර්ගේ ක්ලාස් යවලා. ඒ වගේ පුහුණු වීම කරලා තමයි අපිව චිත්‍රපටයේ වැඩකටයුතුවලට සම්බන්ධ කරගත්තේ. ඒකේ ගෞරවය සම්පූර්ණයෙන් ප්‍රියන්ත අයියාට තමයි යන්න ඕනේ. අපේ මේ රංගනය සාධාරණයක් කරන්න 75%කම දායකත්වය ප්‍රියන්ත අයියාගේ තමයි. මේ අවස්ථාව ගොඩක් අයට ලැබෙන්නේ නැහැ. නමුත් මටයි, චුලක්ෂිටයි මේ අවස්ථාව ලැබුණා. ගොඩක් නිරූපිකාවන් ඉන්නවා රඟපානවා. නමුත් ඒ චරිත මිනිස්සු අතරට යන්නේ නැහැ. අපි දෙන්නාව ගොඩක් කතාබහට ලක්වෙනවා. ඉතිං මේ හැමදෙයක්ම අධ්යක්ෂතුමා නිසා කියලා තමයි කියන්න තියෙන්නේ.
පළමු සිනමා නිර්මාණය තුළම හේමාල්ගේ පෙම්වතිය වුණා නේද?
කොහොමත් ඕනම කෙනෙක් කැමැතිනේ එයාගේ පෙම්වතිය විදියට රඟපාන්න. ඒක නැහැයි කියනවා නම් බොරු කතාවක්. දැනට ලාංකික සිනමාව තුළ හොඳම රංගන ශිල්පියෙක් ඔහු. අපි මොඩල් ක්ෂේත්රය තුළත් එයා අපට ඉස්සෙල්ලා කෙනෙක්. එතකොට එයාගේ තියෙන අත්දැකීම් අපට ගොඩක් වටිනවා. එයා වගේ කෙනෙක් එක්ක අපේ මුල්ම රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබීමටත් අපි වාසනාවන්තයි. ඔහුගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා.
එම නිර්මාණය තුළ ඔබ ඔබේ රංගන ගැන තෘප්තිමත්ද?
පළමු වැනි නිර්මාණයේ ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර එක්ක හිතෙනවා මම ඒ චරිතයට සාධාරණයක් ඉටුකළා කියලා. මාව ඒකෙ එකඑක අය විවිධ විදිහට දකිනවා. මම ඩාන්සින් පැත්තෙන් දායක වෙනවා. ගොඩක් අය මුලින්ම බලනකොට හිතෙනවා මගේ රඟපෑම කොහොමද ඒ දේවල් ගැන. ගොඩක් දෙනෙකුට මගේ චරිතය කාවැදුණේ ඒ නිසයි කියලා මම හිතනවා. ඒක හරි දුක්බර කතාවක්. ඒ දේ ප්‍රේක්ෂකයන් තමයි දකින්නේ. මගේ චරිතය තුළ මම කොච්චර සාධාරණයක් කරලා තියෙනවාද කියන කාරණය. මට මම සාධාරණයක් ඉටුකළා. මම එහෙම කළේ නැත්නම්, අධ්යක්ෂවරයාට ඒ රඟපෑම ගැන තෘප්තිමත් නැත්නම් අද වෙනකොට ඒ චිත්‍රපටයක් තාම නැහැ. ඒ නිසා මේ සඳහා ප්‍රතිචාර දක්වන්න ඕන මගේ රසියකයන් තමයි.
එක්එක් අයගේ ජීවිතේ ආදරය නතර වෙන තැනක් තමයි මෙම චිත්‍රපටයේ මූලික වෙන්නේ. ඉතිං මේක අද සමාජය කොච්චර දුරට ගැළපෙනවාද?
මේ චිත්‍රපටයේ ප්‍රධාන දේ තමයි මෙහි තියෙන කතාව. මේ වගේ කතා අද සමාජයේ, ඇත්ත ජීවිතවල දකින්න ලැබෙනවා. අපි කොලේජ් යන කොට කාට හරි ආස හිතිලා ආදරය කරනවා. නමුත් ඒ කෙනා අපට ආදරය කරන්නේ නැති වෙන්න පුළුවන්. එතැනදී මිත්‍රකම නිසා හදාගන්න දේවල්, ඔවුන්ගේ දෙමවුපියන් ළමයන්ගේ තීරණ වෙනස් කර ගන්නේ නැතිව කැමැති වෙන්න සිදුවෙනවා. මේ වගේ දේවල් අද සමාජය තුළ දකින්න පුළුවන්. එකම කොල්ලට දෙන්නෙක් ආදරය කරද්දි වෙන දේවල් මේ චිත්‍රපට තුළින් දකින්න පුළුවන්. මේක තරුණ පරපුරට ගැළපෙන හොඳ චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.
තවත් සිනමා නිර්මාණ සඳහා ආරාධනා ලැබිලා තියෙනවා නේද?
ෆිල්ම්ස්වලට ගොඩක් ආරධනා ලැබිලා තියෙනවා. ඒකෙ දෙකකට මම හා කියලා තියෙනවා. මොකද ඒකෙ පිටපතට මම ගොඩක් කැමැති නිසා. ඉදිරියේදී මම හිතෙනවා ෂූටින්වලට දායක වෙන්න පුළුවන් වෙයි කියලා. මම කැමැති මිනිසුන්ගේ හිතේ රැඳෙන චරිතවලින් සිනමාවට එන්නයි.
දැන් නැඹුරුව වැඩිපුර සිනමාවට විතරද?
නැහැ. මම නිරූපණ කටයුතුත් කරනවා. මම ඒ දේවලුත් ඉස්සර ඉඳන් තෝරා බේරාගෙන තමයි කළේ. අද වනතෙක් තෝරා බේරාගෙන නැතුව වැඩක් කරලා නැහැ. මට කැමැති, මගේ බජට් එකට කැමැති, එකේ දායක වෙන කණ්ඩායම කවුද මේ කියන කාරණා මම අනිවාර්යයෙන්ම බලනවා. ඒ නිසා තමයි මාව ගොඩක් රසිකයන් අතරට යන්නේ. මම ආවාට ගියාට වැඩ කරන කෙනෙක් නෙමෙයි. නිරූපණ ක්ෂේත්රය මම කොහොමත් නතර කරන්නේ නැහැ. හැබැයි යම්තාක් දුරට ෂූටින්වලට යන්න වුණොත් ඒවා මග හැරෙන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට නිරූපණ ක්ෂේත්රයට වඩා චිත්‍රපට ක්ෂේත්රයට මම කැපවෙනවා.
වර්තමානයේ ඔබ සැබෑ ජීවිතයේ පෙම්වතියක් කියලා සමාජ වෙබ් අඩවි ඔබ ගැන කතා කරනවා?
මම කොහොමත් පෙම්වතියක් තමයි. කොයි කාලේ හිටියත් පෙම්වතියක්. පෙම්වතියක් නැතුව නැහැ. මම කොයි මොහොතකවත් කියන්නේ නැහැ මට පෙම්වතෙක් නැහැ කියලා. ඉතිං එතැනින් එහා කතා කරන්නේ නැහැ. එයා මට කැමැති නම්, මම එයාට කැමැති නම්, අපි දෙන්නාගේ පෞද්ගලික ජීවිතය ගැන මට අවශ්‍ය කාලයේදී කියනවා එයා කවුද කියලා.
ඉදිරි බලාපොරොත්තු?
ඉදිරියේ ලොකු බලාපොරොත්තු හිතේ තියාගෙන නැහැ. ෆිල්ම් පැත්තෙන් ඉස්සරහට යන්න තමයි ගොඩක් ආසාව තියෙන්නේ. ආසයි මට විවිධ වර්ගයේ චරිත ලැබෙනවා නම්. කවුරු හරි අධ්යක්ෂවරයෙක් මට හාත්පසින්ම වෙනස් චරිතයක් කරන්න ආරාධනා කරනවා නම්, මම ඉතාමත් ආදරෙන් බාර ගන්නවා. මම ගොඩක් ආසයි රජ කාලේ, 'ජෝදා අක්බර්' වැනි කාතාමාලාවක් වගේ චිත්‍රපටයක් කරන්න. ඉතිං මම කොහොමත් තෝරා බේරාගෙන වැඩ කරන නිසා එවැනි දෙයක් ලැබුනොත් ආසාවෙන් බාර ගන්නවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද