මම කොටට අඳින්න කැමති නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-25-ent-188

නිරූපණ ක්ෂේත‍්‍රයෙන් රංගනයට පිවිසි කාවින්ද්‍යා තවමත් ළාබාල වියේ පසුවන රුවැත්තියක්. රූපවාහිනී දැන්වීම් කලාව සහ නිරූපණ ක්ෂේත‍්‍රයේ මනාලියක් ලෙස නිරතුරුවම රැඳී සිටින ඇය පසුකාලීනව රංගන ශිල්පිනියක් ලෙස නිර්මාණ ගණනාවකින්ම පේ‍්‍රක්ෂක ඔබ හමුවට පැමිණියා.

මේ දිනවල සිරස ඔඪ ඔස්සේ විකාශනය වන පැහැසරා ටෙලි සිත්තමෙහි ද රංගනයෙන් දායක වන ඇය කාවින්ද්‍යා දුල්ෂාණි.

 

කාවින්ද්‍යා කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

2017-08-25-ent-191මේ දවස්වල නම් පැහැසරා ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගී වෙනවා. ඊට අමතරව තව සති කිහිපයකින් වගේ මම දායක වුණු ‘‘කොන්කළ දෝණි’’ ටෙලි නාට්‍යයත් විකාශනය වෙනවා.

 

එතකොට නිරූපණ ක්ෂේත‍්‍රයේ වැඩ?

රූගත කිරීම් නිසා පසුගිය දවස්වල නම් වැඩි කාලයක් කැප කළේ ටෙලි නාට්‍යයට. ඒත් ලැබෙන කාල වේලාව අනුව නිරූපණ ක්ෂේත‍්‍රයෙත් වැඩකටයුතුත් කරගෙන, සාමාන්‍ය විදිහට ජීවිතේ ගෙවීගෙන යනවා.

 

කාවින්ද්‍යා රංගන ශිල්පිනියක් වීමට ප‍්‍රථම නිරූපණ ශිල්පිනියක්. ඔබත් අවුරුදු කුමාරි තරගයකින් ක්ෂේත‍්‍රයට ආපු කෙනෙක් නේද?

ඔව්. 2015 ෂඔභ අවුරුදු කුමාරි තරගයේ අවසන් දොළොස් දෙනාගේ වටයට වෙනකම් එන්න මට අවස්ථාව ලැබුණා. ඊට පස්සේ නිරූපණ ක්ෂේත‍්‍රයේ වැඩ කරන්න සම්බන්ධ වුණා. නිරූපණ වැඩ කරගෙන ඉන්නකොට ෂඔභ නාලිකාවෙම ශාන්ත සොයිසා මහතා අධ්‍යක්ෂණය කළ මේඝා ටෙලිනාට්‍යයේ මට රඟපාන්න අවස්ථාව ලැබුණා. මේඝා ටෙලිනාට්‍යයට පස්සේ මට නාට්‍ය කිහිපයකම රඟපාන්න අවස්ථාව උදාවුණා. මට මේ හැමදේම ලැබුණේ අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වුණ නිසා.

 

අවුරුදු කුමාරි තරගයෙන් අතරමැදදි ඉවත් වෙන්න වුණාට එදා දුල්ෂාණිට මොකද හිතුණේ?

මට එදා අවුරුදු කුමාරි වෙන්න බැරි වුණත් අවසාන දොළොස් දෙනා අතරට එන්න ලැබුණ එක ගැන ලොකු සතුටක් දැනුණා. අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වෙන්න ඉස්සර ඉඳලම මට ලොකු ආසාවක් තිබුණා. ඒත් ගෙදරින් අකමැති වේවි කියලා ආසාව හිතේ තියාගෙන හිටියා. 2014 ෂඔභ අවුරුදු කුමාරි වුණේ අපේ ගෙදර කිට්ටුව අක්කා කෙනෙක්. එයා දැක්කම හිතේ තිබුණ ආසාව තවත් වැඩි වුණා. බැණුම් අහන්න කියලා හරි හිත හදාගෙන මම ගෙදරින් ඇහුවා. හිතුවෙවත් නැති විදිහට මට ගෙදරින් අවසර ලැබුණා. ඒ අවසරයත් එක්ක මම තරගයට ඉදිරිපත් වුණා. මගේ ජීවිතේට වාසනාව ගෙනාවේ අවුරුදු කුමාරි තරගය.

 

එතකොට ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ?

අවුරුදු කුමාරි තරගයේ අවසන් දොළොස්දෙනාම මේඝා ටෙලි නාට්‍යයට චරිත තෝරගනිද්දී තිර පරීක්ෂණයකට මුහුණ දුන්නා. ඒ දොළොස් දෙනා අතුරින් මේඝා ටෙලි නාට්‍යයට තෝරා ගත්තේ මාව. මගේ රංගන ජීවිතය ආරම්භ වෙන්නේ මේඝා ටෙලි නාට්‍යයෙන්. මේඝා නාට්‍යයෙන් පස්සේ හිරු නාලිකාවේ නිසල සඳ ඔබ ටෙලි නාට්‍යයට දායක වුණා. එතැනින් පස්සේ ටෙලි නාට්‍ය කිහිපයකට සහ චිත‍්‍රපටයකටත් දායක වුණා. මේ දවස්වල පැහැසරා ටෙලි නාට්‍ය එක්ක වැඩ කරගෙන යනවා.

 

පැහැසරා ටෙලි නාට්‍යයේ තේජා කියන චරිතයට කාවින්ද්‍යාට විවිධ ප‍්‍රතිචාර ලැබෙනවා කියන්නේ ඇත්තද?

අපෝ ඔව්. හොඳ වුණත් නරක වුණත් චරිතයට සාධාරණයක් කරන්න මම උත්සාහ ගන්නවා. තේජා කියන්නේ නපුරු චරිතයක්. තේජා තමන්ගේ හොඳම යෙහෙළියගේ පේ‍්‍රමවන්තයව අල්ල ගන්න මායම් දාන, දඟලන, සෙල්ලක්කාර විදිහට ජීවත් වෙන චරිතයක්. ඒ නිසා පේ‍්‍රක්ෂකයාගෙන් පේ‍්‍රක්ෂකයාට විවිධ වූ අදහස්, ප‍්‍රතිචාර චරිතයට ලැබෙනවා. මුලදී නම් චරිතය මටත් තේරුම් ගන්න අමාරු වුණා. ඒත් චරිතයට කිඳාබැස්සට පස්සේ තමයි මට දැනුණේ මේ වගේ චරිතත් මේ සමාජයේ ඉන්නවා නේද කියලා.

 

පෞද්ගලික ජීවිතේ කාවින්ද්‍යා කියන්නේ කොයි වගේ චරිතයක් ද?

කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම මගේ චරිතේ වගේම මගේ නංගිලා තුන්දෙනාටම ආදර්ශයක් වෙන විදිහට ජීවත් වෙන අක්කා කෙනෙක්. මොකද අම්මයි තාත්තයි මගේ මේ ගමනට ආශිර්වාද කළේ කවදාවත් මම වැරදි දෙයක් නොකරාවි කියන විශ්වාසයට. ඒ විශ්වාසය හැමදාම මම රකිනවා.

 

මුලින්ම කැමරාවක් ඉදිරියේ රඟපාද්දි කාවින්ද්‍යාට මොකද හිතුණේ?

දෙබස් වැරදේවි කියලා ගොඩක් බය හිතුණා. බය වැඩිකමටද මන්දා මට මුල් දවසේ දෙබස් මතක හිටියෙම නැහැ. ඒත් ටෙලිනාට්‍ය කණ්ඩායමේ කට්ටියයි, අනෙක් නළු නිළි පිරිසයි උදව් කරපු නිසා ටිකෙන් ටික බය නැතිවෙලා ගියා. සමහර ප‍්‍රවීණ නළු නිළියෝ හරිම නිහතමානීව මට කියලා දුන්නා. ඒත් සමහර අය අපි අලූත් අය කියලා අපේ වැරදිම දැක්කා. මේක හරිම අමුතු තැනක්. මුලදී නම් සමහර දේවල් දරාගන්න අමාරු වුණා. ඒත් මම හිතලම මිනිස්සුන්ව ගොඩක් තේරුම් ගත්තා.

 

කාවින්ද්‍යා නිරූපිකාවක් විදිහට නිරූපණයේ යෙදෙන්නේ මනාලියන් විදිහට පමණයි කියන්නේ ඇත්තද?

ඔව්. මම ඇඳුම් නිරූපණයේ නියැලෙන්නේ නැහැ. මනාලියක් විදිහට නිරූපණය කරන්න ආරාධනා ලැබුණොත් විතරක් මම කැපවීමෙන් කරනවා.

 

ඒත් ඇඳුම් නිරූපණය නොකිරීම නිරූපණ තරගවලට ඉදිරිපත් වෙද්දී කාවින්ද්‍යාට අසාධාරණයක් කියලා හිතෙන්නේ නැද්ද?

ඇඳුම් නිරූපණය කරන්නේ නැත්නම් කොහොමත් නිරූපණ තරගවලට දායක වෙන්න බැහැ. ඒක අසාධාරණයක් වුණත් මම කවදාවත් ඇඳුම් නිරූපණය කරන්නේ නැහැ.

 

හේතුව?

මම කොටට අඳින්න කැමති නැහැ. ඇඳුම් නිරූපණයේදී කියන හැම ඇඳුමක්ම අපිට අඳින්න වෙනවා. ඒ නිසා මම ඇඳුම් නිරූපණයට යොමු වුණේ නැහැ. නිරූපිකාවක් වෙන්න කොටට අඳින්න ඕනෙම නැහැ.

 

කාවින්ද්‍යාට රංගනය, නිරූපණය ගැන හොඳ දැනුමක් තියෙනවද?

ලොකු දැනුමක් නැහැ. රංගනය ගැන නම් මම දැනට මහේන්ද්‍ර පෙරේරා සර් යටතේ ඉගෙන ගන්නවා. නිරූපණයත් මම සාමාන්‍ය දුරකට හදාරලා තියෙනවා.

 

ඉදිරියට මොනවද අලූත් වැඩ?

මම ලොකු ආසාවකින් හිටියා ආබාධිත චරිතයක් රඟපාන්න. ඉදිරියේදී විකාශය වෙන ‘‘කොන්කළ දෝණි’’ ටෙලි නාට්‍යයේ මම කරන්නේ ආබාධිත චරිතයක්. මම ඒක කරන්නේ ගොඩක්් සතුටින්. මම හැමදාම සීනිබෝල කෙල්ලන්ගේ චරිත කරන්න කැමති නැහැ. ඇඟට දැනෙන මහන්සි වෙලා කරන්න පුළුවන් චරිතයක් කරන්න කැමතියි. මට ඒ අවස්ථාව ලබා දුන්නට චන්දික වීරසිංහ ඇතුළු පිරිසට ස්තූති කරනවා.

 

හැමදාම මනාලියන් විදිහට නිරූපණය කරන කාවින්්ද්‍යා ඇත්තට මනාලියක් වෙන්නේ කවදාද?

ඒක දැන්ම කියන්න අමාරුයි. මම පේ‍්‍රමවන්තියක්. එයා මේ ක්ෂේත‍්‍රයේ කෙනෙක් නෙමෙයි. මගේ කලා කටයුතුවලට ඔහුත් ගොඩක් උදව් කරනවා.

 

නදීශා අතුකෝරළ / ඡායාරූප: චමත් වින්දුල

 

  2017-08-25-ent-190 2017-08-25-ent-189