මම උපාධියක් හදාරනවා
පළමු ‘සිරස කුමරිය‘ තරගය හරහා කලා ක්ෂේත්රයට පිවිසි තුෂි ලක්මාලි සමගින් මෙවර ‘සාරවිට‘ තරු කතා බහ අරඹන්නට අපි සූදානම් වුණේමු. නිරූපිකාවකට අමතරව වර්තමානයේ රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කරන තුෂි ඉදිරියේදී වැඩි දායකත්වයක් රංගනයට ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටියි. මේ ඒ පිළිබඳව ඇය අපිට දැක්වූ අදහස්.
2007 අවුරුද්දේ තිබුණ ‘සිරස කුමරිය‘ තරගය හරහා තමයි මම නිරූපණ ක්ෂේත්රයට පිවිසියේ. එම තරගයේ අවසන් වටයට මට එන්න ලැබුණා. එහිදි ක්ෂේත්රයේ බොහෝ පිරිසක් අඳුනගන්න ලැබුණා. ඔවුන්ගේ අතදිම මත තමයි නිරූපිකාවක් විදිහට ක්ෂේත්රයට යොමු වුණේ.
දැනට තුෂිව අපිට දකින්න ලැබෙන්නේ?
ගීත රූප රචනා, වෙළෙඳ දැන්විම් හරහා මාව දකින්න පුළුවන්. ඊට අමතරව මම දැන් ටෙලි නාට්‍යය නිළියක් විදිහටත් සම්බන්ධ වෙලා වැඩ කරනවා.
කරපු නිර්මාණ ගැන මතක් කළොත්?
දැනට මම ගීත රූප රචනා 15කට විතර දායක වෙලා තියෙනවා. අන්තිමට කළේ දමිත් අසංකගේ ‘සිතින් ආදරේ කරන්න‘ ගීතයේ රූප රචනාවට දායක වුණා. ඊට අමතරව බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණ ඉඳුනිල් අන්ද්‍රමාන්න ගායනා කළ ‘තරහා වුණත්‘ ගීතයේ රූප රචනාවටත් මම පෙනී හිටියා. ගීත රූප රචනා වලට අමතරව, MRF ටයර්, ලොටෝ, සිංගර්, LOLC, මොබිටෙල් ඇතුළු වෙළෙඳ දැන්වීම් බොහෝ ප්‍රමාණයක මම පෙනී ඉඳලා තියෙනවා.
අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාවකුත් ඔබට ලැබිලා තියෙනවා?
ඔව්. එහි වැඩ කටයුතු අගෝස්තු මාසයේදී ආරම්භ වෙන්න නියමිත වෙලා තියෙනවා. මීට කළින් මම දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වුණ ‘අංකල් සෑම්‘ ටෙලි නාට්‍යයෙත් රංගනයෙන් දායක වෙලා තියෙනවා. එහි මා රඟපෑවේ ‘සජානි‘ කියන චරිතය.
නිරූපිකාවක් වෙන්න හීනයක් තිබුණද?
එහෙම නැහැ. නමුත්, ‘සිරස කුමරිය‘ තරගයට සම්බන්ධ වුණාත් එක්ක ඒ ක්ෂේත්රයට මට යොමු වෙන්න ආසාවක් ආවා. දැන් නම් මේ ක්ෂේත්රයට සම්බන්ධ වීම ගැන සතුටක් තියෙනවා.
නිරූපිකාවක් වුණ එක ගැන ඒ කියන්නේ ඔබට තියෙන්නේ සතුටක්?
නිරූපිකාවක් වුණ එක ගැන සතුටක් තියෙනවා. ඒ වගේම පුංචි දුකකුත් තියෙනවා. මොකද, සමහර මිනිස්සු නිරූපිකාවක් කිව්වාහම එක එක කෝණයෙන් බලනවා. මේ ක්ෂේත්රය තුළ විවිධ මානසික මට්ටම් වල අයත් එක්ක වැඩ කරන්න වෙනවා. ඒ නිසා නිරූපිකාවක් විදිහට වැඩ කරද්දි සිත් රිදීම් නම් බොහොමයක් ඇති වෙලා තියෙනවා මට.
ඉලක්ක මොනවද?
නිරූපිකාවක් විදිහට වැඩ කරන අතරේ ‘සොෆ්ට්වෙයාර්‘ ඉංජිනේරුවරියක් වෙන එක. ඒ සඳහා දැන් මම උපාධියක් හදාරනවා. ඊට අමතරව රංගන ශිල්පිනියක් විදිහටත් කටයුතු කරන්න ලොකු ආසාවක් මට තියෙනවා.
උදව් කළ අයත් ඉන්නවාද?
තාත්තා, අම්මා දෙන්නා තමයි මට ගොඩක් උදව් කරන්නේ. ඔවුන් දෙදෙනා මගේ නිරූපණ වැඩ වලට වගේම මගේ අධ්‍යාපනය කටයුතු වලටත් නිතරම උදව් කරනවා. ඊට අමතරන ඡායාරූප ශිල්පි හෂාන් පන්නිලගේ අයියාවත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරනවා. ගොඩක් පිරිස ඉන්නවා මට උදව් කළ. නම් නොකීවත් ඔවුන්වත් ආදරයෙන් මේ වෙලාවේදී මතක් කරනවා කියලා සඳහන් කරන්න.
බුද්ධික සේනාධීර
ඡායාරූප - හෂාන් පන්නිලගේ