මම උත්සාහ කරන්නේ ළමයින්ව හොඳ තැනකට ගේන්නයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-02-ent-52

රයිගම් ටෙලීස් සම්මාන උලෙළේදී හොඳම ළමා වැඩසටහන් අධ්‍යෂිකාව වූ ඉමාලි ආරියවංශ

2017 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී මෙවර විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන ලෙස ‘සියත’ රූපවාහිනී නාළිකාවේ විකාශය වූ ‘චිත්‍ර කාමරය’ වැඩසටහන සම්මානයට පාත්‍ර විය. ‘චිත්‍ර කාමරය’ ළමා වැඩසටහනේ අධ්‍යක්ෂිකාව වන්නේ ඉමාලි ආරියවංශයි ඉමාලි මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ දෙරණ නාළිකාවේ ඔස්සේය. මේ වන විට ඉමාලි මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර දහයකට අධික කාලයක් නිරත වී සිටින අතර, කුඩා දරුවන් උදෙසා නිර්මාණශීලී වැඩසටහන් ගෙන ඒම ඔස්සේ තම වෘත්තිය සිදුකරනු ලබයි. මෙවර කතාබහට ඇයව එකතු කර ගනු ලැබුවේ එම සම්මානය පිළිබඳව සහ ඇයගේ වෘත්තීය කටයුතු පිළිබඳව කතාබහ කිරීමටයි.

 

මුලින්ම ඔබ ගැන හඳුන්වලා දුන්නොත්?2018-04-02-ent-53

මම ඉමාලි ආරියවංශ. මම වැඩසටහන් අධ්‍යක්ෂකවරියක් වශයෙන් කටයුතු කරනවා. මම ක්ෂේත්‍රයට‍‍ ඇවිත් දැන් අවුරුදු 11ක් විතර වෙනවා.

 

මේ ක්ෂේත්‍රයට පැමිණෙන්නේ කොහොමද?

මම උසස් පෙළින් පස්සේ උපාධිය කළා. ඕ සී අයි සී කැම්පස් එකේ බැච් ටොප් වුණා. ඊට සතියකට විතර පස්සෙ තමයි මම දෙරණට එකතු වුණේ. අවුරුදු 10ක් විතර දෙරණ නාළිකාවේ වැඩ කළා. ඊට පස්සේ තමයි මම සියත නාළිකාවට ආවේ. ඒකෙන් තමයි මේ සම්මානය‍‍‍ හිමි වුණේ. මම කළේ පොඩි ළමයින්ගේ වැඩසටහන්.

 

රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී හිමි වුණු සම්මානය ගැන කිව්වොත්?

මේ සම්මානය හිමි වුණේ විශිෂ්ටතම ළමා වැඩසටහන වෙනුවෙන්. ‘චිත්‍ර කාමරය’ කියන වැඩසටහන වෙනුවෙන් තමයි එය හිමිවුණේ. සියත නාළිකාවේ මම සතියේ දවස් පහට වැඩසටහන් පහක් කරනවා. එයින් බ්‍රහස්පතින්දාට යන වැඩසටහන තමයි ‘චිත්‍ර කාමරය’ කියන්නේ. මගේ මේ වැඩසටහනේදී වෙන්නේ සාමාන්‍ය ආකාරයේ චිත්‍රයක් අඳිනවාට වඩා යම්කිසි නිර්මාණශීලීත්වයක් එකතු කරලා චිත්‍රයක් අඳින්නේ කොහොමද කියලා පෙන්නලා දෙන එක. නිර්මාණශීලී චිත්‍ර ශිල්පියෙක් බිහිකරන එක තමයි අපේ වැඩසටහනේ අරමුණ වෙන්නේ.

 

මෙවර ලැබුණු සම්මානය ගැන තෘප්තිමත් වෙනවාද?

අනිවාර්යෙන්. මොකද ලංකාවේ තියෙන ලොකුම නාළිකා දෙකක වැඩසටහන් එක්ක තමයි මගේ වැඩසටහන නිර්දේශ වෙලා තිබුණේ. ඒ අධ්‍යක්ෂකවරුත් ගොඩක් පළපුරුදු අය. ඇත්තටම මම කරපු වැඩෙන් ලොකු ප්‍රයෝජනයක් වෙලා තියෙනවා කියල කියන්න පුළුවන් මේ ලැබුණු සම්මානය නිසා.

 

ඔබ මීට කලින් කරපු වැඩසටහන් ගැන කතා කළොත්?

මම මුලින්ම කළේ රියලිටි වැඩසටහන් එකක්. දෙරණ ලිට්ල් ස්ටාර් එකේ සීසන් 02 තමයි මගේ පළවෙනි වැඩසටහන. එතකොට ඒකෙ නිෂ්පාදකවරු හතර දෙනෙක් හිටියා. ඒ හතරදෙනා එක්ක තමයි ඒ වැඩේ කළේ. ඒකෙ සීසන් විශාල ප්‍රමාණයක් කළා. ඊට පස්සේ මෙහෙට ඇවිත් හැමදේම වගේ කළා. මියුසික් වැඩසටහනක් කරනවා, චිත්‍ර කාමරය, එතකොට ‘කතන්දර ගෙදර’ කියලා නාට්‍යමය වැඩසටහනක් කරනවා, තව ‘එඩියුකේෂන්’ වැඩසටහනක් කරනවා, එන්ටර්ටේට්මන්ට් එකකුත් කරනවා.

 

ඇයි දැන් වර්තමාන රූපවාහිනී මාධ්‍ය විසින් ළමයින්ව මාර්කට් කරන්නේ?

දැන් ලංකාවේ දක්ෂ ළමයි ගොඩක් ඉන්නවා. අපේ කාලේ අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. අපිට ටැලන්ට් එක තිබුණට ඒ ටැලන්ට් එක පෙන්නන්න අවස්ථාව ලැබුණේ නැහැ. දැන් ඉන්නවා අපිට වඩා දක්ෂතාවය‍‍ තියෙන ළමයි. ඉතින් එයාලගේ දක්ෂතා පෙන්නන එක මම හිතනවා හොඳ දෙයක් කියලා. සමහර ළමයි මේ වැඩසටහන් නිසා හැදිලා තියෙනවා. ඒ කියන්නේ ඉගෙන ගන්න බැරිව හිටපු ළමයි ළමා වැඩසටහන් නිසා ඉගෙන ගන්න උත්සාහ කරපු අවස්ථා තියෙනවා. මගේ පැත්තෙන් මම කරන්නේ ළමයාට හොඳ දෙයක්. හැබැයි සමහර වැඩසටහන් තියෙනවා ළමයව සෘජුවම මාකට් කරන. ඒවට මම විරුද්ධයි.

 

මේ වගේ වැඩසටහන්වලට ළමයි යොමුකර ගැනීම නිසා පාසල් වලින් චෝදනා කරන්නේ නැද්ද?

මගේ වැඩසටහන්වලට ළමයි ගන්න කලින් මගේ පළවෙනි නීතිය තමයි ඒ ළමයා පන්තියේ එක,දෙක, තුන අතර ඉන්න ඕනේ කියන එක. ඒ කියන්නේ මගේ වැඩසටහන් එකක ප්‍රසන්ට් කරන්න පුළුවන් වෙන්නේ විභාගයේදී ලකුණු 80ට වඩා ගත්තොත් විතරයි. හැබැයි එහෙම බැරි වුණොත් මම එයාලව වැඩසටහනෙන් අයින් කරනවා. ඒකට ළමයි බයයි. ඒක නිසා එයාලා හැම වාරෙකම මට ප්‍රගති වාර්තා පොත ගෙනත් දෙනවා. ඒ විදිහට තමයි මම ළමයින්ව පාලනය‍ කරන්නේ. සමහර වෙලාවට මම සති අන්තයේදී ළමයින්ව ගෙන්නලා එයාලව වැඩසටහන් වලට‍‍ සම්බන්ධ කර ගන්නවා. එතකොට සමහර වෙලාවට පාසලෙන් අවසරය අරගන්නවා. මගේ වැඩසටහන් වලට නම් පාසල්වලින් චෝදනා කරලා නැහැ. ඒ අය කැමතියි දක්ෂ ළමයි ඉස්සරහට එනවට.

 

මේ දේවල්වලින් ළමයින්ට ලැබෙන දේ මොකක්ද?

මගේ වැඩසටහනකින් නම් ළමයෙක්ට ආදර්ශයට ගන්න දේවල් හුඟක් තියෙනවා. හැබැයි රියලිටි වැඩසටහනකින් නම් ඇත්තටම ළමයෙක්ට ආදර්ශයට ගන්න කියලා දෙයක් නැහැ. මම දැන් කරන හැම ළමා වැඩසටහනකින්ම ළමයාට හොඳ දෙයක් ලබා දෙනවා. සමහර අවස්ථාවලදී මම රියලිටි වැඩසටහන් කරන්න අකමැතියි. ඒ වුණත් මගේ රැකියාව ඒක නිසා කරන්න වුණා. රියලිටි එකකදි අපි ළමයාගේ දක්ෂතාවය මතු කරලා පෙන්නුවාට දෙමව්පියන් ළමයාව ඊට පස්සේ පාවිච්චි කරන විදිහ වැරදියි. දැන් අපි රියලිටි තරගයකින් ළමයෙක්ව ලංකාවට හඳුන්වලා දුන්නට පස්සේ ඒ ළමයාව නිවැරදි පාරක ගෙනියන්න දෙමව්පියෝ දැනගන්න ඕනේ. මොළය තියෙන දෙමව්පියන් නම් ළමයාව හරි තැනට එක්කන් එනවා. ඒත් මොළයක් නැති අය කරන්නේ ළමයව විකුණන එක. ප්‍රසංග වලට එක්කන් යනවා. අපි ළමයෙක්ව ගේන්නේ ප්‍රසංග වලට ඉදිරිපත් කරන්න නෙවෙයි. එයාගේ දක්ෂතාවයට තැනක් හදන්න. ඒක දෙමව්පියන් දැනගන්න ඕනෙ. මම දැන් කරන වැඩසටහන්වල නම් එහෙම දේවල් නැහැ. බලන ළමයින්ට හොඳ දෙයක් ලබාදෙනවා.

 

මේ වැඩසටහන් තුළ ප්‍රමිතියක් කියන දේ නඩත්තු කරන්නේ කොහොමද?

ප්‍රමිතියක් කියන්නේ අපිට දෙයක් ගන්න පුළුවන් එකකට. දැන් ළමයි තාක්ෂණයට නැඹුරු වෙලා තියෙනවා වැඩියි. වැදගත් දේවල් දැන් ළමයි බලන්නේ නැහැ. ඩිරෙක්ටර් කෙනෙක් විදිහට අපි දැනගන්න ඕන ළමයින්ට වැදගත් දෙයක් මොළයට යන විදිහේ වැඩසටහන් නිර්මාණය කරන්න. අපි එඩියුකේෂන් වැඩසටහනක් කළත් ඒක කරන විදිහක් තියෙනවා. ළමයෙක්ට කම්මැලි නැතුව වැඩසටහන බලන්න පුළුවන් ආකාරයෙන් දෙයක් කරන්න ඕනේ. මොකද දැන් සමාජයේ ළමයි සාම්ප්‍රදායික වැඩසටහන් බලන්න කැමති නැහැ. එයාලා පුරුදු වෙලා තියෙන්නේ කාටුන්, ගේම්, විෂුවල්ස් වගේ දේවල් බලන්න. එතකොට එයාලාව වෙනස් කරන්න ටිකක් අමාරුයි. දැන් මගේ ‘කතන්දර ගෙදර’ වැඩසටහනේ තියෙන්නේ ගැමි කතා. ඒවායෙන් ළමයින්ට දෙන්නෙත් ආදර්ශයක්. මම උත්සාහ කරන්නේ ළමයින්ව හොඳ තැනකට ගේන්න. දෙමව්පියොත් දැනගන්න ඕනේ හොඳ වැඩසටහන් පෙන්නන්න. අපේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දේ අපි කරනවා.

 

අවසාන වශයෙන් කියමු ඔබේ ඉදිරි වැඩකටයුතු සහ ඉදිරි බලාපොරොත්තු ගැන?

මම පශ්චාත් උපාධිය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ ඉගෙනීම් කටයුතු තියෙනවා තව ඉවර කරගන්න. එතකොට මගේ ඩ්‍රාමා වැඩසටහනෙන් තව ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. සමාජයට වැඩක් වෙන විදිහේ දෙයක් කරන එක තමයි මගේ බලාපොරොත්තුව. සම්මාන ගන්න වැඩක් කරන එක නෙවෙයි කළ යුත්තේ. කරන දේ හරියට කරන එක තමයි මගේ තියරිය.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

 2018-04-02-ent-54