මම ඉස්සර හරියට පිරිමි ළමයෙක් වගෙයි, හරිම සැහැල්ලුවෙන් හිටියෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190717Chulakshi-2චුලක්ෂි.. මේ දවස්වල මොනවද කරන්නෙ...?

මේ දවස්වල මම නිරූපිකාවක් වශයෙන් කටයුතු කරනවා. ඊට අමතරව සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරන හරේන් නාගොඩවිතාන නිෂ්පාදනය කරන ගුත්තිල චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

චුලක්ෂි නිර්මාණ බාරගන්නෙ තෝරාගැනීමක් ඇතිවයි..?

ඔව්... ලැබෙන හැම නිර්මාණයක්ම මම බාරගන්නෙ නැහැ. බොහෝ නිර්මාණවලට මට ආරාධනානම් ලැබුණා. තෝරා බේරාගැනීමේදී චරිතය ලොකුද පොඩිද කියන දේ මට වැදගත් වෙන්නෙ නැහැ. ඒකෙන් මට දෙයක් නිරූපණය කරන්න පුළුවන්නම් ඒක තමයි මගේ කැමැත්ත වෙන්නෙ. ඒකාකාර චරිතවලට මම එච්චර කැමති නැහැ. මගේ තියෙන රංගන හැකියාව පෙන්නන්න පුළුවන් කියලා හිතෙන චරිත තමයි මම බාරගන්නෙ. මුල්ම රංගනයට වඩා වැඩි දියුණුවක් ඇතිව රංගනයේ යෙදෙන්න පුළුවන්නම් ඉතා පොඩි චරිතයක් වුණත් මම බාරගන්න කැමතියි.

ඔබ වැඩිපුරම චිත්‍රපට සඳහා දායක වෙන්නෙ ඇයි..?

ඔව්.. ඇත්තටම මම කැමති සිනමාවට. ඒකට හේතුව මොකක්ද කියලා මම දන්නෙ නැහැ. හැබැයි චිත්‍රපට ක්ෂේත්‍රයට මම වැඩිපුර කැමැත්තක් දක්වනවා.

චුලක්ෂි කලාවට යොමු වුණේ කොහොමද..?

ප්‍රියන්ත කොළඹගේ මහතා අධ්‍යක්ෂණය කළ දේදුනු ආකාසේ චිත්‍රපටයෙන් තමයි මම කලාවට යොමු වු‍ණේ. ඔහුගේ අලුත් චිත්‍රපටයේ රංගනයට තෝරාගැනීමේ පරීක්ෂණයට සහභාගි වීමට Miss Sri Lanka ජයග්‍රහණය කළ සියලුම ජයග්‍රාහිකාවන්ට විවෘත ආරාධනාවක් කරලා තිබුණා. හේමාල් රණසිංහ කියන්නෙත් නිරූපණ ක්ෂේත්‍රයෙන් සිනමාවට සම්බන්ධ වුණු කෙනෙක්. ඔහු මට මේ ගැන කිව්වා. මමත් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේ මටත් දේදුනු ආකාසේ චිත්‍රපටයට ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අනුව තමයි මම කලාවට පිවිසෙන්නෙ.

ඔබ 2014 වසරේ Miss Sri Lanka ජයග්‍රාහිකාව. එහෙම නේද..?

ඔව්.. 2013 වසරේදී තමයි මම මුලින්ම Miss Sri Lanka තරගයට අයදුම්පතක් ඉදිරිපත් කළේ. නමුත් ඒ තරගයෙන් මට ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඊට පස්සෙ ආයෙත් මම 2014 වසරේදී Miss Sri Lanka තරගයට ඉදිරිපත් වුණා. ඒ තරගයෙන් මම ජයග්‍රහණය ලැබුවා. 2016 වසරේදී තමයි මම දේදුනු ආකාසේ චිත්‍රපටයට සම්බන්ධ වුණේ.

පුංචි කාලේ හීන දැක්කෙ කවුරු වෙන්නද..?

මම කලාවට පුංචි කාලේ ඉඳන්ම ආසයි. හැබැයි ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නනම් කොහෙත්ම මගේ හිතේ ආසාවක්වත් හීනයක්වත් තිබුණේ නැහැ. මගේ අයියා පැසිපන්දු ක්‍රීඩකයෙක්. ඒ නිසා මමත් පුංචි කාලේ ඉඳන්ම පැසිපන්දු ක්‍රීඩාවටයි වැඩිපුරම නැඹුරුවෙලා හිටියෙ. විෂයන් තෝරාගනිද්දී මම මුලින්ම හිතුවේ බාස්කට්බෝල් සෙල්ලම් කරන්න පුළුවන්, කණ්ඩායම් තරගවලට ඉදිරිපත් වෙන්න පුළුවන් විෂයක් තෝරාගන්නයි. ඒ නිසා මම විෂයක් විදිහට වාණිජ අංශයයි උසස් පෙළ කරන්න තෝරාගත්තෙ. එහෙම කරලා බැංකු ක්ෂේත්‍රය තුළින් බාස්කට්බෝල් කණ්ඩායමට සම්බන්ධ වෙන්න මගේ ආසාවක් තිබුණා. අවසානයෙදී හීනෙන්වත් බලාපොරොත්තු නොවුණු ක්ෂේත්‍රයකට මාව යොමු වුණා.

20190717Chulakshi-4පුංචි කාලෙදී ලස්සනට අඳින්න, නිරූපිකාවක් වගේ ඇවිදින්න එහෙම ආසාවක් තිබුණෙ නැද්ද..?

මම හැදුණෙ පහසුකම් බොහොමයක් තියෙන පරිසරයක නෙමේ. මම ඉගෙන ගත්තෙ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයෙන්. මුලින්ම ප්‍රින්සිපල් මැඩම්ගෙ ගෙදර නතරවෙලයි මම පාසල් ගියේ. හය වසරේ ඉඳන් හොස්ටල් එකේ නතරවෙලයි ඉගෙන ගත්තෙ. මම කුඩා කාලෙදීම ගෙවල්වලින් ඈත්වුණු වේදනාවත් එක්ක හැදුණු කෙනෙක්. ඒ නිසාමයි මම ක්‍රීඩාවටත් වැඩිපුර නැඹුරු වුණේ. ඉස්කෝලෙ පන්ති කාමරේ වැඩ කරන කාලයට අමතරව බොහෝ වෙලාවක් මම වැඩිපුරම කාලය ගත කළේ පාසල් පිට්ටනියේ. හොස්ටල් එකේදී හැමදේකටම සීමාවක් තිබුණා. රූපවාහිනිය නැරඹීමට පවා පැයක වෙලාවක් පමණයි වෙන්වෙලා තිබු‍‍ණේ. ඒ නිසා හැමවෙලේම කාලසටහනකට අනුව අපේ ජීවිත හැඩගැහිලා තිබුණා. දොළහ වසර වෙනතුරූ වෙන කෙනෙකුගේ කාලරාමුවකට කොටු වුණු ජීවිතයක් තමයි මට තිබුණේ. විය යුතුයි කියන රාමුව ඇතුළෙ තමයි මගේ ජීවිතේ වැඩිපුරම කාලය ගෙවුණේ.

ඔබ පාසල් යන කාලෙදී නිරූපණ ක්ෂේත්‍රයට කැමැත්තක් තිබුණේම නැද්ද..?

නැහැ. පොඩ්ඩක්වත් විශේෂ කැමැත්තක් තිබුණෙ නැහැ. අඩුම තරමේ මට මගේ මුහුණේ පැහැය ගැනවත් උනන්දුවක් තිබුණෙ නැහැ. මම ඉස්සර හරියට පිරිමි ළමයෙක් වගෙයි. හරිම සැහැල්ලුවෙන් හිටියෙ. මමයි අයියයි දෙන්නම එකම විදිහට තමයි කලිසම් පවා ගත්තේ. මට ගැහැනු ළමයෙක් වගේ සාය හැට්ට ඇඳලා ඉන්න ලොකු ආසාවක් තිබුණෙ නැහැ. මම හැමවෙලේම හිතුවෙ මම ක්‍රීඩිකාවක් කියලයි. සමහර වෙලාවට මට හිතෙන්නෙ මම කැතයි කියලයි. මට මම කියන කෙනාව නිරූපණය කරන්න ඕන වුණේ නැහැ. මම මාර කඩිසරයි. ඒ නිසා මට ක්‍රීඩිකාවක් කියන කෙනාව පෙන්නන්න විතරයි ඕනවෙලා තිබුණෙ. මට නිරූපිකාවක් විදිහට ලස්සනට අඳින්න ඕන කියන අදහස ආවේ උසස් පෙළ කළාට පස්සෙයි. මගේ ජීවිතේ මටම අභියෝගයක් තිබුණා. ඒ අභියෝගයත් එක්ක තරගයකට අයදුම්පත් දාලා සහභාගි වෙන්න ඕන කියලා හිතුණා. ඒ කාලේ මට නිරූපිකාවකට සුදුසු ශරීරයක් තිබුණෙ නැහැ. මම ඒ කාලේ මහතයි. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ දැන් ඔය බාස්කට්බෝල් ගැහුවා ඇති. ක්‍රීඩාව නවත්තන්න කියලා ක්‍රීඩා කරන එක මගේ ගෙදරින් නතර කළා. මම යන්න හිතාගෙන හිටපු පැත්ත සම්පූර්ණයෙන්ම වැහුණට පස්සෙ දැන් මම මොකද කරන්නෙ? කියන ප්‍රශ්නය මටත් ආවා. ඒ අතර ගෙවල්වල අකමැත්ත මතම මම නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුණා. මුලින්ම රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණ කලාව ඉගෙන ගත්තා. පැසිපන්දු ක්‍රීඩාවෙන් පස්සෙ මම මහත් වුණා. මගේ හොඳම යාළුවෙක් මට නිරූපණ ක්ෂේත්‍රයට එන්න බැහැ කියලා මතයක හිටියා. එයා කරපු අපහාසාත්මක අභියෝගය නිසාම තමයි මට නිරූපණ ක්ෂේත්‍රයට යොමුවෙන්න ඕන වුණේ. 

තමන්ගේ මහන්සියෙන් උපයපු මුල්ම මුදල මතකද..?

අම්මෝ ඔව්.. හොඳට මතකයි. මට රුපියල් පන්දාහක් ලැබුණා. ඒක මට ලොකු මුදලක්. මම මව්පියන්ගෙ දේවල්වලිනුයි ජීවත් වුණේ. මගේ අම්මා හරි සීරුවෙන් තමයි මුදල් පරිහරණය කළේ. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඒ නිසා තාත්තා මට නිතරම pocket money දුන්නා. අපි කැෂියර් එකෙන් ඕන තරම් සල්ලි ගත්තා. මට මුලින්ම මගේ මහන්සියෙන් ලැබුණු මුදලින් මොනවද කළේ කියලා මතක නැහැ.

චුලක්ෂිගේ ජීවිතේ සුන්දරම කාලය මොකක්ද..?

මගේ ජීවිතේ සුන්දර කාලවල් ගොඩක් තියෙනවා. මට වර්තමානය ටිකක් අමාරුයි කියලා හිතෙනවා. අද දවස ගෙවෙද්දී ගිය අවුරුද්ද ගැන හිතද්දී මේ කාලෙට වඩා ගිය අවුරුද්ද ගොඩක් හොඳයි කියලා හිතෙනවා. අද දවසේ සමහර ප්‍රශ්න එද්දී අපරාදේ මීට කලින් මම හොඳට හිටියනෙ කියලා හිතෙනවා. අතීතය අදට වඩා සුන්දරයි. 

ඔබේ ජීවිතයේ අතපසු වුණු, ඉටු නොවුණු බලාපොරොත්තු ඇති..?

ඔව්... පැසිපන්දු ක්‍රීඩිකාවක් නොවීම ගැන තවමත් ලොකු දුකක් තියෙනවා. දැන් වුණත් මම මගේ පැසිපන්දු ගුරුතුමා එක්ක කතා කරනවා. ඔහු වුණත් සුදුසු කාලෙදී සුදුසු දේ කරන්න කියලා තමයි කියන්නෙ. ක්‍රීඩා කරන කාලෙදී ඔහු අපි කිසිම කෙනෙකුට ආදර සම්බන්ධතා ඇතිකරගන්න ඉඩ දුන්නෙ නැහැ. සර් දීපු අවවාදත් එක්ක මගේ ජීවිතෙන් ක්‍රීඩාව මඟහැරුණා. ක්‍රීඩිකාවක් විදිහට මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්න, මැරිලා යන්න ආසයි. ක්‍රීඩාව ජීවිතෙන් අතහරින්න ආසාවක් නැහැ. 

අදටත් චුලක්ෂි ව්‍යායාම කරනවා. එහෙම නේද..?

ඔව්.. අදටත් මම ජිම් එකට ගිහින් ව්‍යායාම කරනවා. දැනටත් මම බොහෝ වෙලාවට දවසකට දෙවරක් ජිම් යනවා. මට පුළුවන් හැමවෙලේම මම ජිම් එකට යනවා. හැමෝටම ඒක සුදුසු නොවෙන්න පුළුවන්. මම හොඳ උපදේශකයකු යටතේ තමයි ව්‍යායාම කරන්නෙ. කොහුවල හයිඔක්ටෙන් කියන ව්‍යායාම මධ්‍යස්ථානයේ තමයි මම පුහුණුවීම් කරන්නෙ. ඒකෙ වෙළෙඳනාම තානාපතිනිය විදිහට කටයුතු කරන්නෙත් මමයි. ක්‍රීඩාවෙන් මට මඟහැරුණු දේ ජිම් එකේ පුහුණුවෙන් මම ලබාගන්නවා. මම ජිම් එකේදී ගොඩක් මහන්සි වෙනවා. සමහර ව්‍යායාම කරද්දී සමහරු ඒ ව්‍යායාම් කරන්න ඕනෙද? කියලා මගෙන් අහනවා. හැබැයි එහෙම නොකළොත් ඒක මට ටිකක් අමාරුයි.

ජීවිතේ ලැබුණු වටිනාම දේ මොකක්ද..?

මගේ මව්පියන් ඇතුළු පවුලේ අය මට ගොඩක් වටිනවා. ඒ හැමෝගෙම ආදරය ලබන්න මට පුළුවන් වුණා. ඒ වගේ පවුලක ඉපදීම ගැන මම සතුටු වෙනවා. දැන් ඒ එක එක්කෙනා නැතිවීම ගැන මගේ හිතේ තියෙන්නෙ ලොකු දුකක්, කලකිරීමක්. මම වැඩිපුරම ආදරය කරපු ලොකු තාත්තා නැතිවුණා. මගේ තාත්තා නැතිවුණා. ඒ ගැන ලොකු දුකක් කලකිරීමක් තියෙනවා. ජීවිතේ යථාර්ථය තේරැම් ගන්න ඒ දේවල් මට උදව් කළා. සියලු දේ අනිත්‍යයි කියලා අද මට දැනෙනවා. අහිමි වීමත් එක්ක ඒ දුක තදින්ම දැනෙනවා. එයාලා වයසට යද්දී, ඒ අයගේ වෙන්වීම දැනෙද්දී ලොකු දුකක් දැනෙනවා. මගේ ආච්චිඅම්මා මාව අතගාද්දී දැනෙන සමේ සිනිඳුකම අද වෙද්දී නැතිවෙලා. ඒ සම රැලි වැටිලා තියෙන බව මට දැනෙනවා. හැබැයි අදටත් ඒ එයාම තමයි.

ඔබ තමන් ගැන වැඩියෙන්ම සතුටු වුණු දවස කවදාද..?

මම මුලින්ම Miss Sri Lanka ජයග්‍රහණය කරපු දවසේ මට මම ගැනම සතුටු හිතුණා. මම විසින්ම ගොඩනගා ගත්ත අභියෝගය ජයගත්තා කියලා එදා මට හිතුණා. අහිමිවීම් ගැන කතා කළොත් ආදරේදී මම මාර විදිහට පෙරේතයි. ආදරය අහිමි වෙද්දී මට මාර විදිහට දැනෙනවා.

ප්‍රථම ප්‍රේමය ගැන කතා කළොත්..?

ප්‍රථම ප්‍රේමය දැන් අහිමිවෙලයි තියෙන්නෙ. පාසල් යන කාලෙදී මට කිසිම ප්‍රේම සම්බන්ධයක් තිබුණේ නැහැ. මට අවුරුදු විසි තුනේදී විතර මගේ ප්‍රථම ප්‍රේමය පටන් ගත්තා. දැන් ඒක අහිමිවෙලා ඉවරයි.

 

► Text - Dishani  /   Pic -  Sumudu 

20190717Chulakshi-1 20190717Chulakshi-3 20190717Chulakshi-5