මම ඉස්සර ඉඳලාම නිරූපණයට ආසයි
රුහුණු විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක් වන හර්ෂි නවක නිරූපණ ශිල්පිනියක් ලෙස නිරූපණ ක්ෂේත්රයේ නිරත වෙනවා. මේ වනවිට ඇය රංගනයෙන් එක් වුණු පලමු මියුසික් වීඩියෝවද එළිදක්වා තිබෙනවා. ඉතින් හර්ෂිව අප සාරවිට කතාබහට සම්බන්ධ කරගන්න හිතුවා.
මම හර්ෂි එදිරිසිංහ. මගේ ගම ඇල්පිටියේ. මම රුහුණු විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක්. මගේ වයස අවුරුදු 25යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහටත් වැඩකටයුතු කරනවා.
නිරූපණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
මම ඉස්සර ඉඳලාම නිරූපණයට ආසයි. මම කැම්පස් එකේ තුන්වෙනි වසරේ ඉද්දි කැම්පස් එකේ අයියා කෙනෙක් මගේ ෆොටෝ ෂූට් එකක් කරා. ඒ ෂූට් එකෙන් පස්සේ මට ආරාධනා ලැබුණා නිර්මාණවලට දායක වෙන්න. ඒ විදිහට තමයි මම නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ.
මේ වෙද්දි නිරූපණයෙන් දායක වෙලා තියෙන නිර්මාණ ගැන කිව්වොත්?
ෆොටෝ ෂූට් රැසකට මේ වෙද්දි දායක වෙලා තිබෙනවා. බ්‍රයිඩල් ෂූට් සහ කැෂුවල් ෂූට් දෙකම මම කරනවා. මම රංගනයෙන් දායක වුණු පලමු මියුසික් වීඩියෝව පසුගිය දිනෙක එළිදැක්වූවා. ඒ අකිල කාරියවසම් මල්ලිගේ සිහිනය මැවූ කියන ගීතයයි. මියුසික් වීඩියෝ රැසකට ආරාධනා ලැබුණත් අධ්‍යයන කටයුතු නිසා ගොඩක් ආරාධනා ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා. විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණාට පස්සේ මට හොඳයි කියලා හිතෙන නිර්මාණවලට දායක වෙනවා.
විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතුත් සමග නිරූපණ ක්ෂේත්රයේ වැඩ කටයුතු සමබරව කරගන්නේ?
මම හැමදාම විශ්ව විද්‍යාලයට යනවා. වැඩ වලට වෙලාව වෙන් කරගන්නේ කැම්පස් නැති වෙලාවටයි. ඒ නිසා දෙකම කලමනාකරණය කරගන්න පුළුවන්. මගේ යාළුවොත් මට ගොඩාක් උදව් කරනවා.
ගෙදරින් කොහොමද ලැබෙන දායකත්වය?
මුල් කාලයේදී නම් තාත්තාගේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. මොකද මේ ක්ෂේත්රය ගැන අද වෙද්දි ගොඩාක් අය කතා කරන්නේ වෙනස් විදිහකටනේ. නමුත් මගේ ෆොටෝෂූට් පෙන්නුවාට පස්සේ තාත්තා කැමති වුණා. දැන් ගෙදර හැමෝගෙන්ම මට ලොකු සහයක් ලැබෙනවා වැඩවලදි.
ඇත්තටම අද නිරූපණ ක්ෂේත්රය ගැන මිනිස්සු වෙනස් විදිහට කතා කරන්නේ ඇයි?
දෙපැත්තෙම වැරදි තියෙනවා. ලංකාවේ මිනිස්සු කෙනෙක් දිහා බලන විදිහේ වැරැද්දක් තියෙනවා. ලංකාවේ සංස්කෘතියයි බටහිර සංස්කෘතියයි කියන්නේ දෙකක්. නාගරික ප්‍රදේශවලින් එළියට යනකොට මිනිස්සු ඇත්තටම බලන්නේ සාම්ප්‍රදායික විදිහට. ඒ අය බයයි සංස්කෘතියෙන් එහා දෙයක් ගැන හිතන්න. ඒ අය ඇඳුම් පැළඳුම් ගැන හිතනවා. ඒ නිසා ඒ මිනිස්සු නිරූපණ ක්ෂේත්රය ගැන වැරදි විදිහට බලනවා. සමහර නිරූපණ ශිල්පිනියන්ගේ වැරැදිත් තිබෙනවා. සමහරු ඉක්මනට ජනප්‍රිය වෙන්න ඕනෑම දෙයක් කරනවා. ඒ නිසාත් නිරූපණ ක්ෂේත්රය ගැන විවිධ කතා මතු වෙනවා.
ඉදිරි බලාපොරොත්තු සහ වැඩකටයුතු ගැන කිව්වොත්?
විශ්වවිද්‍යාලයේ වැඩකටයුතු වලට මේ දිනවල මුල් තැන දීලා තියෙන්නේ. මගේ පවුලේ අය නම් කැමති මම රජයේ රැකියාවක් කරනවාට. මගේ ඉලක්කයත් ඒකයි. ඊට අමතරව ලැබෙන හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.
ඔබේ වැඩකටයුතුවලට උදව් කළ පිරිස ගැන කිව්වොත්?
මුලින්ම මගේ අම්මා සහ තාත්තාට ස්තූතියි කරනවා. එතකොට මගේ මුල්ම ෆොටෝෂූට් එක කරපු ඉෂාන් අයියාටත් මම ස්තූතියි කරනවා. එතකොට මගේ කැම්පස් එකේ සහ පාසැලේ යාළුවෝ ඇතුළු මට වචනයකින් හරි උදව් කළ හැමදෙනාටම මම ස්තූතියි කරනවා.
සටහන - කැළුම් දේවින්ද