මම ඇත්තටම හීන මැව්වේ රංගන ශිල්පිනියක් වෙන්නයි
නිරූපිකාවක ලෙස කටයුතු කරමින් ක්ෂේත්රයට අවතීර්ණ වූ පියුමි සිරිනායක, මේ වන විට දක්ෂ රංගන ශිල්පිනියක වී හමාරය. මේ දිනවල ටෙලිනාට්‍යය කිහිපයක් ඔස්සේ ආලින්දයට පැමිණෙන ඇය, සිය ඉදිරි කලාකටයුතු පිළිබඳ කතාබහ කිරීමට මෙලෙස සම්බන්ධ වූවාය.
මේ දවස්වල හරියට කාර්යබහුලයි වගේ නේද?
ඇත්තෙන්ම ඔව්, මේ දවස් ටිකේ ටෙලිනාට්‍ය තුනක වැඩකටයුතු කරගෙන යනවා. ඒවා නිසා මේ දවස්වල කාර්යබහුල වෙලා තියෙනවා.
සිරස නාළිකාවේ ‘නීල පබළු’, ස්වර්ණවාහිනියේ ‘වෙස්’ ටෙලිනාට්‍යය සහ දෙරණ නාළිකාවේ ‘රාවණ’ ටෙලිනාට්‍යයයි.
‘නීල පබළු’ සහ ‘වෙස්’ ටෙලිනාට්‍යයේ චරිත දෙක සමානද?
නැහැ. බැහැයි ඒ ටෙලි නාට්‍යය දෙකේ තියෙන්නේ සෙකට්‍රි කෙනෙකුගේ චරිතයක්. ‘පබළු’ එකේ චරිතය ඉගෙන ගත්තේ නැති, ටිකක් විනෝදකාමී, හැමෝටම කපලා යටින් ගේම් දෙන චරිතයක්. නමුත් ‘වෙස්’ එකේ චරිතය බුද්ධිමත් චරිතයක්. ඒ දෙක වෙනස් කරගෙන රංගනයෙන් දායක වෙනවා.
ඒ චරිත දෙක අභියෝගයක් වුණේ නැද්ද?
අභියෝගයක් වුණේ දෙකම එකම චරිතයක් වූ නිසායි. එක නාට්‍යයක ඉන්න සෙකට්‍රි අනිත් නාට්‍යයට ගේන්න බෑ. ඉතිං එහෙම වුණාම යම්කිසි අභියෝගයක් තියෙනවා. ඒකට මම තරමක් දුරට සාධාරණයක් කරලා තියෙනවා කියලා හිතනවා.
ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මම යූ-ටියුබ් එකේ බලද්දි ‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ සෙකට්‍රි සෙනුරිට හැමෝම බැනලා තියෙනවා. කවුරුත් හොඳ කියලා නැහැ. ඒ වගේම තමයි ‘වෙස්’ නාට්‍යයේ සෙකට්‍රි වන ටානියාට ප්‍රතිචාර හොඳ පැත්තටයි ලැබෙන්නෙ. හැමෝම හොඳ කියලා තියෙනවා. ඒ දේවල්වලින් තේරෙනවා මිනිස්සු යම්කිසි නිර්මාණයක ඉන්න චරිතවලටයි ආදරේ කරන්නෙ කියලා. ඒ දේවල්වලින් තමයි අපිව මනින්නේ කියලා.
ඒ කියන්නෙ චරිත දෙකටම සාධාරණයක් කරලා?
ඔව්, මම හිතනවා ඒ චරිත දෙකටම මට පුළුවන් විදියට උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියලා. ඒ නිසා තමයි සෙනුරිට ගොඩක් බැනලා, ටානියාට හොඳ කියනවා කියන්නෙ. මම චරිත දෙකටම උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියලයි මම නම් හිතන්නෙ.
‘රාවණ’ ටෙලිනාට්‍යය කියන්නෙ ටිකක් වෙනස් වැඩක් නේද?
ඇත්තෙන්ම ඔව්. මම හිතුවේ නැහැ මට ඒ වගේ නාට්‍යයක් සඳහා දායක වෙන්න පුළුවන් වෙයි කියලා. මගේ අධ්යක්ෂතුමා මට කතා කළේ ෆේස්බුක් එකෙන්. එයා මගේ ‘නීල පබළු’ බලලා තමයි මාව මේ වැඩේට තෝරගෙන තියෙන්නෙ. ඊට පස්සේ මට ඉන්ටර්වීව් එකට ගෙනැල්ලා ස්ක්‍රිප්ට් එක දීලා බැලුවා. අඩුපාඩු තියෙනවා, හදාගන්න පුළුවන් කියලා ඒ අය කිව්වා. ඉතිං මට රංගනයේ යෙදෙන්න තියෙන්නෙ ඉසුරු අයියා එක්ක. ඉතිං ඔහු දක්ෂ නළුවෙක්. ඔහුගේ බිසවට තමයි මම රඟපාන්නෙ. ඒ වගේ නළුවෙක් එක්ක මං වගේ කෙනෙක් රඟපාන්න තෝරාගත්ත එකට මගේ අධ්යක්ෂවරයා වෙන තුෂාර තෙන්නකෝන්ට ස්තුතිවන්ත වෙනවා. ඉසුරු අයියාත් කියලා තිබුණා මාත් එක්ක රඟපාන්න පුළුවන් වෙයිද දන්නේ නෑ කියලා. මං ගොඩක් බය වුණේ ප්‍රවීණ අයත් එක්ක රඟපාද්දි අපි වැරැද්දුවොත් ඒ අයට ලොකු අසාධාරණයක් වෙනවා කියලා. මොකද එයාලා ඒ චරිතය තුළදී මහන්සි වෙන ප්‍රමාණය නිසා අපි වරද්ද වරද්ද කළොත් ඒ අයට ලොකු අසාධාරණයක් වෙනවා. ඒ නිසා මම හිතාගත්තා මම මේ චරිතය හොඳටම කරනවා කියලා. මට ගොඩක් ලැබුණේ බටහිර පන්නයේ චරිත. ඒ චරිතවලින් බේරගත්තේ තුෂාර අයියා. ‘රාවණ’ කියන පැරණි කතාවකට මාව අරගෙන මගේ චරිතය වෙනස් කළේ. ඉතිං ඒ නිසා තමයි මම හිතුවේ මේ චරිතයට මම ගොඩක් කැපවෙනවා කියලා. මුල් දවසේ සීන් 08ක් තිබුණා කරන්න. ඉතිං මම වරද්දන්නේ නැතුව ඒ සීන් අටම කළා. ඉසුරු අයියා කිව්වා ‘මම හිතුවේ නෑ මෙච්චර හොඳට කරයි කියලා’. එදා ඉඳන් අද වෙනකන් රාවණ එක ගැන කැපවීමෙන් වැඩ කරනවා.
නිරූපිකාවක වශයෙන් ක්ෂේත්රයට ආවත් අද වෙද්දි නිරූපණ කටයුතුවලින් දකින්නේ නැහැනේ?
ගොඩක් මට දැන් නිරූපණය පැත්තට යොමු වෙන්න අමාරුයි. මොකද රංගනය කියන්නේ ගොඩක් අමාරු දෙයක්. එක නාට්‍යයක එක චරිතයක් කරලා තවත් නාට්‍යයකට ගියාම ඒ චරිතය වෙනස් වෙන්න ඕන. ඒ නිසා අපි ඒ ගැන හැමදාම අධ්‍යයනය කරන්න ඕන. ඒ සඳහා මම ගොඩක් කාලය වැය කරනවා. ‘වර්ක්ෂොප්’ යනවා. ඒ නිසා නිතරම රංගනය පැත්තට සාධාරණයක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ. නිරූපණය පැත්තේ වැඩ නම් මගහැරිලා කියලා හිතනවා. මොකද රංගනයට වැඩි කාලයක් ලබා දෙන නිසා.
එක් මියුසික් වීඩියෝවක් නිසා හොඳම අවස්ථාවන් ගොඩක් මගහැරුණා නේද?
ඔව්, ගොඩක් කලකිරුණා. මට ලැබුණු හොඳ අවස්ථාවන් ගොඩක් නැති වුණා. මාව මුලින්ම ‘සඳ පිණි වැස්සට’ ගද්දී කොටස් 05කට රංගනයෙන් දායක වෙලා නාළිකාවට ගිහින් දෙද්දී මාව එපා කියලා තිබුණා. මොකද ඒ මගේ මියුසික් වීඩියෝව නිසා. ඉතිං ජනක අයියා කියලා තිබුණා මට හොඳට රඟපාන්න පුළුවන්, දක්ෂ ළමයෙක් කියලා. මේ වෙද්දී නොදැනුවත්ම කරපු දෙයක් නිසා තමයි ඒ දේ වුණේ. ඇත්තටම මම වැරදි වැටහීමකයි හිටියේ. ඒ වගේ මියුසික් වීඩියෝ කළොත් මට හිට්වෙන්න පුළුවන් කියලා. ඒ නිසයි ඒ දෙයට දායක වුණේ. ජනක අයියා ඒ නාළිකාවට පැහැදිලි කරලා මට අවස්ථාව ලබා දුන්නා. අද වෙද්දී ඒ වගේ නිර්මාණ අතහැරලා හොඳ නිර්මාණවලට යොමු වෙලා තියෙනවා. ඉතිං ප්‍රේක්ෂකයාට හොඳ දේ, ලංකාවට ගැළපෙන දේ විතරක් කරන්න මම හිතා ගත්තා. මට ‘සිදූ’ එකේ චරිතයක් ලැබුණා. ඒකට දින දීලා තියෙද්දී එතැන හිටපු කට්ටිය කියලා තිබුණා මම මෙහෙම මියුසික් වීඩියෝවට සම්බන්ධ වෙලා නිසා මාව ගන්න එපා කියලා. ඒ චරිතයෙන් මාව මනින්න ගත්තා. ඒ වැඩෙත් මට නැති වුණා. දැන් මගේ වැරදි හදාගෙන, හැම තිස්සෙම හොඳ නිර්මාණවලට පමණක් යොමු වෙනවා.
එවැනි මියුසික් වීඩියෝවක් මෙච්චර හානියක් කරයි කියලා හිතුණෙ නැද්ද?
මම ඒ වෙනකොට ටෙලිනාට්‍යය පැත්තෙවත්, චිත්‍රපට පැත්තෙවත් කිසිම වැඩක් කරලා තිබුණේ නැහැ. මම කරලා තිබුණේ නිරූපණ කටයුතු විතරයි. නිරූපණයේදී අපට උගන්වන්නේ අපට ඕනෑම ඇඳුමක් නිරූපණය කරන්න පුළුවන් කෙනෙක් විදිහටයි. ෆැෂන් මොඩල් කෙනෙක් කිව්වාම අපි ‘හැඟර්’ එකක් වගේ වෙන්න ඕන කියලයි. අපි ඒ වගේ මට්ටමක තමයි අපි නිරූපණය කියන දේ ඉගෙන ගත්තේ. ඊට පස්සේ මියුසික් වීඩියෝ කරන අය, අධ්යක්ෂවරු පමණයි අපට ආශ්‍රය කරන්න පුළුවන් වුණේ. ඔවුන් වෙනත් අයව පෙන්වලා මේ අයව මෙතැනට ගෙනාවේ අපි, මේ වගේ හිට් වෙන් වීඩියෝ කළොත් ඕගොලන්නට ලොකු තැනකට යන්න පුළුවන්, ලංකාවේ හැමෝම බලනවා මේ වීඩියෝව වගේ දෙවල් කියලා අපේ මනස ඒ තත්ත්වයට හදනවා. අපි එකෙන් ඇති වෙන හානිය ගැන හිතන්නේ නැහැ. අපි බලන්නේ හිට් වෙන්නේ කොහොමද? ජනප්‍රිය වෙන්නේ කොහොමද කියලා විතරයි. අද වෙනකොට ගොඩක් නිරූපිකාවන් හිතන්නේ ජනප්‍රියතාව කියන්නේ ප්‍රසිද්ධ වෙන එක, ඇඟ පෙන්වන එක සහ අනවශ්‍ය දේවල් මිනිසුන්ට පෙන්වලා ඒ වලින් ප්‍රසිද්ධ වෙන්න හදන එකයි කියලා. මම හිතාගෙන හිටියෙත් මගේ හිට් එක ඒක තමයි කියලා. නමුත් මම ටෙලිනාට්‍යය පැත්තට ආපුවාම හැමෝම ඒ දේවල් ගැන කියලා දුන්නා. ප්‍රේක්ෂකයාගේ හිත දිනාගන්න ඕන මෙහෙමයි, අපේ ලංකාවේ සංස්කෘතියට ගැළපෙන දේවල් කරන්න ඕන, නැත්නම් අපි නිකම්ම නැතිවෙලා යනවා කියලා ඒ අය මට කියලා දුන්නා. ඒ වෙලාවේ මට තේරුණා හරි මොකද්ද? වැරදි මොකක්ද කියලා.
ගොඩක් නවකයන් කොහොම හරි ප්‍රසිද්ධ වෙන්න හදනවා. අත්දැකීමක් ලබපු කෙනෙක් හැටියට මොනාද ඒ අයට කියන්න තියෙන්නේ?
අද මම දැකලා තියෙනවා එවැනි වීඩියෝ තවත් නිර්මාණය වෙනවා. මට මොකක් හරි ප්‍රතිප්‍රහාරයක් එල්ල වුණොත් මම වැරදියි කියලා මම ඒ ගැන හොයලා බලනවා, ඇයි මම වැරදි කියලා. බහුතරයක් මිනිස්සු මට ඇඟිල්ල දික් කරනවා නම්, මට වැරදි කමෙන්ට් දෙනවා නම් මම හිතනවා මම වැරදියි කියලා. ඉතිං මම ඒක ඉක්මනට හදා ගත්තා. මම අද වෙනකොට ඕනතරම් දැකලා තියෙනවා ෆේස්බුක් එකේ අනවශ්‍ය විදිහට ප්‍රසිද්ධ වෙන කට්ටිය. ඒ අයට කොච්චර බැන්නත් ඒගොල්ලන් ඒ බණින ඒ වගේ ප්‍රතිචාර දක්වන්නේ තවත් වැරදි කරලා. තවත් ඇඟ පෙන්නලා, අනවශ්‍ය දේවල් පෙන්වලා. ඉතිං ඒ අයගේ මනස හදන්න ඕන. අය මානසිකව හැදිලා නෑ. ඒක නිසා එයාලට මම කියන්නේ ප්‍රසිද්ධ වෙනවාට වඩා මිනිසුන්ගේ ජනප්‍රියතාව බලන්න කියලා. මම ගොඩක් අයගේ කමෙන්ට් කියවනවා. හොඳ කමෙන්ට් එනවා නම් මම හරි සතුටුයි. මට බැනලා, මගේ අම්මා තාත්තට බැනලා නරක කමෙන්ට් මගේ වීඩියෝස් දෙකට ඇවිල්ලා තියෙනවා. ඉතිං හැමෝටම කියන්නේ ලංකාවේ සංස්කෘතියට ගැළපෙන, ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය විදිහට පමණක් කරන්න. සංස්කෘතිය අදාළ විදිහට ජීවත් වෙන්න. එහෙම වුණොත් ලොකු දුරක් මිනිසුන්ගේ ආදරයත් එක්ක යන්න පුළුවන් වෙයි කියලා මම කියන්න කැමැතියි.
ලොකුම බලාපොරොත්තුව මොකක්ද?
මම ඇත්තටම හීන මැව්වේ රංගන ශිල්පිනියක් වෙන්නයි. මගේ තියෙන වැරදි හදාගෙන, මේ පිළිබඳ හදාරලා දැනුමක් ඇතිව ඉස්සරහට යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.
Dilan Chryshantha / Pix - Sumudu