මම ආසයි නිරූපණයේ වැඩ කටයුතු කරන්න
මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ අවසන් වටය නියෝජනය කළ කුමරියකට අපි අද සාරවිට ඉඩක් වෙන් කරන්න සිතුවා. ඇය සිතුමිණි ප්‍රනාන්දුයි. සිතුමිණි මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලිය නියෝජනය කළ ළාබාලතම තරඟකාරිනියයි. නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමට ඇයට බලාපොරොත්තුවක් තිබෙනවා. සිතුමිණි අප සමඟ එකතු වුණේ මේ විදිහටයි.
ඔබ ගැන හඳුන්වා දුන්නොත්?
මගේ නම පවනි සිතුමිණි ප්‍රනාන්දු. මගේ පදිංචිය මාතර. මම තවම අධ්‍යාපනය හදාරනවා. ලබන වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න නියමිතයි. මම මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ අවසන් තරඟය දක්වා සුදුසුකම් ලැබුවා. ඊටපස්සේ තමයි මට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ.
දෙරණ අවුරුදු කුමරියට සම්බන්ධ වෙන්නේ කොහොමද?
ඇත්තටම මම හිතුවේ නැහැ අවුරුදු කුමරියට සම්බන්ධ වෙන්න. අම්මා තමයි අයදුම් කරලා තියෙන්නේ. මම දන්නේ මගේ ෆොටෝස් එයාලා තෝරලා ගෙදරට කෝල් එක ආවට පස්සෙයි. අම්මා තමයි ඒකට අඩිතාලම දැම්මේ.
දෙරණ අවුරුදු කුමරියේ අත්දැකීම් කොහොමද?
මම මීට කලින් කිසිම නාලිකාවක තරඟාවලියකට සහභාගී වෙලා තිබුණේ නැහැ. මම තමයි තරඟාවලිය නියෝජනය කරපු බාලම තරඟකාරිනිය. මට අත්දැකීම් තිබුණේ නැහැ. අනිත් හැමෝම කලින් වැඩවලට සම්බන්ධ වෙලා හිටපු අය. ඉතින් මට ලොකු අභියෝගයක් වුණා ඔවුන්ව. නමුත් මගේ දක්ෂතාවය නිසා මම ඒකට තරඟ කළා.
තරඟාවලියෙන් පස්සේ නිරූපණයට ආරාධනා ලැබුණාද?
ඔව්. මේ වෙද්දි මම වෙළඳ දැන්වීම් දෙකකට සහභාගී වෙලා තිබෙනවා. එකක් ඊළඟ මාසේ ටෙලි කාස්ට් වෙනවා. එහි ප්‍රධාන චරිතයකට මම දායක වුණා. එතකොට දෙරණ නාලිකාව මඟින් නිර්මාණය කළ පෝය චිත්‍රපටයකටත් මම සම්බන්ධ වුණා. ඒ චිත්‍රපටයට ගොඩක් ප්‍රතිචාර ලැබුණා.
දිගටම ක්ෂේත්‍රයේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?
ඔව්. මම ආසයි නිරූපණයේ වැඩ කටයුතු කරන්න. නමුත් මගේ අනාගත බලාපොරොත්තුව තමයි ගුවන් සේවිකාවක් වීම.
තරඟාවලියෙන් පස්සේ නිරූපණයට සම්බන්ධ වෙනවාට ගෙදරින් කැමති වුණාද?
ඔව්. අම්මායි තාත්තයි කැමති මම කලාවට සම්බන්ධ වෙනවාට. හැමදේටම මගේ අම්මා පස්සෙන් ඉන්නවා. මගේ තාත්තා ගොඩක් කැමති නිරූපණයට. නිර්මාණ තෝරලා බේරලා දෙන්නේ එයාලා තමයි.
අධ්‍යාපන කටයුතු සමග නිරූපණය කොහොමද සමබරව ගෙන යන්නේ?
මගේ යාළුවෝ මට ගොඩක් උදව් කරනවා. සහේලි කියලා මගේ යාළුවෙක් ඉන්නවා. එයා මට මග හැරෙන පාඩම් කියලා දෙනවා, නෝට්ස් දෙනවා. එතකොට මගේ ගුරුවරුත් මට උදව් කරනවා. එතකොට මට මේ දෙපැත්තම බැලන්ස් කරගෙන යන්න පුළුවන්.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මම කැමති මේ ෆීල්ඩ් එකේ වැදගත් විදිහට ලොකු ගමනක් යන්න. ලැබෙන හැමදේම බාරගන්නේ නැහැ. හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙනවා. ඒ අතරතුරම මගේ හීනයටත් මම යනවා.
විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
ඔව්. මගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමෝවම මම මතක් කරන්න ඕනේ. එතකොට මගේ මාමලා ඇතුළු නෑදෑයෝ. එතකොට යාළුවෝ, ගුරුවරු හැමෝවම මතක් කරනවා. විශේෂයෙන් සමීර අයියාව මතක් කරන්න ඕනේ. එයා මට තරඟාවලියේදී ගොඩක් උදව් කළා.
සාකච්ඡා - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද