මම අද ජනප්‍රිය මට්ටමේ ඉන්නවා
වෘත්තියෙන් දක්ෂ නර්තන ශිල්පිණියක ලෙස කටයුතු කරන අයේෂා මධුෂාණි සමගින් අද "සාරවිට" තරු කතා බහ අරඹන්නට අපි සුදානම් වුණේමු.
නර්තන ශිල්පිණියක් මෙන්ම නිරූපිකාවක් ලෙසද කටයුතු කරන අයේෂා වර්තමානය වනවිට රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කරමින් සිටියි.
අයේෂා කියන්නේ නර්තන ශිල්පිණියක්ද නැත්නම් නිරූපිකාවක්ද?
ක්ෂේත්රයට ආවේ නම් නර්තන ශිල්පිණියක් විදිහට. ඒ 2010 අවුරුද්දේ. ඊට පස්සේ 2011 අවුරුද්දේ මම රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණ ශිල්පය හැදෑරුවා. ඒ හරහා තමයි නිරූපණයට යොමු වුණේ. නමුත්, මම දැනටත් වැඩි දායකත්වයක් ලබා දෙන්නේ මගේ වෘත්තිය වන නර්තනයට. දැනට මම අවුරුදු 06ක් තිස්සේ නර්තනයේ යෙදෙනවා. දැනට මගේම කියලා නර්තන කණ්ඩායමක් තියෙනවා මට. ඒක පටන් ගත්තේ 2012 අවුරුද්දේ. ඊට අමතරව මම 2014 අවුරුද්දේ සිරස රූපවාහිනි නාලිකාව විසින් සංවිධානය කළ %ඩාන්සින් ස්ටාර්^ තරගයට ඉදිරිපත් වුණා. එහිදි මට හැකි වුණා අවසන් 10 දෙනා අතරට එන්න.
දක්ෂ නර්තන ශිල්පිණියක් වෙලත් අයේෂා නිරූපිකාවක් වෙන්න කැමති වුණේ ඇයි?
පුංචි කාලේ ඉඳලා මම හැම දෙයක්ම අත්හදා බලන්න කැමතියි. නිරූපණ ශිල්පයට පමණක් නොවෙයි මම පුංචි කාලේ රංගනයටත් කැමතියි. අවුරුදු 5ක් වෙද්දි මම චිත්‍රපට හා ටෙලි නාට්‍ය සුළු චරිත වලටත් දායක වෙලා තියෙනවා. ඊට අමතරව මම පාසල් යන කාලේ ක්‍රීඩාවටත් සම්බන්ධ වෙලා හිටියා. බොහෝ දෙනෙක් හිතුවේ මම ඒ පැත්තෙන් ඉදිරියට යයි කියලා. පස්සේ මම නර්තනය පැත්තට යොමු වුණා.
දැනට දායක වෙලා තියෙන කලා නිර්මාණ?
දැනට මම මියුසික් විඩියෝ 03කට විතර පෙනී ඉඳලා තියෙනවා. ඊට අමතරව "කුස පබා", "කොස්තපල් පුඤ්ඤසෝම" හා "මායා" කියන චිත්‍රපට වලට නර්තනයෙන් දායක වෙලා තියෙනවා. මෑතකදී "රාක්ෂ" කියලා චිත්‍රපටයකටත් දායක වෙලා වැඩ කරනවා. මා රංගනයෙන් දායක වූ "දඩබ්බරී", "සඳමලී", "මායාවී", "මහදැනමුත්තා", "ධවල මායා" කියන ටෙලි නාට්‍ය කිහිපයත් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි.
අද රැල්ලට නිර්මාණය වන ගීත රූප රචනාවලට ඔබට ආරාධනා නැද්ද?
ආරාධනා නම් ගොඩක් ලැබුණා. ඒත්, මම භාරගත්තේ නැහැ. මේවාගේ එකක රඟපෑවොත් හොඳ මුදලක් වගේම ලොකු ජනප්‍රියත්වයක් ලැබෙනවා. මම කැමති නැහැ එහෙම දේවල් වලට. මොකද මම කලාවට ආවේ එහෙම දෙයක් කරලා මිනිස්සුන්ගේ හිත් දිනාගන්න නෙමෙයි. මගේ තියෙන හැකියාවෙන් මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න. මම දැනට රංගන ශිල්පිණියක් විදිහට කලා නිර්මාණ රැසකට දායක වෙලා ඉන්නවා. ප්‍රසංග වේදිකාවේදී මා ඉදිරිපත් කරන නර්තනයන් හරහා මිනිස්සුගේ ආදරයට පාත්‍ර වෙලා ඉන්නවා. මට ඒ දේවල් වලින් මිනිස්සුගේ ආදරය ලැබුණොත් ඒ හොඳටම ඇති.
අයේෂා ජනප්‍රිය වෙන්න කැමති නැද්ද?
එකට නැ කියලා පිළිතුරක් දුන්නොත් බොරුවක්. රංගනය පැත්තට මම යොමු වුණේ ජනප්‍රිය නිළියක් වෙන්න හිතාගෙන තමයි. සල්ලි හම්බ කරන්න බලාපොරොත්තුවෙන් නම් මම මේ ක්ෂේත්රයට ආවේ නැහැ. අද වන විට මම ජනප්‍රිය අය අතර යම් තැනක ඉන්නවාකියලා හිතනවා.
බුද්ධික සේනාධීර