මට වැඩියෙන්ම අවස්ථාව ලැබුනේ සිනමා නිර්මාණ වලට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201023Hot (3)

නවක නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වුණ මධුෂානි සාරවිට කතාබහකට එකතු කරගන්න අපි හිතුවා. ඇය මේ වන විට ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා. රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයේ ඉදිරියටම යෑමට බලාපොරොත්තු වන මධුෂානි අපිත් සමග සාකච්ඡාවට එකතු වුණේ මේ විදිහට.

මධුෂානි ගැන හඳුන්වා දුන්නොත්?

මගේ නම මධුෂානි වික්‍රමසිංහ. මගේ ගම බණ්ඩාරවෙල. දැනට පදිංචිය මහරගම. මේ වෙද්දි රංගන ශිල්පිනියක් විදිහටත්, නිරූපණ ශිල්පිනියක් විදිහටත්, රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා. 

ගමන ආරම්භ කරන්නෙ කොහොමද?

ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව  ඩිප්ලෝමාව හැදෑරීමෙන් පසුව තමයි ක්ෂේත්‍රයේ වැඩ කරන්න ලැබෙන්නේ. 2018 වසරේදී වගේ තමයි වැඩ කරන්න පටන් ගන්නේ. ඇයි නාලන් මෙන්ඩිස් මහත්මයාගේ ටෙලි නාට්‍යයක් හරහා. ඊට කලින් වේදිකාව වැඩ කරා. 

මේ වෙද්දි දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?

මට වැඩියෙන්ම අවස්ථාව ලැබුනේ සිනමා නිර්මාණ වලට. ටෙලි නාට්‍ය කීපයකටත් සම්බන්ධ වුණා. සන් සපු නා, පළිඟු පියාපත් කියන ටෙලි නාට්‍ය දෙකත්, තිත්ත ඇත්ත, ආදරෙයි ජානු, එදත් දිනුම් අදත් දිනුම් වැනි චිත්‍රපටවලට දායක වෙලා තිබෙනවා. 

තරුණ සේවා ඩිප්ලෝමාධාරීන් බොහෝවිට රැඳෙන්නේ වේදිකාව මත. ඔබ වේදිකාවට සම්බන්ධ වුණේ නැද්ද?

නැහැ. මුල් කාලෙදි කොහොමත් වේදිකාවෙ තමයි වැඩ කරේ. වේදිකාවෙන් ඉවත් වෙලා කියන්න බෑ. අදටත් රාජ්‍ය නාට්‍ය උළෙල, යෞවන සම්මාන උළෙල ඇතුළු නාට්‍ය උළෙලවල් හැම එකටම වගේ සම්බන්ධ වෙනවා. ඒවගේම මගේ යාළුවන්ගේ නිර්මාණ වලට සම්බන්ධ වෙනවා. මොන තැනක වැඩ කරත් මම වේදිකාවට තමයි වැඩියෙන්ම ආදරේ. 

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මුල් කාලෙදි ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණේ නැහැ. මම පවුලේ එකම ළමයා. නමුත් මම වැඩ කරගෙන යද්දි සහ මම තෝරගත්තු නිර්මාණ දිහා බැලුවම ගෙදර අය හිතුවා මම මේ පැත්තෙන් ගොඩක් දුර යයි කියලා. දැන් නම් ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. 

වැඩියෙන්ම කැමති නිරූපණයට ද රංගනයට ද?

නිරූපණය කරන්නේ විනෝදාංශයක් විදියට. මම වැඩියෙන් කැමති රංගනයට. රංගනය තමයි මම හැදෑරුවේ සහ ඉස්සරහටත් හදාරන්න බලාපොරොත්තු වන්නේ. 

ඒ කියන්නේ වෘත්තීයෙන් රංගන ශිල්පිනියක් වීමේ බලාපොරොත්තුවක් තිබෙනවා?

ප්‍රධාන වශයෙන් රංගනයේ තමයි යෙදෙන්න බලාපොරොත්තු වන්නේ. ඊට අමතරව රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහටත් මනාලියන් හැඩ ගැන්වීමේ ශිල්පිනියක් විදිහටත් වැඩ කරනවා. 

ඔබ චරිතයක් බාර ගනිද්දි මොනවගේ දේවල්ද සලකා බලන්නේ?

මුලින්ම බලන්නේ පිටපත. ඊට පස්සේ අධ්‍යක්ෂවරයා සමඟ කතා කරලා මගේ චරිතය ගොඩ නැගෙන්න ඕනෙ කොහොමද කියලා කල්පනා කරනවා. මට ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් නම් තමයි මම ඒ චරිතය බාර ගන්නේ. 

ඔබට රඟපාන්න නොලැබුණු, ඒත්‍ රඟපාන්න කැමැත්තෙන් සිටින චරිත තිබෙනවාද?

ඔව් මෙහෙණින් මෙහෙනින් වහන්සේ කෙනෙක් චරිතයක් රඟපාන්න ආසයි. එහෙම චරිතයක් ලැබුණොත් මම භාර ගන්නවා. මට මේ වෙද්දි ගොඩක්ම ලැබිලා තියෙන්නේ පෙම්වතියගේ චරිතය හෝ ධනවත් පවුලක දියණියකගේ චරිත. මම ගොඩක් ආසයි වෙනස් චරිත නිරූපණය කරන්න. 

රංගන ශිල්පිනියක් වෙන්න ලස්සන විතරද බලපාන්නේ?

නැහැ. ලස්සන කියන කාරණය බලපන්නේ තුන්වෙනියට. දැනුම සහ සතතාභ්‍යාසය තමයි නිරන්තරයෙන් අවශ්‍ය වන්නේ. මුහුන සුදු කර ගත්තට චරිතයක ඉන්න බැරිනම්, ඒ චරිතය ගොඩනඟා ගන්න බැරිනම් රංගන ශිල්පිනියක් වෙන්න බැහැ. ඒ වගේම අපි හැමතිස්සෙම රංගන හදාරන්න ඕනේ. අභ්‍යාස කරන්න ඕනේ. එහෙම නැත්නම් රංගන ශිල්පිනියක් විදිහට ඉස්සරහට යන්න බැහැ. 

උදව් කරපු අය ගැන කියමු?

මුලින්ම මගේ දෙමාපියන් මතක් කරන්න ඕනේ. ඊටපස්සේ පාසල් කාලේ ඉඳලා මේ දක්වා මට උගන්වපු හැම ගුරුවරයෙක්ම, ජාතික තරුණ සේවා සභාව, මාත් සමග වැඩ කරපු සියලුම අධ්‍යක්ෂවරුන්ට ස්තූතියි කරනවා. 

කැළුම් දේවින්ද 

20201023Hot (1) 20201023Hot (4) 20201023Hot (5) 20201023Hot (6) 20201023Hot (7)