මට ලොකුවට ජනප්‍රිය වෙන්න ආසාවක් නැහැ
කාෂා කියන්නේ වෘත්තීමය රූපලවණ්‍ය ශිල්පිනියක්. ඒ අතර කාෂා නිරූපණ ශිල්පිනියක් ලෙසද වැඩ කටයුතු කරනවා. කාෂාට රූපලාවණ්‍ය ක්ෂේත්රය පිළිබඳව අවුරුදු 10ක පළපුරුද්දක් තිබෙනවා. කාෂා එයාගේ තොරතුරු සාරවිටට පැවසුවේ මෙහෙමයි.
කාෂා ඔයාගේ විස්තර ටිකක් කියන්නකෝ?
මම කාෂා ඩිලයිශා ඩේවිඩ්. මගේ ගම කළුතර. මගේ පවුලේ මමයි මල්ලිලා දෙන්නයි නංගීයි අම්මයි විතරයි. මම වෘත්තීමය රූපලාවණ්‍ය ශිල්පිනියක්. මම මේකප් ආර්ටිස් කෙනෙක් විදියටත් වැඩ කරනවා. මියුසික් වීඩියෝ, කමර්ෂල්, ටී.වී. ප්‍රෝග්‍රෑම්, වගේ දේවල්වල තමයි මේකප් ආර්ටිස් කෙනෙක් විදියට වැඩ කරන්නේ. මම මේ ෆීල්ඩ් එකට ඇවිත් දැන් අවුරුදු 10ක් වෙනවා. මම ඉතා හිමින් ගමනක් තමයි යන්නේ. මට ලොකුවට ජනප්‍රිය වෙන්න ආසාවක් නැහැ. සැලෝන් එකට අමතරව මම විනෝදාංශයක් විදියට මොඩ්ලින් කරනවා. ඒ කරන්නෙත් ෆොටෝ ෂූට් වගේ ගුණාත්මක දේවල් විතරයි.
කාෂා නිරූපණ ශිල්පිනියක් විදියට ක්ෂේත්රයට එන්නේ කොයි කාලෙද?
මම වැඩ කරන්න පටන් ගත්තේ 2009 විතර ඉඳලා.
අපි කතා කරොත් අංගරචනා ශිල්පිනියක් විදිහට දායක වූ නිර්මාණ ගැන?
ළඟදී කරා අකිල තාරුකගේ දැනෙන සුසුමන් කියලා වීඩියෝ එකක්. ඒකේ ඇක්ට් කළේ මනීෂා චංචලා. එතකොට අමිල අතුකෝරළගේ දුක දැනෙනා ඒ වගේ ගොඩක් නිර්මාණවල මම මේකප් ආර්ටිස් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා. තව නිර්මාණ එන්නත් තියෙනවා. Music.lk, 360 Production, zero gravity creatives ඒ අයත් එක්ක මම වැඩ කරලා තියෙනවා. මම එන හොඳ නිර්මාණ ඕනම එකක් භාර ගෙන කරනවා.
මේ ක්ෂේත්රයේ ගැටලු තියෙනවාද? ඒ මොනවද?
ඔව්. ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. මම මේ ක්ෂේත්රයට ආවේ 2008දී. උසස්පෙළ ඉවර වුණු ගමන්. මම ඉගෙන ගත්තේ ලංකාවේ හොඳ නමක් දිනාගෙන තිබෙන රූපලාවණ්‍ය ආයතනයකින්. ඉතින් එතනින් ට්‍රේනින් වෙලා වෙනත් අය ළඟ වැඩ කරලා සැලෝන් මැනේජර් කෙනෙක් විදියටත් වැඩ කරලා ගොඩක් අත්දැකීම් ලබාගෙන තමයි මම මේ තරම් දුර ආවේ. එතකොට මට ගොඩක් උදව් කරපු අයත් හිටියා, උදව් නොකරපු අයත් හිටියා. එතකොට මම දැක්ක දෙයක් තමයි එක එක්කෙනා අතරේ කැපිලි තිබුණා. මිනිස්සු ඇස් දෙකෙන් දැකලා වගේ කටකතා හදනවා. මම කියන්නේ එහෙම මේ එකම ක්ෂේත්රයේ අය කැපිලි කෙටිලි තියාගන්න හොඳ නැහැ. අනිත් එක කොපි කරනවා දැන් ගොඩක් අයත්. මොකද මට තවත් කෙනෙක් වෙන්න බැහැ. තව කෙනෙක්ට මම වෙන්නත් බැහැ. අපේ ලයිෆ් ස්ටයිල් කොපි කරන්න පුළුවන්. අපේ ටෙක්නික් එක කොපි කරන්න පුළුවන්. ඒත් අපේ එකම කාටවත් කරන්න බැහැ. එක එක්කෙනාට ආවේණික වූ ශෛලීන් තියෙනවානේ. හැමෝම සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. ළඟදි තිබුණා ජනාධිපති උළෙලක් රූපලවාණ්ය ශිල්පිනියන්ගේ. ඒ වගේ දේවල් හොඳයි. ඒ දේවල් තිබුණේ නැහැනේ. තිබුණේ නළු නිළියන්ට උපහාර දෙන ඒවනේ. දැන් ඉස්සරට වැඩිය හොඳ පසුබිමක් අපිට හැදිලා තියෙනවා. හැබැයි තව ටිකක් සහයෝගයෙන් වැඩ කළා නම් හොඳයි. මමත් උදව් කරනවා. හොඳ අයත් ඉන්නවා මේ ක්ෂේත්රයේ.
ඔය ප්‍රශ්නයම නිරුපණ ක්ෂේත්රයටත් තියෙනවා නේද?
ඔව්. මම ඕකට මෙහෙම උත්තරයක් දෙන්නම්, දැන් කැමරාවක් අතට ගත්තු ගමන් එයා ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ඒ වගේමයි එක ෆොටෝ ෂූට් එකෙන්, එක මියුසික් වීඩියෝ එකෙන් එයා මොඩ්ලර් කෙනෙක්. දැන් අය එහෙමනේ හිතාගෙන ඉන්නේ. අපි හැමදේම ඉගෙන ගන්න ඕනෙ නේ. අපි ඉගෙන ගන්නේ නැතුව කරනවා නම් ප්‍රවීණයන්ට ඒක අගෞරවයක්. ඕනම දෙයක් හරි විදියට ඉගෙනගෙන හරි විදියට කරන්න ඕනේ. නිරූපණ ක්ෂේත්රය කිව්වම ඒකේ වර්ග ගොඩක් තියෙනවා. මේ හැම එකක්ම හොඳට ඉගෙනගෙන වැඩ කරන කෙනා ප්‍රොෆෙෂනල් කෙනෙක් කියලා කියන්න පුළුවන්. අනිත් එක තමයි දැන් ඉන්න ගොඩක් අය ජනප්‍රිය වෙන්න නිරුවත පාවිච්චි කරනවා. ඒ නිසා ඒක ප්‍රවීණයන්ට හොඳ නැහැ. මම කොටට අඳින්නේ නැහැ කියලා නීතියක් හදාගෙන තියෙනවා. මටත් ආරාධනා ඇවිත් තියෙනවා විදේශ නිර්මාණ වලට. ඒත් මම ඒ දේවල් බාර ගන්නේ නැහැ. මම මට පනවා ගෙන තියෙන නීති කිහිපයක් නිසා. ඇත්තටම මේ ක්ෂේත්‍ර දෙකටම එකම වගේ ගැටලු තියෙනවා.
කාෂා ඇයි මේ ක්ෂේත්රය තෝරාගත්තේ?
ඒක මගෙන් හැමෝම අහන දෙයක්. මොකද අපේ පවුල් පසුබිම හැදිලා තියෙන්නෙම ගුරු වෘත්තියත් එක්ක. මමත් ගුරු වෘත්තියට ඉගෙනගෙන තමයි ආයෙත් මේ පැත්තට හැරුණේ. මොකද මම මේ ක්ෂේත්රයට පුංචි කාලේ ඉඳලා කැමැතියි. පුංචි කාලෙදි ගෙදරට කට්ටිය ආවම අම්මගේ මේකප් බඩුවලින් මම එයාලාව මේකප් කරනවා. බෝනික්කෝ පාට කරනවා. ඒ දේවල් කරනවා. ඒ කැමැත්තට තමයි මම මේ ක්ෂේත්රයට ආවේ.
ගෙදරින් කැමති වුණාද මේ ක්ෂේත්රයට ඔයා එනවට?
මුලින් මුලින් අකමැති වුණා. මොකද එයාලටත් ඕනේ වුණේ මම ගුරුවරියක් වෙනවට. මම බැංකුවකත් වැඩ කළා. පස්සේ පස්සේ එයාලා මගේ කැමැත්තට ඉඩ දුන්නා.
කාෂාගේ ඉදිරි වැඩකටයුතු ගැන කියමුකෝ?
ලොකු බලාපොරොත්තු නැහැ. මගේ සැලෝන් එක කරගෙන යන ගමන් හැමදාම සතුටින් ඉන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.
කාෂාට මේ ගමනට අතහිත දුන්නු අයව මතක් කළොත්?
මුලින්ම මම අදහන දෙවියන්ට මම ස්තුතියි වෙනවා. මම ක්‍රිස්තියානි. මම තදින්ම දෙවියන් අදහනවා. ඊට පස්සේ මගේ පවුලේ අයට ස්තුති කරනවා.
කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද