මට ලැබෙන්නෙම කටකාර චරිත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-11-ent-187  

ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ කටකාර දඟකාර රුවැත්තියක් අද අපේ කතා බහට එකතු කර ගන්න හිතුවා. ඇය පබසරා මධුෂානි. මේ දිනවල පුංචි තිරයේ ටෙලි නාට්‍ය කිහිපයකින්ම පේ‍්‍රක්ෂක ඔබ හමුවට එන ඇය තව දුරයි ජීවිතේ ටෙලි නාට්‍යයේ ටිටී චරිතයෙන් ගෙන එන්නේ අපුරු වෙනසක්. ඉතින් 2018 වසර ආරම්භයේදීම ටිටී අපි සමග කතා බහට එකතු වුණේ මෙලෙසින්.

 

ලැබුවා වු නව වසරේ මොනවද අලූත් බලාපොරොත්තු?2018-01-11-ent-188

ලොකු බලාපොරොත්තු නැහැ. ලෝකවාසී සියලූම දෙනාට දුකක් කරදරයක් නැතිව යහපත් වසරක් වෙන්න කියලා තමයි ප‍්‍රාර්ථනා කරන්නේ. මේ දිනවල පබසරා ටෙලි නාට්‍ය කිහිපයකින්ම දකින්න ලැබෙනවා.

ඔව්. මම දායකවෙලා තියෙන ටෙලි නාට්‍ය හතරක් මේ දිනවල විකාශනය වෙනවා. තව දුරයි ජීවිතේ, මේ මමයි, මෙඩිසිනා, මුතු කුඩ මේ ටෙලි නාට්‍ය කිහිපය හරහාම පේ‍්‍රක්ෂකයා අතරට එන්න ලැබිම ගැන ලොකු සතුටක් දැනෙනවා.

 

මේ ටෙලි නාට්‍ය සියල්ලේම චරිත අතරින් තව දුරයි ජීවිතේ ටිටීට මේ තරම් ප‍්‍රතිචාරයක් ලැබෙන්න විශේෂයක් තිබෙනවද?

මම ගොඩක් චරිත රඟපාලා තිබුණට මේ තරම් විශාල ප‍්‍රතිචාරයක් ලැබුණේ ටිටී කියන චරිතයට. තව දුරයි ජීවිතේ ටෙලි නාට්‍යය මගේ ජීවිතෙත් මේ චරිතයත් එක්ක නොහිතපු දුරකට අරන් ගියා කියලා හිතනවා. මේ කාලය ඇතුළත මම ටෙලි නාට්‍ය කිහිපයක වැඩ කළත් තව දුරයි ජීවිතේ ටිටී කියන චරිතය පේ‍්‍රක්ෂකයන් පුදුම විදිහට වැළඳ ගත්තා. පහු වුණු 2017 වසර මගේ ජීවිතේට ගොඩාක් වාසනාව ගෙනාපු වසරක්.

 

පහුවුණ 2017 වසරෙදි පබසරාට වාසනාව ගෙනාවේ කවුද?

ටිටී කියන චරිතය 2018 දීත් ටිටී චරිතය මට වාසනාව ගෙන දේවි කියලා හිතනවා. මේ කාලේ මාව පේ‍්‍රක්ෂකයන් අතරට ගෙනල්ලා තියෙන ජනප‍්‍රියම චරිතය ටිටී.

 

පබසරාව වෙනස් කරපු, පබසරාගේ ජීවිතේ වෙනස් කරපු කවුද මේ ටිටී කියලත් කියමු.

ටිටී කියන්නේ බිරිඳකගේ චරිතයක්. තව දෙයක් තමයි මේ මම බිරිඳකගේ චරිතයක් කරන පළමු අවස්ථාව. ටිටී ටිකක් නපුරු සැරපරුෂ චරිතයක්. තමන්ගේ සැමියා එක්ක නිතරම රණ්ඩුවට බලාගෙන ඉන්න බිරිඳක් නිසා ගොඩක් පේ‍්‍රක්ෂකයෝ ටිටීට බණිනවා. ඒත් පේ‍්‍රක්ෂකයෝ ටිටී කියන චරිතයට ගොඩක් කැමැති කියලා මට ලැබෙන ප‍්‍රතිචාර වලින් දැනෙනවා.

 

පබසරාට ටිටී චරිත ලැබෙන්නේ කොහොමද?

දමිත් මානවඩු කියලා අයියා කෙනෙක් තමයි මාව මේ චරිතයට මුලින්ම හඳුන්වලා දුන්නේ. මට චරිතය ලැබෙද්දී ලොකු දෙයක් කරන්න තිබුණේ නැහැ. ඒත් මගේ ඉදිරිපත් කිරීමත් එක්ක ටිටී චරිතය දැවැන්ත චරිතයක් විදියට ලියවුණා. ටිටී කියන්නේ කාලෙකට පස්සේ පබසරා කියන නම පේ‍්‍රක්ෂකයන් අතරට ගෙනි යන්න මට ලැබුණු හොඳ චරිතයක්.

 

පුංචි තිරයෙන් හෝ ගාලා ආරාධනා ලැබෙන පබසරාට සිනමාවෙන් ආරාධනා නොලැබෙන්නේ ඇයි?

නැත්තේ නැහැ. ආරාධනා ලැබෙනවා. හදිස්සි වෙන්න හොඳ නැහැනේ. හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නවා. දැනට එක චිත‍්‍රපටයකට දායක වෙලා තියෙනවා. සඳළු තළයේ කුමාරිකාවෝ කියලා චිත‍්‍රපටයකට. මේ වසරෙදී එය තිරගත වේවි කියලා විශ්වාස කරනවා.

 

පබසරා දැන් නිළියක් වුණාට ඔබේ ආරම්භය වෙන්නේ නිවේදිකාවකගෙන්. දැන් නිවේදනයෙන් ඈත් වෙලාද?

අනේ නිවේදනයෙන් මම ඈත් වෙලා නැහැ. නිවේදිකාවක් විදිහට වැඩ කරන්න මම තවමත් ආසයි. ස්ථිර නිවේදිකාවක් විදියට වැඩ කරන්න මට අමාරුයි කලා කටයුතු නිසා. ඒත් නිදහස් නිවේදිකාවක් විදිහට වැඩ කරන්න ලැබුණොත් අනිවාර්යෙයෙන්ම කරනවා 2018 වසරෙදි නිවේදිකාවක් විදියට කටයුතු කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මම ආරම්භය නිවේදන ක්ෂේත‍්‍රයෙන් නිසා කවදාවත් නිවේදනයෙන් ඈත වෙන්නේ නැහැ.

 

පබසරා නිළියක් නොවුණා නම්?

ඇත්තටම නිළියක් නොවුණා නම් මගේ දෛවය කොයි විදියට ලියවේවිද කියලා මටවත් හිතා ගන්න බැහැ. පාසල් කාලේ පටන් මගේ සිහිනය වුණේ නිළියක් වෙන එක. ඒ හීනය මම සැබෑ කර ගත්තා. ඊට වඩා ලොකු හීන මට නැහැ.

 

කටකාර දඟකාර කෑ ගහන චරිත වලින් පබසරාට මිදෙන්න අමාරුද?

මට ලැබෙන්නෙම කටකාර චරිත. ඒවට දැන් මාව කොටු වෙලා. ඒවායින් මිදෙන්න අමාරු වුණත් මට ඒ චරිත වලින් මිදිලා අහිංසක චරිතයක් කරන්න ආසයි. කටකාර සැර චරිත වගේම මට ගොඩක් ගැමි චරිතත් ලැබෙනවා. මම කොණ්ඩෙ විලාසිතා කරලා, කලර් කරලා හිටියත් ගැමි චරිතයකට අනිවාර්යෙන්ම අරාධනා ලැබෙනවාමයි. චරිත තුළින් වෙනස් වෙන්න මම කැමැතියි.

 

චරිත තුළින් වෙනසක් බලාපොරොත්තු වෙන පබසරාට පෞද්ගලික ජීවිතේ වෙනසක් වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

මම හිතනවා මේ ගෙවෙන්නේ වැඩ කළ යුතු මගේ ජීවිතේ හොඳම කාලය කියලා. පබසරා කියන චරිතය තව ටිකක් ඉදිරියට අරගෙන ගිහින් පෞද්ගලික ජීවිතය ගැන හිතනවා. මේ වසරෙදි නම් පෞද්ගලික ජීවිතේ වෙනසක් සිදු වෙන්නේ නැහැ.

 

නදීශා අතුකෝරළ / ඡායාරූප: සජීව ලක්ෂාන්

 

2018-01-11-ent-189