මට ලැබුණ සම්මානය ලබන වසරේ වෙන කෙනෙකුට ලැබෙන්න පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-06-08-ent-41

පසුගියදා පැවැති "රයිගම්" සම්මාන උලළෙදී වසරේ ජනප්‍රියතම නිළිය ලෙස සම්මාන දිනාගනු ලැබුවේ ශලනි තාරකා මෙවර "සාරවිට" තරු කතා බහට අපි සම්බන්ධ කරගත්තෙමු. "සිරස කුමරිය" ලෙස කිරුළු පලඳිමින් කලා ලෝකයට පිවිසි ශලනි, වර්තමානය වනවිට තරුණ පරපුර අතිශය ජනප්‍රිය යොවුන් ටෙලි හා සිනමා නිළියකි.

 

2016-06-08-ent-46නැවතත් ඔබට ජනප්‍රිය නිළියට හිමි සම්මානයක් ලැබුණා?

ඇත්තටම, ගොඩක් සතුටුයි. ජනතාවගේ කැමැත්තෙන් මට හිමිවුණ ජනප්‍රියතම නිළි දෙවැනි සම්මානය මෙයයි. මීට පෙර පසුගිය අවුරුද්දේ තිබුණ "සුමති" සම්මාන උලළේදීත් මට ජනප්‍රියතම නිළියට හිමි සම්මානය ලැබුණා. ඉතින් මේ සම්මාන මට ලැබුණේ මගේ ආදරණීය රසික, රසිකාවියන් නිසා. මේක අවස්ථාවක් කරගන්නවා මම ඔවුන්ට ස්තුති කරන්න.

 

මෙය ඔබට හිමිවෙන්න තිබුණ සම්මානයක්ද?

නැහැ මම කිසිම විටෙක මේ සම්මානය බලාපොරොත්තු වුණේ නෑ. පසුගිය වසර කිහිපයේදීම මම ජනප්‍රියතම නිළිය සඳහා තෝරන තරගයේදී අවසන් නිළියන් පස් දෙනා අතරට නිර්දේශ වුණා. මගේ හිතේ සම්මාන ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මේ සම්මානය අද මට ලැබිලා ලබන වසරේ වෙන කාට හරි හිමිවෙන්න පුළුවන්.

 

ඉදිරියටත් මෙවැනි සම්මාන ඔබ අපේක්ෂාවෙන් ඉන්නවාද?

නැහැ. මා කලින් සඳහන් කළා මෙන් මේ සම්මානය මෙවර මට ලැබිලා ලබන වසරේ වෙනත් නිළියකට ලැබෙන්නේ පුළුවන්. වර්තමානය ගත්තොත් වැඩි වශයෙන් නවකයන් රංගනයට පැත්තට යොමු වෙනවා. ඔවුන්ට රංගනය පැත්තෙන් තියෙන හැකියාවත් ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් සමහරක් විට එවැනි නවකයෙකුට වුණත් ලබන වසරේ මේ සම්මානය හිමිවෙන්න පුළුවන්.

 

නිළියක් වෙන්න ශලිනි හීන මැවූ කෙනෙක්ද?

නැහැ. මගේ හිතේ තිබුණ දෙයක් නෙමෙයි රංගනය පැත්තට යොමු වෙන එක. "සිරස කුමරිය" ජයග්‍රහණය කිරීමත් සමග මට රඟපාන්න ආරාධනා ලැබුණා. පළමු ටෙලි නාට්‍යයේදී මට ලැබුණේ උප ප්‍රධාන චරිතයක්. පළමු රංගනයෙන්ම මට ටිකක් විතර කම්මැලි හිතුණා රඟපාන එක. නමුත්, ඊට පස්සෙ මට ෂර්ලි පී. දෙලංකාව මහත්මයාගේ "පූජාසනේ" කියන ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්න ලැබුණා. ඔහුගේ "ඕලු" නාට්‍යය මම බලලා තිබුණා. ඒක ලස්සන නාට්‍යයක්. ඒ නිසාම මට හිත ගියා ෂර්ලි මහත්මයා සමග වැඩ කරන්න. ඒ නාට්‍යයෙන් පස්සෙ තමයි රංගනය පැත්තෙන් ඉදිරියට යන්න ඕනා කියලා අදහස ආවේ.

 

මේ දවස්වල ඔබව අපි දකින්නේ?

හිරු නාළිකාවේ විකාශය වන "වස්සානේ ප්‍රේමය" ටෙලි නාට්‍යයේ හා ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන "මොණර කිරිල්ලි" නාට්‍යවල. "වස්සානේ ප්‍රේමය" නාට්‍යයේ අවසන් රූපගත කිරීම් මේ දිනවල සිදු වෙනවා.

 

"ස්පන්දන" චිත්‍රපටයෙන් පස්සේ ඔබව අපි දුටුවේ නැහැ?

මොහන් නියාස් මහත්මයාගේ "මයාවී" කියන චිත්‍රපටය එන්න තියෙනවා. ඒ චිත්‍රපටයට පෙර කරපු "අකාර්ෂා" කියලා චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙන්න නියමිත වෙලා තියෙනවා. ඊට අමතරව බෙනට් රත්නායක මහත්මයාගේ "මේලා" කියලා තව චිත්‍රපටයක වැඩ කළා. මේ දිනවල බුඩී කිර්තිසේන මහත්මයාගේ අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම්වලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඉතින් ඉදිරියේදී මේ සිනමා නිර්මාණ හරහා මාව දකින්න ලැබේවි.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - ශලනිගේ ෆේස්බුක් ගිණුමෙන්

 

2016-06-08-ent-45
2016-06-08-ent-44
2016-06-08-ent-43
2016-06-08-ent-42
2016-06-08-ent-40