මට රඟපාන්න චිත්‍රපටයක් ලැබුණා
නිරූපණයට එක්ව කෙටි කාලයකදීම රංගනයටද අත්පොත් තබන්නට හැකිවු රුචිකා හර්ෂණි සමගින් මෙවර "සාරවිට" තරු කතා ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වුණේමු. මේ දිනවල ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වන "කොළඹ අපි ආවා" ටෙලි නාට්‍යයේ දකින රුචිකා ඉදිරියේදී තවත් ටෙලි නාට්‍යය කිහිපයකින්ද අප හමුවට පැමිණිමට සුදානමින් සිටියි.
රුචිකා කියන්නේ දැන් රංගන ශිල්පිණියක්?
ඔව්, මේ දිනවල නිරූපණයට වඩා මම රංගනය පැත්තට තමා යොමු වෙලා තියෙන්නේ. නමුත්, ලැබෙන කාල වෙලාව අනුව නිරූපණ කටයුතු වලටත් සම්බන්ධ වෙලා වැඩ කරනවා. මම ක්ෂේත්රයට ආවේ 2015 අවුරුද්දේ. කසුන් රණසිංහ ගායනා කළ %පපුවට හුරු නැති ආදරේ^ රූප රචනාවට පෙනී ඉඳලා. ඒ ගීතය නිර්මාණය කළේ සිරස නාලිකාවේ තරිදු කංකානම්ගේ.
මේ දවස්වල වැඩිපුර ප්‍රතිචාර හම්බ වෙන්නේ?
"කොළඹ අපි ආවා" කියන චරිතයට. ගොඩ දෙනෙක් මාව දැක්කහාම කතාකරනවා. වෙනදාට වඩා යම් පිරිසක් මාව අඳුනගෙන තියෙනවා කියලා හිතෙනවා. ඊට අමතරව "මේරියන්ස්" සංගීත කණ්ඩායම ශිවන්ත ප්‍රනාන්ඳු ගායනා කරන "පරවි මලක්" කියන මියුසික් විඩියෝවට රංගනයෙන් දායක වුණා. ඒ හරහාත් යම් පිරිස් මාව අඳුන ගෙන තියෙනවා කියලා හිතනවා.
ඊට අමතරව?
මේ වැඩ කටයුතු වලට අමතරව මම පසුගිය ටිකේ දායක වුණ වෙළෙඳ දැන්විම් කිහිපයක් මේ දිනවල විකාශය වෙනවා. "සෙලාන්" බැංකුව, "විජය" ප්‍රඩක්ට්ස්, "ඇන්ලීන්" කිරි හා "එටිසේලාට්" කියන වෙළෙඳ දැන්විම් වලට මම පෙනී සිටියා.
චිත්‍රපටයකත් සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා නේද?
ඔව්, දැනට සාකච්ඡා මට්ටමින් යනවා. බොහෝ විට ලබන අවුරුද්දේ ඒ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු ආරම්භ කරන්න නියමිත වෙලා තියෙනවා. ඒ චිත්‍රපටයේ මම කරන්නේ උප ප්‍රධාන චරිතයක්. මගේ ලොකු කැමැත්තක් තිබුණා පුංචි කාලේ සිනමා නිර්මාණයක දායක වෙන්න. දැන් ඒ හිනේ සඵල වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි ඒ ගැන.
ක්ෂේත්රයට යොමු වෙච්ච මුල් කාලේදී ඔබ රැකියාවකත් නිරත වුණා නේද?
ඔව්, නිරූපණ ක්ෂේත්රයට යොමු වුණ මුල් කාලයේදී මම රැකියාවක් කළා. මාස හතක කාලයක් තමයි මට රැකියාව කරන්න ලැබුණේ කලා කටයුතු එක්ක රැකියාවක් කරන එක අමාරු වුණ නිසා මම එකෙන් අයින් වුණා. දැන් මම මුලීකත්වය දීලා තියෙන්නේ නිරූපණ පැත්තටයි රංගනය පැත්තටයි.
අලුත් කෙනෙක් විදිහට නිරූපණ ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
ඕනෑම දෙයක පැති කිහිපයක් තියෙනවා. ඉතින් හැමදේකින්ම හොඳ දේ විතරක් තෝරගන්න අපි බුද්ධිමත් වෙන්න ඕනා. ඉතා ඉක්මනින් ඉහළ යන්න කෙටි මාර්ගත් තියෙනවා. නමුත්, ඉක්මන් ගමනක් යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉක්මන් ගමන කෙටි කියනවනේ. ඒ හින්දා මම කැමතියි මේ ක්ෂේත්‍ර තුළ හෙමින් ගමනක් යන්න.
මොනවද ඉලක්ක?
දක්ෂ රංගන ශිල්පිණියක් වෙන්න තමයි මගේ ලොකුම ඉලක්කය. ඊට පස්සේ සම්මානයක් ලබා ගැනීම. නිරූපණ ක්ෂේත්රය තුළ නමක් දිනා ගැනීම වගේම රසිකයන් අතර ජනප්‍රිය නිරූපිකාවක් වෙන්නත් කැමතියි.
බුද්ධික සේනාධීර