මට මගේ ගැනම ලොකු ආඩම්බරයක් දැනෙනවා
නිරූපණය ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රවීණ නිරූපිකාවන් අතරින් කැපී පෙනෙන නිරූපිකාවක් ලෙස ටාන්යා මෙලීසා ව හැඳින්විය හැකිය. බොහෝ සුපිසිද්ධ සමාගම් වල වෙළෙද දැන්වීම වලට දායක වූ ඇය මේ වනවිට යම් තාක් දුරට නිහඬතාවයකින් කාලය ගත කරනු ලබයි. නිරූපණය ක්ෂේත්‍රය සඳහා විශාල සේවයක්, කැප කිරීමක් සිදු කළ ඇය මෙලෙස නිහඬව සිටින කාරණාව බොහෝ දෙනා මවිතයට පත් කරනු ලබන කාරණාවකි. පසුගිය වසරේ ඇයව බොහෝ ලෙස කතාබහට ලක් වූයේ ජාත්‍යන්තර කිරුළක් අත්හැර නැවත ලංකාව පැමිණි කාර්යයත් සමගිනි. කෙසේවුවත් ඇයගේ නිහඬ තාවයට පිළිතුරක් ලබා ගැනීමට ‘සාරවිට’ කතාබහට ඇයව මෙලෙස එක් කර ගනු ලැබීය.
මොඩල් කෙනෙක් කියන්නේ ඇඳුමක් එල්ලන්න පුළුවන් හැන්ගර් එකක්.
දැන් නිරූපණ කටයුතු වලින් ඈත්වෙලාද?
මම නම් දැන් නිරූපණ පැත්තේ කිසි කටයුත්තක් සඳහා සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද අපේ නිරූපණ ක්ෂේත්‍රය තුළ ප්‍රමිතියක් තිබුණා. ඒක දැන් නැති වෙලා තියෙන්නේ. බජට් හා ගොඩක් මිනිස්සු වැරදි ආකල්ප තියාගෙන ඉන්නේ. අපි වැඩ කරන්න ගියත් අනිවාර්යෙන්ම වැරදි දේවල් බලාපොරොත්තු වෙනවා. ඒකට මම කාටවත් වැරදි කියන්නේ නැහැ. අද සමාජයේ මොඩල්ස්ලා දැන ගන්න ඕනේ තමන්ගේ තැන තියාගෙන වැඩ කරන්න. ගොඩක් අය ඒ දේ කරන්නේ නැති නිසා තමයි අද මේ තත්ත්වයට අපිව වැටිලා තියෙන්නේ. ඒත් එක්කම අපේ කාලේ නම් අපිට ගොඩක් වැඩ තිබ්බා. ඒවගේම අපේ කාලේ මොඩල්ස්ලා ඇඟ මේන්ටේන් කරගෙන ලස්සනට හිටියා. අද ඒ පරණ පින්තූර බලලා සංසන්දනය කරලා බලල ඔයාලටම හිතා ගන්න පුළුවන් මම කියන දේ. කාටවත් අපහසයක් කරන්න කැමති නැහැ. හැම ගැහැණියෙක්ටම ලස්සනක් තියෙනවා. ඒත් මම කියන්නේ තමා දැන ගන්න ඕනා තමාගේ තරම. තමා දන්නවා තමාට මේ දේ කරන්න බැහැ. මගේ ඇඟ මේ දෙයට සුදුසු නැහැ. ජිම් කියලා දෙයක් තියෙනවා. හොඳ ට්‍රේනින් එකක් කරලා, ඉස්සරහ අඩියක් තියෙන එක තමයි සුදුසුම දේ.
ප්‍රවීණ අයෙකු ලෙස ඔබත් ජාත්‍යන්තර කිරූළක් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්, අද වර්තමානයේ සංවිධානය වන මේ තරග ගැන ඔබේ අදහස?
අද ලංකාවේ විතරක් නෙමෙයි, ජාත්‍යන්තර පැජන්ට් වලට ගිහින් ආපු මගේ යාළුවෝ කියනවා හැම දෙයක්ම සල්ලි වලට පමණයි කියලා. පැජන්ට් කරන අය කරන්නේ තමන්ගේ වාසියට පමණයි. ඒ ඇතුලත් ගොඩක් දේවල් සම්බන්ධයි. හරි දේවල් වලට තැනක් නැහැ. මම ඒ තරගයේදී කිරුළ අත් හැරලා ආවේ මට ඕන වුණා හැමදෙනාටම ආදර්ශයක් වෙන්න. ඒ වුණාට අපේ රටේදී හරි දේවල් වලට පිළිගැනීමක් නැහැ කියලා මම පිළිගත්තා. ඒකෙන් පස්සේ තමයි නිරූපණය කටයුතු වලින් අයින් වුණේ. මට ළඟදී ආවා ‘ගින්දරී’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් කරන්න. මම ඒක බාර ගත්තෙත් නැහැ. මේ දේවල් තමයි යම් කිසි නිර්මාණයක් බාර නොගෙන ඉන්න හේතු. ඒ වගේ සමාජය වැඩ කරලා වැඩක් නැහැ. මම ෆිටෝන් මොඩලින් කරගෙන යනවා මට ඒ දේ ඇති. ඒ එක්කම මම ඉවෙන්ට් මැනේජ්මන්ට් කරනවා. ගොඩක් දුකයි. අපි නිරූපණය ක්ෂේත්‍රයේ දෙයක් හැදුවා. ඒ දේවල් දැන් නැතිවෙලා තියෙන්නේ. ඒ නිසා දුකයි. ඒ හින්දා ඉස්සරහට ගිහින් වැඩක් කරන්න ඇත්තටම ආසාවක් නැහැ. කරන්නෙත් නැහැ.
ප්‍රමිතියක් ඇති නිරූපණ තරග නිර්මාණය වෙන්නේ නැද්ද?
ඇත්තම වශයෙන්ම හැමෝම උත්සහ කරනවා. ඒ වුණාට මේ හැමදෙයටම සල්ලිත් අවශ්‍යයිනේ. වියදමක් තියෙනවා. ඒ වියදම දරා ගන්න පුළුවන් කොට්ඨාශයක් ඉන්නවා. මම කියන්නේ හැමෝම කිරුළක් විකුණනවා කියලා. අපි කිරුළකට යනවා කියලා අනුග්‍රයක් ගන්න විදිහයක් නැහැ. ඒ දෙයක් ගන්න ගියාම ඒ අනුග්‍රහය දෙන කෙනා බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්. ඒ දේවල් උඩ නිරූපණය ක්ෂේත්‍රයට කාලය නාස්ති කිරීමක් විතරයි වෙන්නේ. ඔටුන්නක් ලැබුණා කියලා ලංකාවට ආවට ලැබෙන දෙයකුත් නැහැ. ඒ නිසා නිරූපණ ක්ෂේත්‍රයේ දැන් නම් ගන්නම දෙයක් නැහැ කියලා තමයි කියන්නේ තියෙන්නේ.
ඒ කාලේ කිරූලක් මගින් ලංකාවට ගෞරවයක් ගෙනාපු නිරූපිකාවන්ගේ ගෞරවය නැති වෙන්නේ මේ වර්තමානයේ බිහිවෙන නිරූපිකාවන් නිසාද?
මට ඒකට උත්තරයක් දෙන්න බැහැ. මම ආස නැහැ කාටවත් ඇඟලි දික් කරන්න. නමුත් මොකද්ද ඒ දේ කියලා සමාජයට පේනවා. ඒක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. බ්‍රයන් කොකෝවන්, ලෝචින් ගේ වැනි මොඩල්ස්ටද ඉල්ලුමක් තියෙන්නේ නැත්නම් සාමාන්‍ය මොඩල්ස්ලටද කියලා. ඇයි එහෙම වෙන්නේ කියලා හිතලා බලන්න. අද ගොඩක් මොඩල්ස්ලා බිහිවෙන්නේ මේ ෆේස්බුක් නිසා. ඒකට ඒ අයට මුකුත් කියන්න බැහැ. ෆොටෝග්‍රැෆර්ස්ලාටත් මුකුත් කියන්න බැහැ. අලුතෙන් එන ෆෝටෝග්‍රෑෆර් කෙනෙක් කොහෙන් හරි කෙල්ලෙක් හොයන් ෆොටෝ ෂූට් එකක් කරනවා. ඊට පස්සේ ඒවා ෆේස්බුක් දානවා. ඊට පස්සේ කෙල්ල මොඩල්. ඊට පස්සේ එයාට ඉල්ලුමක් එනවා. එයා යනවා අමුතු මාර්ගයක. එයා මොඩල් සහ අනිත් එකයි දෙකම. මොඩල් කෙනෙක්ට ඉස්සර තිබ්බ පිළිගැනීම නැහැ. දැන් තියෙන්නේ අමුතුම පිළිගැනීමක්. හැම පැත්තෙන්ම වැරදි තියෙනවා.
නිරූපණ ක්ෂේත්‍රයේ මේ පිරිහීම ප්‍රවීණයන්ට කොතෙකුත් දුරට බලපානවාද?
දැනටම සෑහෙන්න බලපාලා තියෙනවා. ඒ වුණාට අදටත් අපිට වැඩවලට කතාකරන මිනිස්සු ඉන්නවා. ඒ අය අදටත් කියනවා ඔයගොල්ලෝ වගේ කවුරුත් නැහැ. මට දැන් අවුරුදු 34 යි. මට තාම වැඩවලට කතා කරනවා. මට කතා කරද්දී මම විහිළුවට කියනවා, “අනේ අපිට දැන් වයසයිනේ. මොඩල් කරන්න බැහැනේ. දැන් ඉන්නවානේ අලුත්ය අය” කියලා. එතකොට කියනවා අපි තරම් කට්ටිය නැහැ. අපිට ගහන්න තරම් කවුරුත් නැහැ කියන දේ නම් ගොඩක් මම අහනවා.
අදටත් ඔබ වැනි ප්‍රවීණ නිරූපිකාවන්ගේ වටිනාකම ගොඩක් දෙනාට දැනෙන එක පිළිබඳ හිතෙන්නේ මොකකද්?
ඇත්තටම, මාර ආඩම්බරයි. මට මගේ ගැනම ලොකු ආඩම්බරයක් දැනෙනවා. ඒ දැනෙන සතුට අතර දුකකුත් එනවා. ඇයි මේ ගොල්ලෝ මේ දේ විහින් නැති කරන්නේ. මේ ගොල්ලන්ට හරියට මේ දේ කරන්න බැරි ඇයි කියලා හිතෙනවා. ඒ නිසා ආඩම්බරයයි, දුකයි දෙකම එනවා.
ප්‍රවීණයෙක් ලෙස නිරූපණයට එන සහ ඉන්න නවකයන් වෙනුවෙන් මොනාද කියන්න තියෙන්නේ?
මම කියන්නේ හැම ගැහැණියෙක්ටම ලස්සනක් තියෙනවා. අනිත් එක අද කාලේ ජිම් එකකට ගිහිල්ලා කර ගන්න බැරි දෙයක් නැහැ. හැම දෙයක්ම හදා ගෙන ඉස්සරහට එන්න පුළුවන්. තමා තාමවම පහත් කරගන්නේ නැතුව, ප්‍රසිද්ධියේ තමා විහිළුවක් වෙන්නේ නැතුව ඉස්සරහට යන්න හරි විදිහට. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. මම ළමයි දෙන්නෙක් හදලා මගේ ඇඟ තාම පර්ෆෙක්ට්. ඒක මම දන්නවා. ළමයි දෙන්නෙක් හදලා මට ඒක කරන්න පුළුවන් නම් අවුරුදු 16, 17, 20 ගැහැණු ළමයින්ට කරන්න බැරි කමක් නැහැ. නිකන් කිරුළක් උඩ තමන්ට තියෙන දේ එළියට දාලා, ඒකේ අඩු පාඩු උඩ මිනිස්සු තමාට මඩ ගහනවාට වඩා හොඳයි. තමා තමාගේ දේ හදාගෙන ඉස්සරහට යන්න. එතකොට කාටවත් මුකුත් කියන්න බැහැ.
Dilan Chryshantha