මට බෑ බෑ කියලා මම අඬන්න පටන් ගත්තා
කලාවට අලුතින් එක්වුණු නයන්තාරා ගැන අපි විස්තර ටිකක් කියමුද...?
මගේ නම අබේසිංහආරච්චිගේ සෙව්වන්දි නයන්තාරා. මම පවුලේ වැඩිමලා. අපේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලිලා දෙන්නයි, මමයි විතරයි. මගේ තාත්තා කොළඹ ඉසිපතන විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කරනවා. තාත්තගේ නම ගාමිණි රම්‍යකුමාර මගේ අම්මා ගෘහණියක්. මගේ අම්මගේ නම නිරෝෂා ප්‍රියංගනී. මගේ ලොකු මල්ලී විහංග සංකල්ප. පොඩි මල්ලි හිරුණ නිර්මාණ. පොඩි මල්ලී කොළඹ රාජකීය විදුහලේ අධ්‍යාපනය හදාරණවා.
නයන්තාරා ඉගෙන ගත්තේ මොන පාසලේද...?
මම පාසලේ තුනක ඉගෙන ගන්නා. මුලින්ම කොළඹ සංඝමිත්තා බාලිකා විදුහලෙනුත් දෙවනුව කොළඹ ගෝතමී බාලිකාවෙනුත් ඉගෙන ගත්තා. උසස් පෙළ විභාගයට මම කොළඹ සිරිමෝ බණ්ඩාරනායක විදුහලට ඇතුළත් වුණා.
පාසලේ නයන්තාරා මොන වගේ චරිතයක්ද...?
පාසලේදී මම ගොඩාක් කලාවට බර චරිතයක්. උසස් පෙළ කලා අංශයෙන් තමයි මම හැදෑරුවේ. පාසලේදී සංගීත කටයුතුවලට වගේම නාට්‍ය අංශයටත් මම ඉදිරිපත් වුණා. ගෝතමී විද්‍යාලයේදී මම කලා කටයුතුවලට බොහෝම සම්බන්ධ වුණා. පාසලේදී මම දඟම චරිතය කියන්නත් බැහැ. හැබැයි දඟ නොකළා කියලා කියන්නත් බැහැ. යාළුවෝ එක්ක එකතු වුණාම ඉතින් ටිකක් දඟයි තමයි.
පුංචි කාලේ නයන්තාරා ආසා කළේ කවුරුවෙන්නද...?
පුංචිම කාලේ ඉඳන් මම හරිම ආසාවෙන් හිටියේ ගුවන් සේවිකාවක් වෙන්නයි. පුංචිම කාලේ ප්ලේන් එකක නැගලා උඩ යන්න මම ආස කළා. ඊට පස්සේ රට රටවල්වල යන්න ආස කළා. ඒ ඇඳුමට මම ආස කළා. ඒ අයගේ තියෙන පෙනුමට මම ආස කළා. පහුවෙද්දී මට ඒකට යන්න අවස්ථාවක් ලැබුණා. හැබැයි මගේ අම්මයි තාත්තායි මම ගුවන් සේවිකාවක් වෙනවට අකමැති වුණා. මගේ තාත්තා මම රැකියාවල් කරනවාට එච්චර කැමති නැහැ. ඒ නිසා පාසල් අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවල් කරන හීනය මගේ අතින් මඟඇරුණා.
ගුවන් සේවිකාවක් වෙන්න හීන දැකපු නයන්තාරා රංගනයට එකතුවුණේ කොහොමද...?
ඒකට අවස්ථාව ලැබුණේ “ටිප් ටොප් කියන මියුසිකල් ඇප් එක හරහායි. ඒකේ මම වීඩියෝ දෙක තුනක් කළා. ඒකට ගොඩාක් කට්ටිය කැමති වුණා. ඒ හරහා බොහෝ නිර්මාණවලට මට ආරාධානා ලැබුණා. ටෙලිනාට්‍යය වගේම චිත්‍රපටවලටත් ආරාධනා ලැබුණා.
නයන්තාරා ඒවා බාරගන්නේ නැත්තේ ඇයි...?
ඒ කිසිම දේකට අපේ ගෙදරින් කැමති වුණේ නැහැ. විශේෂයෙන් මගේ තාත්තා මම මේ දේවල්වලට දායක වෙනවට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඔය අතරේදී සිංහ එන්ටටේට්මන්ට් ආයතනයේ ලලිත් වසන්ත සර් මට නිර්මාණයකට කතා කළා. ඒ තෝඩු ටෙලිනාට්‍යයි. මුලදී අපේ ගෙදරින් ඒකටත් කැමති වුණේ නැහැ. ලලිත් සර් මාස තුනකට වැඩිය මට ඒ චරිතයට කතා කළා. ගෙදරින් කොච්චර බැහැ කිව්වත් රඟපාන්න මාත් ආස කළා. ලලිත් සර් දිගටම මේ චරිතයට කතා කළා. අන්තිමේදී තාත්තා මට ලලිත් සර්ගේ නිර්මාණයට විතරක් දායක වෙන්න අවසර දුන්නා.
ඒ කියන්නේ නයන්තාරා තෝඩුවලින් පස්සේ රඟපාන්නේ නැද්ද...?
ගොඩාක් දුරට මට “තෝඩු ටෙලිනාට්‍යයේ දිනිතිගේ චරිතයෙන් පස්සේ රඟපාන්න අවස්ථාව ලැබෙන එකක් නැහැ.
දිනිති අනිත් අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද...?
ඇත්තටම මට ලොකු සහයෝහයක් ලැබෙනවා. ඒක මම කියන්නම ඕනේ. සිංහ එන්ටටේට්මන්ඩ් ආයතනයේ ලලිත් සර් වගේම ටෙලිනාට්‍යය අධ්‍යක්ෂක සඳුන් රාජකරුණා සර්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ විතරක් නෙමේ මේ ටෙලිනාට්‍යයේ ප්‍රවීණ කලාකරුවන් කලාකාරියන් බොහෝ දෙනෙක් රංඟනයෙන් දායක වෙනවා. ඒ හැමෝම මාව හැමවෙලේම ධෛර්යමත් කරනවා. මගේ නාට්‍යයේ ඉන්න හැමෝම ගොඩාක් හොඳයි. මට දිනිතිගේ චරිතය හොඳට කරගන්න බැරි වෙනකොට ඒ හැමෝම මට උදව් කරනවා.
ඔය අතරේ සම වයසේ ඉන්න කිහිප දෙනෙකුත් වැඩ කරනවානේ... රූගත කිරීම් නැති අතරවලදී මොනවාද කරන්නේ...?
අපි ඉතින් ඒ වෙලාවට කතා කර කර ඉන්නවා. විහිළු කරගන්නවා. හැමෝම හරි සතුටින් තමයි ඉන්නේ. එතනදී වෙලාව යනවා තේරෙන්නේවත් නැහැ. හැමෝම හොඳයි, මම රංගනයට අලුත්. ඒත් තෝඩු එකේ හැමෝම මට උදව් කරනවා. මට ආදරෙන් කතා කරනවා. හැමෝටම වගේ මටත් ඒ විදිහට සලකනවා. ඒ නිසා අපි හැමෝම හරිම සතුටින් ඉන්නේ.
අමතක නොවන සිදුවීමක් මතක් කරමුද...?
මේ නාට්‍යයේ මගේ චරිතය රූගත කිරීම් කරපු දෙවැනි දවසේ මට එක කොටසක් කරගන්නට අමාරු වුණා. ඒ නිසා මම “මට රඟපාන්න බැහැ කියලා අඬන්න පටන් ගත්තා. මම කිව්වෙම “මම ගෙදර යනවා... මට රඟපාන්න බැහැ කියලයි. එතනදී ඒ තෝඩු එකේ හිටපු හැමෝම මම ළඟට ඇවිත් “ඔයාට පුළුවන් අපි කරමු. කියලා එක එක දේවල් කියලා මාව ධෛර්යමත් කළා. ටික වේලාවක් රූගත කිරීම් නතර කළා. ඊට පස්සේ තමයි මම ආයෙමත් රඟපාන්න පටන් ගත්තේ. මාව ධෛර්යමත් කරපු ඒ අය කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. ඒ හැමෝටම මම ස්තූති කරන්න ඕනේ.
රඟපාන්න එපා කියපු තාත්තා නයන්තාරාගේ රංඟනය ගැන අද මොකද කියන්නේ...?
අපේ ගෙදර දැන් හැමෝම බලන්නේ මේ නාට්‍යයම තමයි. තාත්තා, අම්මා, නෑදෑයෝ, මගේ යාළුවෝ දැන් මම ගැන සතුටු වෙනවා.
ඒ කියන්නේ රංගනයට ගෙදරින් දාපු තහංචිය ඉදිරියේදී නැතිවෙයි වගේ...?
ඒවා ඉතින් කියන්න නම් බැහැ. සමහර වෙලාවට එහෙම වෙන්නත් පුළුවන්. අපි බලමු නේද...?
ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද...?
මම ෆැෂන් කරන්න හරි කැමතියි. ඉතින් ඇඳුම් සම්බන්ධ මගේම ව්‍යාපාරයක් කරන්න මම හරි කැමතියි. මට ඇඳුම් නිර්මාණ කරන්න පුළුවන්. මගේ ඇඳුම් මමම තමයි ඩිසයින් කරන්නේ. මගේ අම්මා මගේ ඇඳුම් මහනවා. ඒ නිසා ඒ පැත්තෙන් මගේම ව්‍යාපාරයක් කරගෙන යන්න මම ආසයි.
► Text - Dishani / Pic - Sumudu