මට නම් බ්‍රයිඩ්ල් මොඩ්ලින් කියන්නේ භාවනාවක් වගේ දෙයක්
නවක නිරූපණ ශිල්පිනියක් වන ධනංජනී නිරූපණයට සම්බන්ධ වෙලා තවම කෙටි කාලයයි. නමුත් ඇය නිරූපණය තුළින් දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වනවා. ඉතින් මෙවර සාරවිට කතාබහට ධනංජනීව සම්බන්ධ කරගන්න අප සිතුවා.
ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ නම නිවන්තනා ධනංජනී. මම රැකියාවක් කරනවා. ඊට අමතරව නිරූපණ ශිල්පිනියක් විදිහටත් වැඩ කරනවා.
ක්ෂේත්රයට පිවිසෙන්නේ?
වැඩි කාලයක් නැහැ. පසුගිය දෙසැම්බර්වලදි වගේ තමයි ක්ෂේත්රයට එන්නේ. ඒ නිසා දැනට බ්‍රයිඩ්ල් මොඩ්ලින් තමයි කරන්නේ.
නිරූපණයට එන්න හිතුවේ ඇයි?
මම පොඩි කාලේ ඉඳලා මම නිරූපණ ක්ෂේත්රයට කැමතියි. මගේ තිබුණු අනෙක් වැඩ නිසා ඒක ටිකක් මග හැරුණා. හැබැයි මම නිතරම මගේ ෆේස්බුක් ගිණුමට ෆොටෝ අප්ලෝඩ් කළා. මාව එහෙම දැකලා සැලෝන් එකකින් කතා කළා බ්‍රයිඩ්ල් ෂූට් එකකට. මම මුල්ම ෂූට් එකේ හිටියේ දෙවැනි මනාලියකට. ඊටපස්සේ දිගින් දිගටම ආරාධනා ලැබුණා. ඒ වගේම ගොඩක් අය මම මහතයි කැතයි කියලා කියනවා. මට ඕනේ වුණා දවසක හොඳ තැනකට ඇවිත් එයාලට පෙන්වන්න. ඒකත් නිරූපණයට එකතු වෙන්න බලපෑ හේතුවක්.
රැකියාව සමග නිරූපණ කටයුතු කරන්නේ කොහොමද?
ගොඩක් වෙලාවට ෂූට් බාරගන්නේ සති අන්ත නිවාඩු දවස්වලට. රැකියාවත් එක්ක කරගෙන යන එක ටිකක් අමාරු වැඩක්. මට මගේ රැකියා ස්ථානයෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා වැඩ ටික සමබරව ගෙනයන්න පහසුයි.
පවුලෙන් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?
ගෙදරින් ලොකු සහයෝගයක් දෙනවා. සාමාන්‍යයෙන් ගැහැණු ළමයෙක් නිරූපණයට එනවාට ගොඩක් අය කැමති නැහැනේ. ලංකාවේ සංස්කෘතියට ඒක ගැලපෙන්නේ නැහැ කියලා හිතන අය ඉන්නවානේ. නමුත් මට ලොකු ගැටළුවක් නැහැ.
රංගනයට එකතු වීමේ බලාපොරොත්තුවක් තිබෙනවාද?
වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝවලට දායක වෙන්න නම් කැමතියි. මියුසික් වීඩියෝවකට නම් ආරාධනා ආවා. ඒත් රටේ තත්ත්වය නිසා ඒක ටිකක් කල් ගියා. දිගටම විකාශය වන ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න නම් ලොකු කැමැත්තක් නැහැ. ඒක ටිකක් ලොකු කැපකිරීමක්. මගේ රැකියාව නිසා කොහොමත් ඒ වගේ දේකට සම්බන්ධ වෙන්න අමාරුයි. දවසින් දෙකෙන් ඉවර කරන එකකට නම් සම්බන්ධ වෙන්න කැමතියි.
ඔබ පොඩි කාලේ ඉඳලා කලාවට දක්ෂයිද?
ඔව්. මම පාසැලේදී නර්තනය හැදෑරුවා. ඒ කාලේ පාසැල් නාට්‍යවලටත් සම්බන්ධ වුණා. උසස් පෙළට මම අනුලා විද්‍යාලයට ආවේ. එහෙදි ගෙදර අයගේ ඉල්ලීමත් එක්ක එකවුන්ට්ස් කළේ. මම කොමස් කළත් පාසැලේ උත්සවවලදි මම කලා කටයුතුවලට සම්බන්ධ වුණා.
දැන් නර්තනය අත් හැරලාද?
නැහැ. නර්තනයෙන් වැඩ කරන්නත් කැමැත්තක් තිබෙනවා. කාලය කළමණාකරණය කරගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඉදිරියේදී බලමු.
බ්‍රයිඩ්ල් මොඩ්ලින් ක්ෂේත්රය ගැන ඔබට හිතෙන දේ කියමුද?
කැෂුවල් ෂූට්වලදි ගොඩක් දේවල් හිතන්න ඕනේ. විශේෂයෙන් ඇඳුම් ගැන. බ්‍රයිඩ්ල් කරද්දි අපිට තෝරගෙන කරන්න පුළුවන්. සමහර කැෂුවල්වලට අපි ගියාම ෆොටෝග්‍රැෆර් කියනවා මේක හොට් විදිහට කරන්න ඕනේ කියලා. නමුත් බ්රයිඩ්ල්වලදි එහෙම එකක් නැහැ. අනික ගැහැණු ළමයි මනමාලියෙක් වෙන්න කොහොමත් කැමතිනේ. මට නම් බ්‍රයිඩ්ල් මොඩ්ලින් කියන්නේ භාවනාවක් වගේ දෙයක්. නිරූපණය කියන්නේ නරක දෙයක් නෙවෙයි. ඒක කලාවක්. ඒකට දක්ෂතාවය අනිවාර්යෙන්ම අවශ්‍යයි.
ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
මේ ක්ෂේත්රයෙන් ඉස්සරහට යන්න කැමතියි. ඒ වගේම මියුසික් වීඩියෝවලට, වෙළඳ දැන්වීම්වලට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා.
උදව් කළ අය ගැන කිව්වොත්?
මුලින්ම මගේ පවුලේ අයව මතක් කරන්න ඕනේ. මාව විශ්වාස කරලා වැඩවලට කතා කරපු රූපලාවන්‍ය ශිල්පීන්ට, ඇඳුම් නිර්මාණ ශිල්පීන්ට සහ ඡායාරූප ශිල්පීන්වත් මතක් කරනවා. එතකොට මගේ රැකියා ස්ථානයේ හැමෝමවත් ආදරයෙන් මතක් කරනවා.
කැළුම් දේවින්ද