මට නටන්න පුළුවන් කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ
ටෙලි නාට්‍යය කිහිපයක් හරහා ඔබ මේ දිනවල දකින ධනංජි තාරුකා සමගින් මෙවර තරු කතාබහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණෙමු. දෙරණ "ස්ටාර්" සිටි තුළින්ද ඔබ දකින ධනංජි මේ කලා කටයුතු නිසාම තරමක් කාර්බහුල වී සිටියි. ඇය සිය අලුත්ම කලා තොරතුරු මෙලෙස පැවසුවාය.
ධනංජි කියන්නේ මේ දවස්වල අපි නිතර දකින මුහුණක් කිව්වොත් හරි?
ඔව්, ටෙලි නිර්මාණ කිහිපයකින්ම මාව මේ දවස්වල දකිනවා. ඊට අමතරව "දෙරණ 'ස්ටාර්සිටි' රියලිටි වැඩසටහන තුළිනුත් මාව දකිනවා.
ඉදිරියට දකින්න තියෙන ධනංජිගේ කලා නිර්මාණ මොනවද?
මාර්තු 04 වැනිදා ඉඳලා "TV 01" රූපවාහිනි නාළිකාවේ විකාශය වන ටිකිරි රත්නායක මහත්මයාගේ අලුත් ටෙලියක මම රඟපානවා. ඊට අමතරව ලකී ඩයස් අයියා අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලියකත් වැඩ කරනවා.
මේ දිනවලත් ඔබව අපි ටෙලි නාට්‍යය කිහිපයක දකිනවා?
ඔව්, සිරස රූපවාහිනි නාළිකාව තුළ සෙනසුරාදා රාත්‍රී 9.00ට විකාශය වන "සිහින සොයා" හා එම නාළිකාවේම සතියේ දින පහ තුළම සවස 5.30ට විකාශය වන "බෝධි" කියන ළමා ටෙලි නාට්‍යය තුළත් මම රඟපානව. මේ දවස්වල වැඩුපරම රසික ප්‍රතිචාර හිමිවෙන්නේ "බෝධි" ළමා නාට්‍යයේ "මාරති" කියන චරිතයට.
"ස්ටාර් සිටි" රියලිටි වැඩසටහනේ දෙවැනි අදියරයටත් ඔබ දායක වෙනවා?
ඔව්, හැබැයි මුලින් මම හිතුවෙ නැහැ මේ වැඩසටහනට දෙවැනි වරටත් සහභාගි වෙන්න. මුලින් ආරාධිත සාමාජිකාවක් විදිහට තමයි මම මේ වැඩසටහනට සම්බන්ධ වුණේ. පස්සේ දෙරණ නාළිකාව හා මා දැනට තරග කරන "රොක් ඒන්ජල්ස්" කණ්ඩායමේ පිරිස කිව්වා මට දිගටම මේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඒ විදිහට තමයි ඉතින් ආයෙත් මේ වැඩසටහනට මම සම්බන්ධ වුණේ.
දෙවැනි අදියරයේ ඔබ සමග සිටින කණ්ඩායම කවුද?
චාන්දනි හෙට්ටිආරච්චි, උදය කුමාරි, රෙඩි හා සුර්ය දයාරුවන්
ධනංජි කියන්නේ දක්ෂ නිළියක්. නමුත්, මේ රියලිටි වැඩසටහන් හරහා ඔබගේ සැඟවුණු දක්ෂතාවයකුත් ඉස්මතු වුණා නේද?
ඔව්, නර්තන ශිල්පිනියක් විදිහට මාව දැනගෙන හිටියේ ඉතා සුළු පිරිසක්. නමුත්, දැන් මම දක්ෂ නර්තන ශිල්පිනියක් කියලා බොහෝ පිරිසක් දන්නවා. මම හිතනවා මේ වැඩසටහන තුළින් මට හැකියාව ලැබුණා මම නර්තනයට දක්ෂ කෙනෙක් කියලා ඔප්පු කරන්න.
නර්තනය පැත්තෙන් වැඩක් ගන්න අදහසක් නැද්ද?
ඉස්සරට වඩා දැන් ගොඩක් කැමතියි නර්තනයෙ යෙදෙන්න. ඒ වගේම අලුත් අලුත් දේවල් නර්තනය තුළින් හදාරන්නත් මම බලාපොරොත්තු වෙනවා. දැනට විදෙස් සංචාර වගේම, ව්‍යාපාරික ආයතනවල ප්‍රිය සම්භාෂණ, උත්සව වැනි දේවල් සඳහා සංවිධානය කෙරෙන නර්තන අංගවලට එහෙම ආරාධනා කරනවා. ඉස්සරනම් අපිට විදෙස් සංචාරවලට ආරාධනා ලැබෙන්නේ ගීත ගායනා කරන්න. ඒත් අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා. අද ගොඩක්ම ආරාධනා ලැබෙන්නේ මට නර්තන අංග ඉදිරිපත් කරන්න. ඉතින් මට හිතෙනවා මගේ සැඟවිලා තිබුණ ඒ දක්ෂතාවලින් අද වැඩක් මම ගන්නවා කියලා.
දැන් ක්ෂේත්රයට ඇවිල්ලා කොපමණ කල්ද?
අවුරුදු 6ක් විතර වෙනවා.
මේ කාලය තුළ රංගනය පැත්තෙන් ආපු ගමන් මඟ ගැන සතුටුද?
ඔව්, ගොඩක් සතුටු වෙනවා. මීට අවුරුදු 3කට 4කට පෙරදි මාව අඳුනගෙන තිබුණ පිරිසට වඩා විශාල පිරිසක් අද මාව අඳුනනවා. ඒ වගේම මට රංගනය පැත්තෙන් බොහෝ දේවල් මේ කාලය තුළ කරන්න පුළුවන් වුණා. ටෙලි නාට්‍යයවලට සීමා වෙලා හිටපු මම අද වේදිකා රංගනයටත් පිවිසිලා තියෙනවා. දැනට මා වේදිකා නාට්‍යය 3ක රංගනයෙන් දායක වෙනවා. වේදිකාව කියන්නේ රංගන හදාරන්න පුළුවන් හොඳම තැන.
ඒ කියන්නේ ඔබගේ රංගනය පැත්ත එදාට වඩා අද ලොකු දියුණුවක් ලබලා තියෙනවාද?
ඔව්, නමුත් රංගනය කියන දේ කවදාකවත් ඉගෙන ගෙන අවසන් කරන්න බැරි දෙයක්. නර්තනයත් එහෙමයි. වේදිකව තුළ මට යමක් කරන්න පුළුවන් වුණා. මම හිතනවා රංගනය පැත්තෙන් ඒක ලොකු ඉදිරි පිම්මක් කියලා.
නමුත්, ධනංජිව අපි එදා දැක්ක විදිහටම අදත් එකම චරිතය තුළින් දකිනවා?
ඔව්, මටත් එහෙම හිතෙනවා. නමුත්, මට මේ චරිතය දෙන්න කියලා අධ්‍යක්ෂවරුන්ට මට කියන්න බැහැ. ඔවුන් මාව දකින්නේ කෙළිලොල් දඟකාර විදිහට නිසා ඒ විදිහේ චරිත තමයි ඔවුන් මට දෙන්නේ. මටත් ඉතින් ඒක පහසුවක්. මොකද ලොකුවට යමක් කරන්න අවශ්‍යය නැහැ. හැමදාම ලැබෙන චරිතනේ. එකම විදිහට මම රඟපානවා. ඒත්, මම කැමතියි ගොඩක්ම මට වෙනස් චරිතයක් ලැබෙනවා නම්. මොකද, රංගනය පැත්තෙන් මට කරන්න පුළුවන් බොහෝ දේ තියෙනවා. ඉතින් මට තියෙන ඒ හැකියාවෙන් වැඩක් ගන්නවා.