මට දැන් ඉලන්දාරි පුතෙකුත් ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-09-ent-105

අංජුලා රාජපක්ෂ පහුගිය කාලවලදී මාධ්‍යයත් එක්ක වැඩිය කතාබහ කළේ නෑ. හැබැයි අංජුලා රූපවාහිනිය ඔස්සේනම් ඔබට නිතර නිතර දකින්න ලැබුණා. දෙරණ නාලිකාවේ විකාශය වන ‘දෙවන ඉනිම’ නම් අපූර්වතම ටෙලිනාට්‍යය රූගත කරන අතරතුරේදි අපිට අංජුලාව මුණගැහුණා. ඒ රූගත කිරීම අතරතුරේදි අප කළ කතාබහයි මේ.

අංජුලා... මොකද මේ සද්ද නැත්තේ... ටී.වී එකෙන් දැක්කට මාධ්‍යයෙන් වැඩිපුර කතා කරන්නේ නැහැනේ. තරහ වෙලාද? අනේ නෑ.. අනේ.. එහෙම මම කාත් එක්කවත් තරහවෙලා නැහැ. මාධ්‍යයට එන්න මම ටිකක් කම්මැලියි අනේ... එහෙම නැතිව මගේ එහෙම තරහක් නෑ.

 

දැන් අංජුලා ඉලන්දාරි පුතෙක් ඉන්න අම්මා කෙනෙක් නේද?

2017-03-09-ent-104අම්මෝ... ඔහොම කියන කොට මට බය හිතෙනව අප්පා... ඔය කියන්නේ දෙවන ඉනිම ටෙලිනාට්‍යය ගැනනේ... ඔව් අනේ... දැන් මම ලොකු පුතෙක් ඉන්න අම්මා කෙනෙක් නේද... හොඳයි නේද... බලන්නකෝ ‘දෙවනි ඉනිම’ මොකද වෙන්නේ කියලා.

 

අංජුලා... අම්මලාගේ චරිත කරන්නේ... දැන් පෙම්වතියගේ චරිත කරලා ඉවරද?

අනේ.. එහෙම එකක් නෑ... මම ආසයි විවිධ චරිත කරන්න. රූපවාහිනියේ විකාශනය වන එකගෙයි මිනිස්සු, ස්වර්ණවාහිනියේ දෙව්ලියෝ, හිරු නාලිකාවේ වස්සාන ප්‍රේමය සහ අයි.ටී.එන්. නාලිකාවේ සොඳුරු දඩයක්කාරයා කියන නාට්‍යවල මේ දවස්වල මම වැඩ කරනවා. ඒ හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. ඒ හැම එකකටම මම ආසයි. දෙවන ඉනිමත් මම රඟපාන්නේ හරිම ආසාවෙන්.

 

පහුගිය කාලේ නටපු නැටිල්ලට කකුලක් කඩාගත්තා නේද?

ඔව්... අනේ... මම හිරු නාලිකාවේ මෙගා ස්ටාර් එකේ ඉන්නවා. ඒකේ ෂෝ එකට දවස් තුනකට කලින් රියසල් කරද්දි මගේ කකුල පෙරලුණා. ඒ වෙලාවේ මම ඒකට ප්‍රතිකාර කළේ නෑ. ෂෝ එකටත් ගිහින් බොහොම අමාරුවෙන් ඩාන්ස් කළා. ෂූටිං තියෙන නිසාත් මම වැඩිය ප්‍රතිකාර ගන්නේ නෑ. නොණ්ඩි ගහගෙන ඒවාට ගියා. අන්තිමට වැඩිවුණා. ඊටපස්සේ සිංහල බෙහෙත් කළා. දැන් සෑහෙන දුරට සුවයි. තාමත් ඒක ටිකක් අමාරුයි. ඒත්.. රංගනය වෘත්තියක් කරගත්තහම, ටෙලිනාට්‍යවල බාරගත්ත ෂූටිං තියෙන කොට සමහර දේවල් අමාරුවෙන් හරි අපිට කැප කරන්න සිද්ධ වෙනවා.

 

නටන්නයි, රඟපාන්නයි පුළුවන් එකේ සින්දු කියන්නත් අංජුලාටත් පුළුවන් ඇති නේද?

ගායනයටත් මට හැකියාවක් තිබුණා. අවුරුදු හතේ ඉඳන් මම බටහිර සංගීතය හැදෑරුවා. පියානෝ වාදනය කළා. අවුරුදු ගාණක් මම සංගීතය හැදෑරැවා. O/L විභාගයෙන් පස්සෙ මම ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගත්තා. A/L වානිජ අංශයෙන් ඉගෙන ගත්තත් අමතර විෂයක් විදිහට සංගීතය කළා. විභාගය කළා. නර්තනයනම් ඇත්තටම හදාරලා නෑ. හිරු මෙගා ස්ටාර් නිසා දැන් ඒ අවස්ථාවත් මට හම්බවුණා.

 

කාර්යබහුල ජීවිතේදි ආදරයටත් වෙලාවක්, ඉඩක් දීලා නැද්ද?

ඇයි දෙයියනේ... මම ආදරේට ඕනතරම් වෙලාවක් දීලා තියෙනවා. මම පැය විසි හතරේම ආදරෙන් තමයි ජීවත් වෙන්නේ. කලාකාරියක් විදිහට අනිත් මිනිසුන්ට වඩා අපි ආදරේ උපරිමයෙන් විඳිනවා. ආදරේට භේද නෑ. මිනිසුන්ගේ ආදරේ අපි අද උපරිමයෙන්ම විඳිනවා. පොදුවේ ගත්තොත් ලෝකේ ආදරේ වැඩියෙන්ම විඳින්නේ කලාකරැවනුයි.

 

අංජුලා... මේ වෙද්දි පෙම්වතියක්ද... ඇත්ත කියන්න?

මේ වෙනකොට පෙම්වතියක්නම් නෙමේ. හැබැයි විවාහ වෙන්න අපේක්ෂාවෙන් ඉන්නවා. ඒක කොයි කාලේදිද කියන එක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ... බලමු... ඒක ඉස්සරහට... ඒ කාලයත් මම හරියටම ළඟදිම කියන්නම්.

 

කොහොමද අංජුලාගේ විවේකය එහෙම ගෙවෙන්නේ?

ඇත්තටම ඒ වගේ වෙලාවකදිනම් මම නිදාගන්න හරි කැමතියි. කලාකාරියක් කලාකරැවෙක් විදිහට අපිට නොලැබෙන දේත් ඒකම තමයි. සමහරදාට උදේ පාන්දර ඇහැරෙනවා. ආයෙ නිදාගන්නේ මහ රූ. සමහරදාට නිදාගන්න වෙන්නේ වාහනේ යද්දී. ඉතින්.. විවේකයකදි නින්ද කියන දේ හරිම වටිනවා. ඒ වගේම මම කැමති තැන්වලට යන්න මම හරි කැමතියි. හැබැයි ඒ ගියත් නිදහසේ ඉන්න තමයි මම කැමති.

 

අංජුලා ආඩම්බරයිද?

නෑ... ඔයාලා හිතනවද මම ආඩම්බරයි කියලා. මගේ එහෙම ආඩම්බරයක් නෑ. ඇයි මම එහෙම ආඩම්බර වෙන්නේ. අනික ඉතින් මේ හැමදෙයක්ම, මේ හැම ජනප්‍රියත්වයක්ම මට ලැබුණේ මගේ ආදරණීය රසික රසිකාවියන් නිසයි. ඉතින්... ඒ අයට මම කොහොමද ආඩම්බර වෙන්නේ. අනේ... ඒ නිසා මම ආඩම්බර නෑ.

 

බොහෝ කලාකාරියන් තුළින් පසු කාලයේදි ව්‍යාපාරිකාවන් බිහිවෙනවනේ. අංජුලාත් ළඟදිම දවසක ව්‍යාපාරිකාවක් වෙයි... එහෙම නේද?

ඔව්... දැනට ව්‍යාපාරයක් කරන්න ප්ලෑන් එකක් තියෙනවා. තාම ඒක ප්ලෑන් කරගෙන යනවා. බලමු ඒකත් මොකද වෙන්නේ කියලා. හරියටම ප්ලෑන් කරපු දවසට අපි ඒක හැමෝටම කියමු.

 

ඔහොම ප්ලෑන් කරලා හදපු ගෙදර අංජුලා පහුගිය කාලේ පදිංචි වුණා නේද?

ඔව්... පහුගිය අවුරැදු කීපයම මගේ ගතවුණේ මගේ අලුත් ගෙදර හදන එකටයි. ඒකේ වැඩ අවසන්වෙලා මම ඒකේ පදිංචි වුණා. ඒක හැමෝගෙම හීනයක්. තමන්ටම කියලා ගෙයක්. මටත් ඕනවුණේ මගේම උත්සාහයෙන් හම්බ කරගත්තු මගේම ගෙයක්. ඉතින්... ඒ හීනයත් මම හැබෑ කරගත්තා. අදටත් හැමදාටමත් මගේ බලාපොරොත්තුව තමයි නිදහසේ හිනාවෙලා ජීවත්වෙන්නයි... ඒ දේ ලබාගන්නයි මේ හැම කැපකිරීමක්ම මම කරන්නේ. මම නිදහසේ ජීවත්වෙන්න ආස කරන කෙනෙක්.

 

සටහන - ජයමාලි / ඡායාරූප - සුමුදු හේවාපතිරණ

 

2017-03-09-ent-107 2017-03-09-ent-106