මට තියෙන්නෙ චරිත පිපාසයක්
පාසල් සමයේදී පොතපතේ වැඩවලට වගේම බාහිර ක්‍රියාකාරකම්වල යෙදුණු ඇය වගේ තවත් කෙනෙක් තවත් නැති තරම්. රශී ප්‍රභා සංදීපනී ගැන තමයි අපි මේ විදියට කතා කරන්නේ.
‘‘ඇත්තම කිව්වොත් මම පාසල් සමයේදී නොකළ දෙයක් නැති තරම්. කලා අංශයේ බොහෝ දේ කළා. නර්තනය, ගායනය, සංගීතය, නිවේදනය, කථික තරග, කෙටිකතා ලිවීම, කවි ලිවීම, රඟපෑම මේ සෑම දෙයක්ම කළා. පාසල් ශිෂ්‍ය නායිකාවක වූ මම, සෑම සමිතියකම වාගේ සභාපති ලෙස ද කටයුතු කළා. ඒ ඔක්කෝටම අමතරව ක්‍රීඩා අංශයෙත් බොහෝ දේ කළා. මේ විදියට බොහෝ දේ කරන අතරේ ගුරුවරු සහ මව්පියන්ගෙන් හොඳටම බැනුම් අහලා වගේම ගුටිකාලත් තියෙනවා. කොහොම වුණත් මම පාසලේ සිටි ජනප්‍රියම චරිතයක්’’.
හැමෝටම පාසල් සමයේ සුන්දර මතකයන් ඇති. රශී ප්‍රභා ඇයගේ පාසල් සමයේදී වූ මතකය වගේම කළ කී දේ ගැන ගෙනහැර පෑවේ එලෙසිනි. මේ විදියට එදා හැඩ-වැඩ පෑ ඇය පසු කලෙක මහාචාර්ය සරච්චන්ද්‍ර ශූරීන්ගේ නාට්‍ය වූ සිංහබාහු සිංහසීවලී ලෙසත්, පේමතෝ ජයතී සෝකෝ ස්වර්ණලතා ලෙසත් රත්නාවලී නාට්‍යයේ රත්නාවලී බිසව ලෙසත් කටයුතු කළාය. ඊට අමතරව මනමේ නාට්‍යයේ කෝරස් එකේ සාමාජිකාවක වූ ඇය හස්ති කාන්ත මන්තරේ වාසුලදන්තා කුමරිය වූවාය. අදටත් මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක වන ඇය බොහෝ දෙනා අතරට ගියේ පුංචි තිරයේ නාට්‍යය සමගය.
‘රශී’ ඔබට රඟපෑම කියන දේ ගැන දැනෙන්නෙ කොහොමද?
ප්‍රසිද්ධ වේදිකාවට සහ ටෙලිනාට්‍ය ක්ෂේත්රයට ඇවිත් වසර ගණනාවක අත්දැකීම් මට නැහැ. වසර හය හතක අත්දැකීම් තමයි තියෙන්නෙ. වේදිකාව ගත්තොත් 3.30 නාට්‍ය දර්ශනයේ අත්දැකීම් නෙවෙයි 6.30 දර්ශනයේදී ලබන්නෙ. වේදිකාව ඇත්තටම වෙනස්ම අත්දැකීමක්.
සිනමාවට ආසා නැද්ද? නැත්නම් ආරාධනා නැද්ද?
සිනමාවට ආරාධනා ලැබෙනවා. ඒත් මගේ කාලය එක්ක මට ගොඩ බදාගෙන ගමනක් යන්න බැහැ. ඉදිරියේදී කාලය සමග වෙනස් වේවි. මේ දිනවල හිරු මෙගා ස්ටාර් එක්ක කාර්යබහුල වුණා. ගිවන්ත අර්ථසාද් එක්ක තමයි රැුඟුම වගේම නර්තනයත්, ගායනයත් ඉදිරිපත් කළේ. අපි පළමු වටය ජයග්‍රහණය කළා. ඒ වගේම නවතා තිබූ නර්තනයට නැවත ප්රවිශ්ඨ වෙන්න පුළුවන් වුණා. කලිනුත් නර්තන අවස්ථා සඳහා ඉදිරිපත් වුණත් මෙවර බොහෝ පේ්රක්ෂකයින් අතරට යාමේ අවස්ථාව ලැබී තිබෙනවා.
කොහොම වුණත්, දැන් ක්ෂ්ත්රයේ සිටින ටෙලිනාට්‍ය නළු-නිළියන්ට හුස්මක් ගන්නවත් වෙලාවක් නැහැ වගේ නේද?
ඒක නම් ඇත්තටම හරි. බොහෝම කාර්යබහුල වෙලා.
ඒක හොඳ දෙයක් නෙවෙයි කියලා නේද සමහරු කියන්නේ?
මම මගේ විදිය ගැන කතා කළොත්, මම නිකරුනේ කාලය ගත කරන්න කැමැති නැහැ. රංගන ශිල්පිනියක ලෙස චරිත පිපාසයක් මට තියෙන්නෙ. ඒ නිසා රංගන ජීවිතය එක්ක කාර්යබහුල වෙන එකට මම ආසයි. ඒක හිතට සැනසීමක්, ඒ වගේම සතුටක්. දවස් ගානේ ලබන අත්දැකීම් හරි වැදගත්. ඕනෑම රැුකියාවකදී ලබන අත්දැකීම් සහ කාර්යබහුලවීම එක්ක ලබන පරිචය ජීවිතයට හරි වැදගත්.
ආදරය කරන්නත් කාලයක් නැති තරම්ද?
අපෝ තවම ඒ ගැන හිතන්නවත් කාලයක් නෙවෙයි. අවස්ථාවකුත් ලැබිලා නැහැ. මම මේ කියන්නෙ ඇත්තමයි. මම හොයන විදියෙ කෙනෙක් මට තව ලැබුණෙත් නැහැ.
ඔබගෙන් ආදරේ ගැන අහලත් නැද්ද? යෝජනා එහෙම?
යෝජනා නම් තවම එනවා. වෙලාවකට මගේ හොඳම යෙහෙළිය මගෙන් අහන්නෙ, ඇයි ඇත්තටම ඔයා ඒ එක යෝජනාවකටවත් කැමැති නැත්තෙ කියලයි. ඒත් ඇත්ත ඒකයි. හරි කෙනා හරි වෙලාවට ජීවිතයට ළං වුණාම ඒක විසඳේවි. තවම හම්බ වෙලා නැහැ.
බොහෝමයක් හැකියාවන් තියෙන රශීගෙ ගීත රසවින්දනයට සහ ගායනයට ඇති රසඥතාවය මොන වගේද?
කුඩා කාලයේ ඉඳලාම හිංදි ගීතවලට බෙහෙවින් ආසා කළා. නොතේරෙන වයසේ සිටම එහෙමයි. සිංහල ගීත නම් බොහෝමයකට ආසයි. ඒ වගේම මාත් ගීත ලියනවා. ගීතවල අරුත්වලට වගේම අරුතක් ඇතිව ගලා යන නිර්මාණවලට හරිම ආසයි. බටහිර ගීතත් තරමක් දුරට ගයන්න පුළුවනි.
පසුගිය දිනවල අව්වට පිච්චිxපිච්චි දඹුල්ලෙ හිටියෙ?
අලූත්ම නිර්මාණයක රූගත කිරීම්වලට දායක වුණා. සෑහෙන්න පිච්චිලා. දැන් කළුම කළු වෙලා. පාන්දරින්ම නවාතැනේ සිට රූගත කරන ඉසව්වට එනවා. ආපහු යන්නෙ රාත්‍රියට. කණ්ඩලම, කළුන්දෑව ඒ වගේම බොහෝම ලස්සන සුන්දරම පළාත්වල තමයි මේ නිර්මාණය රූගත කිරීම් සිදුවන්නෙ. වෙලාවකට හරිම මහන්සියි. ඒත් දර්ශනයට සහභාගි වෙලා හොඳට කළා කිව්වාම ලොකු සතුටක් දැනෙන්නෙ.
හැඩගැන්වීම් - අසංක මෙන්ඩිස්
විලාසිතා - Inter Fashion
පසුතලය - ගාළු මුවදොර හෝටලය
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ