මට තිබුණේ කවද හරි මගේම දෙයක් කරන්න හීනයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201031Kavi (11)ප්‍රවෘත්ති නිවේදිකාවක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය නිවේදිකාවක් තමයි කවි වික්‍රමසිංහ කියන්නේ. ලංකාවේ ප්‍රධාන මාධ්‍ය නාලිකා කිහිපයකම ඇය නිවේදිකාවක් ලෙස වැඩ කටයුතු කර තිබෙනවා. ඊට අමතරව ඇය නිරූපණ ක්ෂේත්‍රයේ ද වැඩ කටයුතු කරනවා. මෙවර සාරවිට කතාබහ කවී වික්‍රමසිංහ  සමඟයි

කවී කොහොමද ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ?

2017දි වගේ තමයි මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඒ ශ්‍රී ටීවී ආයතනය හරහායි. ඉන් අනතුරුව සිරස නාලිකාවේ ප්‍රවෘත්ති අංශයේ අවුරුදු තුනක් පමණ සේවය කළා. නිදහස් නිවේදිකාවක් ලෙස නාලිකා රැසකම වැඩ කරනවා. ප්‍රවෘත්ති වලින් ස්වාධීන රූපවාහිනියේ වෑඩ කරනවා.

මේ දවස්වල ඉදිරිපත් කරන වැඩසටහන් ගැන කිව්වොත්?

කොරොනා නිසා මේ දවස්වල ලොකුවට වැඩ කරන්නේ නැහැ. ITN එකේ ප්‍රවෘත්ති අංශයේ වැඩ කරනවා. තව පෞද්ගලික ආයතනයක වැඩ කිහිපයක් කරනවා. ඊට අමතරව නිරූපිකාවක් විදිහට ෆොටෝ ෂූට්වලට දායක වෙනවා.

නිවේදනයට එකතු වෙන්න පොඩි කාලේ පටන්ම බලාපොරොත්තුවක් තිබුණාද?

එහෙම බලාපොරොත්තුවක් පොඩි කාලේදි තිබුණේ නැහැ. මම පාසල් කාලේ එහෙම වැඩසටහන්වලට ඉදිරිපත් වෙලත් නැහැ. හැබැයි පොඩි කාලෙදි රූපවාහිනියේ නිවේදිකාවෝ දැක්කම හරි ආසයි. සාමාන්‍ය පෙළ පස්සේ ටී.වී එකේ ඇඩ් එකක් දැක්කා presenting course එකකට බඳවා ගන්නවා කියලා. ඊට පස්සේ ඒකට සම්බන්ධ වුණා. Media විෂයක් විදිහට පාසලේදී කරා.

නිරූපණ ශිල්පිණියක් විදිහට වෙළඳ දැන්වීම්, music video වලට සම්බන්ධ වෙලා තියෙනවාද?

ඇත්තටම මට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් මම ඒ කාලෙදි ආයතනගතව වැඩ කරපු නිසා අපිට යම් යම් වාරණ තිබුණා. මොකද මම ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියක් ලෙස සේවය කළ නිසා. ඒ නිසා ඒ ආරාධනා වලට සම්බන්ධ වෙන්න බැරි වුණා.

ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා කියන්නේ විශාල වගකීමක්. කොහොමද ඒ වගකීම බාර ගන්නේ?

ඇත්තටම ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න නෙවෙයි මගේ මුල් කැමැත්ත තිබුණේ. මම ශ්‍රී tv ආයතනයේ ඉදිරිපත් කළේත් සාමාන්‍ය වැඩසටහන්. එතන ඉඳලා සිරසට යන්නත් ලැබෙන්නේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න. ඒ වැඩසටහනට ගියාම එයාලා කිව්වා මගේ කටහඬ ප්‍රවෘත්ති වලට හොඳයි කියලා. මම කරපු පාඨමාලා වලදී මම ප්‍රවෘත්ති කියන විදිය හදාරලා තිබුණා. ඊට පස්සේ සිරස ප්‍රවෘත්ති අංශයට ආවා. එතනට ආවට පස්සේ තේරුණා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියක් කියන්නේ වෙනස්ම චරිතයක් කියලා. මොකද හැම නිවේදිකාවකට ම ප්‍රවෘත්ති කියන්න බැහැ. ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා කියන්නේ විශාල වගකීමක්.

පවුලෙන් ලැබෙන සහයෝගය ගැන කියමු?

ගෙදරින් මුල් කාලෙදි කැමැත්තක් තිබුණේ නැහැ මාධ්‍යයට එකතු වෙනවට. හැබැයි අම්මා කිව්වේ මට කැමති දෙයක් කරන්න කියලා. තාත්තටයි අයියට හොරෙන් වැඩසටහන් ඉදිරිපත් කරන්න ගියා. හැබැයි මම අම්මව දැනුවත් කරලා තමයි මේ හැමදේම සිදුකෙරේ. පස්සේ පස්සේ ගෙදර අයත් මට සහයෝගයක් දෙන්න පටන් ගත්තා. අදටත් කොහේ හරි වැඩකට ගිහාම අම්මා තමයි පස්සෙන්ම ඉන්නේ.

නිවේදිකාවක් නොවුනා නම් කවි මොන වගේ තැනක ද ඉන්නේ?

පොඩි කාලෙදි හැමෝටම එක එක හීන තිබෙනවා. මට තිබුණේ කවද හරි මගේම දෙයක් කරන්න හීනයක්. මගේම කියලා සැලොන් එකක් පටන් ගන්න හීනයක් තිබුණා. තවමත් තිබෙනවා. ඒ වගේම ඒ කාලෙදි මට මහන්න ඉගෙන ගන්න ආසාවකුත් තිබුණා. සමහරවිට මම නිවේදිකාවක් නොවුනා නම් සැලෝන් එකක් පටන් අරගෙන රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙන්න තිබුණා.

ප්‍රවෘත්ති ඉදිරිපත් කරද්දි වැරදීම් සිදු වෙලා නැද්ද?

බොරු කියන්න ඕනෙ නැහැ. ඇත්තටම වැරදීම් සිදු වෙලා තිබෙනවා. ඒ වැරදීම් වලට මම දඬුවම් පවා විඳලා තියනවා. එකපාරක් ප්‍රවෘත්තියකදී කිලෝග්‍රෑම් සහ මිලිග්‍රෑම් වැරදිලා මම සතියක් news library එකේ හිටියා.

ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු ගැන කිව්වොත්?

මේ වෙද්දි මම නිදහස් මාධ්‍යවේදියෙක් විදිහටනේ වැඩ කරන්නේ. කාලයක් ආයතනගතව වැඩ කරද්දි මට තේරුණා මම යම් යම් තැන් වලදි කොටුවෙලා තියෙනවා කියලා. ඒ නිසා ඉදිරියේදී මම කැමති තවත් දේවල් මම කරනවා. ප්‍රවෘත්ති කීම සහ වැඩසටහන ඉදිරිපත් කිරීම නවතන්නේ නැහැ.දැන් මම ඒ දෙකටම ආසයි. මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න මේ දවස්වල අදහසක් තිබෙනවා. හැබැයි රටේ තිබෙන තත්ත්වයත් එක්ක ඒක දැන්ම කරන්න වෙන්නේ නැහැ.

උදව් කරපු අය ගැනත් කියමු?

මුලින්ම මතක් කරන්නට මගේ ගෙදර අය. එතකොට ශ්‍රී ටීවී ආයතනයේ කාර්ය මණ්ඩලය, එතකොට සිරස ආයතනයේ ෂෙවාන් ඩැනියල් මහත්මයා සහ ප්‍රධාන නිලධාරීන් බොහෝ දෙනෙක් මට උදව් කරා. ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ සුධර්මන් මහත්මයා ඇතුළු ස්වාධීන රූපවාහිනියේ අයවත් මතක් කරන්න ඕනේ. ඒ වගේ මට හොඳ යාළුවෝ පිරිසක් හමු වුණා. ඒ අයවත් මතක් කරනවා.

කැළුම් දේවින්ද

20201031Kavi (3) 20201031Kavi (4) 20201031Kavi (7) 20201031Kavi (10) 20201031Kavi (12) 20201031Kavi (13) 20201031Kavi (14) 20201031Kavi (16)