මට කවුරු සමගවත් තරඟයක් නැහැ
නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්රයේ දීර්ඝ කාලයක් තිස්සේම රැඳී සිටින තරුවක් තමයි කාංචනා කියන්නේ. ඒ වගේම ඇය රූ රැජිනියක්. ඉතින් කාංචනාට සාරවිට කතාවට සම්බන්ධ කරගන්නට අපි හිතුවේ මෙහෙමයි.
ඔබ ගැන හඳුන්වා දුන්නොත්?
මගේ නම කාංචනා කාන්. මම රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් විදිහට කලාවට සම්බන්ධ වෙලා තියෙනවා.
ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම බැලේ නර්තනය හදාරලා තියෙනවා. ඒ කාලේදි වෙළඳ දැන්වීමකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හරහා තමයි ක්ෂේත්රයට පිවිසෙන්නේ. ඒ ආරම්භ කළ ගමන මේ දක්වාම ඇවිත් තියෙනවා. ඒ වගේම මම 2008දි Max Queen තරඟාවලිය ජයග්‍රහණය කළා. ඒකත් කලාවට සම්බන්ධ වෙන්න හේතුවක් වුණා.
දායක වෙලා තිබෙන නිර්මාණ මොනවාද?
මේ වෙද්දි නිරාවරණය ටෙලි නාට්‍ය ඇතුළුව නාට්‍ය තුනකට පමණ සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව වෙළඳ දැන්වීම්, ෆොටෝෂූට් ඇතුළු නිර්මාණ රැසකටම දායක වුණා. ගොඩක්ම ආරධනා ලැබෙන්නේ බ්‍රයිඩ්ල් ෂූට් වලටයි. මම මුලින්ම සම්බන්ධ වුණු නාට්‍ය තවම විකාශය වුණේ නැහැ. මේ දවස්වලත් අළුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා තියෙනවා.
දශකයට අධික කාලයක් ක්ෂේත්රයේ රැඳී සිටිනවා. කොහොමද මේ කාලේදී ලැබුණු අත්දැකීම්?
ඇත්දැකීම් බොහොමයි. විශේෂයෙන් ක්ෂේත්රයේ අතිදක්ෂ ප්‍රවීණයන් සමග වැඩ කරන්න ලැබුණා. මම ඉතා හෙමින් ගමනක් තමයි ආවේ. නමුත් ඒ ආපු හෙමින් ගමනේ මම ගොඩක් දුර ඇවිත් තියෙනවා. මට කවුරු සමගවත් තරඟයක් නැහැ. මට ලැබෙන නිර්මාණවලට උපරිම සාධාරණය කරන්න මම ඉගෙනගෙන තිබෙනවා.
තවමත් අවස්ථාවක් උදා නොවුණු රඟපාන්න ආස චරිතයක් තියෙනවාද?
අපි රංගන ශිල්පිනියෝ විදිහට අපිට චරිත තෝරාගන්න බැහැ. නමුත් ලැබෙන හැම චරිතයක්ම බාර ගන්නවා කියන්නත් බැහැ. සාධාරණයක් කළ හැකි චරිත තමයි හැමවිටම බාර ගත යුත්තේ. අපි ආසා, අපි බලාපොරොත්තු වන චරිත රඟපාන්න ලැබෙනවා අඩුයි. නමුත් ලැබෙන චරිතය ආසාවෙන් කරනවා.
ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?
මට ඇඳුම් ව්‍යාපාරයක් තිබෙනවා. එහි වැඩකටයුතු දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා. මගේ කලා කටයුතු අත් හරින්න බලාපොරොත්තුවක් නම් නැහැ. කලාවේ දිගටම රැඳිලා පුළුවන් කාලයක් වැඩ කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
කලාවට එකතු වුණු මුල් කාලේදී ගෙදරින් බලපෑමක් ඇති වුණේ නැද්ද?
ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා. එහෙම ලොකු අකැමත්තක් තිබුණේ නැහැ. ගෙදර අය හැමෝම හිතුවා මම කවදාහරි කලාවට එකතු වෙයි කියලා. මොකද මම පොඩි කාලේ ඉඳලා දැකපු හීනයක් ඒක. ඒ නිසා ඒ හීනයට ගෙදරින් ලොකු සහයක් ලැබුණා.
අද ඉන්න තත්වය ගැන මොකද හිතෙන්නේ?
මම ලොකු හීන පස්සේ දුවන කෙනෙක් නෙවෙයි. මේ දිගු කාලේදි මම ආපු දුර ගැන සෑහෙන්න සතුටුයි. මට ලැබුණු හැම චරිතයකටම මට උපරිම සාධාරණයක් කරන්න ලැබුණා.
විශේෂයෙන් මතක් කරන්න ඕනේ කවුද?
මම තනියෙන් ආපු ගමනක් නෙවෙයි මේ. මගේ පවුලේ අය, මගේ ගුරුවරු, මගේ හිතවතුන්, ප්‍රවීණ ශිල්පියෝ හැමෝවම ආදරයෙන් මතක් කරනවා. නම් වශයෙන් කිව්වොත් ලොකු පිරිසක් ඉන්නවා. ඒ හැමෝටම මම ස්තූතියි කරනවා.
කැළුම් දේවින්ද