මට ඕන ජනප්‍රිය නිළියක් වෙන්න නෙමෙයි, චරිතාංග නිළියක් වෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-30-ent-33

නව පරපුරේ නිරූපණ ශිල්පිනියක මෙන්ම ජනප්‍රිය නිළියකද වන රිතූ ආකර්ෂා මේ දිනවල පුංචි තිරයේ නිතරම දැකගත හැකි තැනැත්තියකි. රියැලිටි වේදිකාව තුළද සිය දක්‍ෂතා දක්වන ඇය සිය ඉදිරි කලාකටයුතු පිළිබඳ කතාබහ කිරීමට මෙලෙස මෙවර ‘සාරවිට’ තරු කතාබහට එක්විය.

 

කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

ටෙලිනාට්‍ය කිහිපයක වැඩකටයුතු කරනවා. ඊට අමතරව රියැලිටි වැඩසටහනක් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරනවා.2018-07-30-ent-36

 

රියැලිටි වැඩසටහන් සඳහා එතරම් කැමැත්තක් තිබුණේ නැහැ නේද?

ඔව්. මම කලින් කියලා තිබුණා රියැලිටි වැඩසටහන් සඳහා දායක වෙන්නේ නැහැ කියලා. නමුත් පළමුවැනි වතාවට දායක වුණා. ඉතිං මේකට සහභාගි වුණාම තමයි දැන ගත්තේ ලංකාවේ ඉන්න නළු නිළියෝ කොච්චර දක්‍ෂද කියන දේ. හැමෝටම රඟපාන්න විතරක් නෙමෙයි සින්දු කියන්න, නටන්නත් පුළුවන්. හැමදාම ෂූටින් ගිහිල්ලා ගෙදර එනවාට වඩා වෙනස්ම අත්දැකීමක් ලැබෙනවා. ප්‍රේක්‍ෂකයන් අපේ නොදැක්ක පැත්තක් දකිනවා. වෙනසකට කියලා තමයි දායක වුණේ. සමහර විට මේ දේ මගේ අන්තිම රියැලිටි වැඩසටහන වෙයි.

 

වර්තමානයේ ටෙලි නිර්මාණ නිෂ්පාදනය කටයුතු කොපමණ වුවත්, එය කරළියට ඒමට බොහෝ කාලයක් ගත වෙනවා නේද?

අනිවාර්යයෙන්ම. ටෙලි නිර්මාණ එළිදැක්වීම ඉතාමත් අඩුයි. ලංකාවේ මිනිස්සු බලන හොඳම වෙලාවල විකාශය වෙන්නේ ලංකාවේ ටෙලිනාට්‍යය නෙමෙයි ඉන්දියානු ටෙලිනාට්‍යය. ලංකාවේ ඉන්න දක්‍ෂ කලාකරුවන්ගේ දක්‍ෂකම යටගැහිලා යනවා සහ ටෙලිනාට්‍ය කලාවේ අවසානයද කියලත් හිතෙනවා. ඉන්දියානු ටෙලිනාට්‍ය බලලා ලංකාවේ ටෙලිනාට්‍ය එක්ක සසඳන්න බලනවා. ඉන්දියාවේ තියෙන පහසුකම් සහ සම්පත් ලංකාවේ නැහැ. ලංකාවේ තියෙන දේවල්වලින් තමයි අධ්‍යක්‍ෂවරු උපරිම ප්‍රයෝජන ගන්නේ. එතකොට ලංකාවේ ටෙලිනාට්‍ය කර්මාන්තය කඩාවැටීමක් කියන දේ ඇස්පනාපිට දැක ගන්න පුළුවන්.

 

එවැනි තත්ත්වයන් නිසා වෘත්තීමය මට්ටමේ මේ ක්‍ෂේත්‍රය තුළ නියැළෙන්න විශාල අසාධාරණයක් සිදු වෙනවා නේද?

අසාධාරණයක් වෙනවා. මේ සඳහා ඉහළ බලධාරීන් බලලා විසඳුමක් ලබා දෙන්න ඕන. මම හිතන්නේ අපේ කලාකරුවන් මේ කාරණාව පිළිබඳ කියන්න ඕන හැම තැනටම මේ ගැන කියලා තියෙන්නෙ. දැනුවත් කරන්න ඕන හැම කෙනාවම දැනුවත් කරලා තියෙන්නේ. ඉතිං ඒ වෙනුවෙන් දෙයක් කරයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් ඉතිං කුමක් හෝ වුණත් අපි කරන රස්සාව මේක. රංගනය කියන දේ අපි තෝරගෙන ඉවරයි. එතැනින් එහාට වෙන දෙයක් කරන්න බැහැ. ඉතිං අපට පුළුවන් ප්‍රමාණයට අපේ වැඩකටයුතුවලට සහයෝගය දෙනවා.

 

වෘත්තීමය මට්ටමේ තිබෙන රංගන විෂය පිළිබඳ හරියාකාරව ඉගෙන ගැනීමට අවශ්‍ය පසුබිම අද උදා වෙලා තියෙනවාද?

රංගන පිළිබඳ හදාරන්න, වොයිස් ට්‍රේනින් කරන්න අද හොඳ තැනක් තියෙනවා. නමුත් මෙගා ටෙලිනාට්‍ය එක්ක අලුතින් එන රංගන ශිල්පිනියන්ට සෙට් එක තුළදී හැදෙන්න අවස්ථාව නැහැ. ඉස්සර නම් අධ්‍යක්‍ෂවරයෙක් රංගන ශිල්පියාගෙන් හෝ ශිල්පිනියගෙන් උපරිම දේ ගන්නවා. ඔහුව සෙට් එක තුළ හදනවා. දැන් මෙගා ටෙලිනාට්‍ය එක්ක රූගත කිරීම් තුළ රංගන ශිල්පියාව හදන්න අමාරුයි. ඒ නිසා රංගාභිෂේක පන්ති තියෙනවා. ඒ වගේ දේවල්වලට ගිහින් ඒ පිළිබඳ හදාරනවා නම් හොඳයි. වේදිකාව කියන්නේ රංගනය හදාරන්න පුළුවන් හොඳ තැනක්.

 

මේ මෙගා ටෙලිනාට්‍ය රැල්ල නිසා නළු නිළියන්ව එක තැන ‘පල්’ කිරීමක් සිදු වෙන්නේ නැද්ද?

එහෙම සිදු වෙනවා කියන්නේ එකම චරිතය තුළ ඒ කෙනාව ගොඩක් කල් දකින නිසයි. මිනිස්සු ඉල්ලන දේ තමයි මේ ටෙලිනාට්‍ය කර්මාන්තය දෙන්නේ. මේ දවස්වල යන මොකක්ද රැල්ල, ඒ රැල්ලට හැමෝම නාට්‍යය හදන එකයි කරන්නේ. අපි එකම දේ පෙන්නුවොත් රසිකයන් එකම දෙයට කොටු වෙනවා. අලුත් නිර්මාණ කරනවා නම් ගොඩක් දක්‍ෂ නළුනිළියන් ඉන්නවා. ඒගොල්ලන්ගේ දේවල් එළියට ගන්න පුළුවන්. අලුත් දක්‍ෂ අධ්‍යක්‍ෂවරු ඉන්නවා. ඒ අයගේ හැකියාවන් එළියට ගන්න පුළුවන්. මං හිතනවා අලුත් දේවල් වුණා නම්, අලුත් අධ්‍යක්‍ෂවරු බිහි වුණා නම්, අලුත් තිර රචකයන් බිහිවුණා නම්, හැමදේම ක්‍රියේටිව් වුණා නම් හොඳ ගමනක් යන්න පුළුවන් කියලා.

 

ඔබත් මෙගා රැල්ලේ කෙනෙක් නේද?

මමත් මෙගා රැල්ලට අහුවුණු කෙනෙක් තමයි. කරන්න දෙයක් නැහැ. අනිත් දේවල් බලාගෙන හිටියොත් අපට රඟපාන්න වෙන්නේ නැහැ. මෙගා නාට්‍යවලට වැරැද්දක් කියනවා නෙමෙයි. මෙගා නාට්‍ය හොඳයි මිනිස්සු අතරට යන්න. නමුත් කරන දේ ලස්සන කතාවක්, මිනිස්සුන්ට ආදර්ශයක් වෙන දෙයක්, මිනිස්සුන්ට බලන්න ආස හිතෙන දෙයක් වුණා නම් තමයි හොඳයි කියලා මම හිතන්නෙ.

 

අද බොහෝ දෙනා රංගනය ක්‍ෂේත්‍රයට එකතු වෙන්නේ මේ ක්‍ෂේත්‍රය පහසු නිසාද?

රංගනය කියන්නේ හැමෝටම කරන්න බැරි දෙයක්. එක්කෝ මේ හැකියාව උප්පත්තියෙන් එන්න ඕන. නැත්නම් පොඩි කාලයේ ඉඳන්ම ඒ පිළිබඳ හැදෑරීමක් කරන්න ඕන නැහැ. කලාවේ විතරක් නෙමෙයි ඕනෑම ක්‍ෂේත්‍රයක හෝ වෘත්තීයක ඒකට ආවේණික දේවල් තියෙනවා. එක්කෝ ඒ දේවල් හදාරන්න ඕන, නැත්නම් උප්පත්තියෙන් එන්න ඕන. නිරූපණය ක්‍ෂේත්‍රය හෝ රංගන ශිල්පිනියක් වෙන්න ගොඩක් අමාරුයි. ෆොටෝ ෂූට් එකකට හෝ මියුසික් වීඩියෝවකට සහභාගි වූ නිසාම සමහරු හිතනවා ජනප්‍රිය රංගන ශිල්පිනියක් කියලා. එහෙම වෙන්න බෑ. බොහොම අමාරුවෙන් තමයි මේ ක්‍ෂේත්‍රය තුළ තැනකට එන්න වෙන්නෙ.

 

වර්තමානයේ කුමන හෝ නාළිකාවක කුමර කුමරියන් හෝ රූප රාජිනියන් තමයි අද ටෙලිනාට්‍යවල ප්‍රධාන චරිත වෙන්නෙ. ඒ දේ හොඳද?

මම හිතන්නේ හොඳයි කියලා. මොකද අලුත් ළමයි එන්න ඕන. අපිත් අලුතින් ආපු කට්ටිය දැන් කාලයක් ගිහින් වුණාට. අලුතින් දක්‍ෂ කට්ටිය එනවා නම් හොඳයි. වෙලා තියෙන්නේ රඟපාන්න බැරි අය, ටයිටල් එකක් හෝ රූප රාජිනියක් වුණාට එයාට දක්‍ෂතාව නැති නම් නිර්මාණ එකකින් දෙකකින් එයාව නැති වෙලා යනවා. කොහොම කෙනෙක් වුණත් රංගනය පිළිබඳ හැදෑරීමක් තියෙනවා නම්, හොඳ දැනීමක් තියෙනවා නම් ක්‍ෂේත්‍රයේ හොඳ තැනකට ඒ කෙනාට එන්න පුළුවන්. රංගනය කියන්නේ අමාරු විෂයක් වගේම අමාරු ක්‍ෂේත්‍රයක්. ඒ රඳා පැවැතීමද මාර අමාරුයි. අපට හොඳ උදාහරණ මෑත කාලයේදී තිබුණා. ගොඩාක් අය ආවා. අද වෙද්දි ඒ එක්කෙනෙක්වත් අද නැහැ.

 

අද කලාකරුවන් බොහෝ දෙනෙක් අමතර ව්‍යාපාරවල යෙදෙන්නේ ඇයි? කලාකරුවන්ට රංගනය ක්‍ෂේත්‍රය මත යැපෙන්න අමාරුද?

ක්‍ෂේත්‍රය තුළ ව්‍යාපාරයක් ඕන කියන දේ එක එක්කෙනාගේ මතය වෙන්න පුළුවන්. මොකද රංගනයේදී අපට තියෙන මාර්කට් එක හැමදාම තියා ගන්න බැහැ. මම දන්නේ නැහැ මට තව කොච්චර දවසක් නාට්‍ය ලැබෙයිද, කොච්චර කාලයක් මේ ක්‍ෂේත්‍රය තුළ ඉන්න ලැබෙයිද කියන කාරණාව. ඒ නිසා වෙනම ආදායම් මාර්ගයක් තියාගන්න එක හොඳයි. රංගන ක්‍ෂේත්‍රය තුළ විතරක් නෙමෙයි අද කාලේ අනෙකුත් ක්‍ෂේත්‍රවල අයත් අමතර ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ දේ කොහොමටත් හොඳයි කියලා හැමෝම දන්න දෙයක්.

 

රිතූට ලැබෙන චරිත හැම දේම බාර ගන්නවාද? එහෙමත් නැතිනම් තෝරාබේරා ගෙනද චරිත සඳහා කැමැත්ත දෙන්නේ?

මම චරිත තෝරාබේරා ගැනීමක් කරනවා. ඒ වගේම තිර රචකයා සහ අධ්‍යක්‍ෂවරයා කවුද කියලා අනිවාර්යයෙන්ම බලනවා.

 

කොහොම මේ දේවල් සඳහා ගෙදරින් ලැබෙන සහයෝගය?

ගෙදරින් ලොකු සහයෝගයක් දක්වනවා. මොකද ඇතැම් වෙලාවට මම කම්මැලි කිව්වාම තාත්තා තමයි කියන්නේ ‘කරන්න පුළුවන් කාලේදී කරන්න, හැමදාම ඔය දේවල් තියෙන්නේ නෑ’ කියලා. මම කරන නාට්‍යවල හරි වැරදි ගැන හැමදේම මට කියන්නේ ගෙදරින් තමයි. ඉතිං මගේ කාර්යබහුලත්වයත් එක්ක මට ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

රංගන ක්‍ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. මම හැමදාමත් කියනවා වගේ මට ඕන ජනප්‍රිය නිළියක් වෙන්න නෙමෙයි, චරිතාංග නිළියක් වෙන්න. මගේ පෞද්ගලික ජීවිතේ එක්ක ගෙදර සමග සතුටින් ජීවත් වෙන්න සහ ක්‍ෂේත්‍රයේ හොඳ නිර්මාණවලට දායක වෙන්න තමයි මගේ බලාපොරොත්තුව.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

 2018-07-30-ent-34 2018-07-30-ent-35