මට ඒ ගොසිප් එක හැදුණේ ලංකාවේ හිටපු ජනාධිපති කෙනෙක්ව සම්බන්ධ කරලා
පසුගිය කාලය තුළ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ බොහෝ කතාබහට ලක්වූ චරිතයක් ලෙස අයේෂා මධුෂානි හැඳින්විය හැකිය. මේ දිනවල පුංචි තිරය ඔස්සේ දැකගත හැකිය ඇය, සිය ඉදිරි කටයුතු පිළිබඳ කතාබහ කිරීමට මෙලෙස 'අද'ට සම්බන්ධ වූවාය.
කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල මම සුපුරුදු විදියට මගේ ඩාන්සින් ගෲප් එකේ වැඩ කරගෙන යනවා. එතකොට මගේ ටෙලිනාට්‍යය 02ක් මේ දවස්වල විකාශය වෙනවා. ඒ අයි.ටී.එන්. එකේ විකාශය වන ශාන්ත සොයිසාගේ 'පිණි' නාට්‍යය සහ ස්වර්ණවාහිනියේ විකාශය වන ටී. නන්දසේන මහත්මාගේ %සුදු අඟුරු^ ටෙලිනාට්‍යය. ඒ දෙකේ වැඩ තමයි ඉතින් මේ දවස්වල.
අයේෂා කලාවට එකතු වෙන්නෙ කොයි කාලේද?
මම කලාවට සම්බන්ධ වුණේ පාසල් කාලේදීම වගේ. නර්තන ශිල්පිනියක විදියට. මම ජනකලා කේන්ද්‍රයේ අවුරුදු ගාණක් හිටියා. ඊට පස්සේ මම 2009 දී කොළඹ ආවා. ඊට පස්සේ එතැනින් පටන් අරගෙන තමයි මේ වෙනකන් කලාවේ රැඳිලා ඉන්නේ. 2014 වසරේ මම සිරස 'ඩාන්සින් ස්ටාර්' වුණා. ඒ වෙනකොට මම ඇක්ටින් පැත්තට ඇවිල්ලා. පොඩිපොඩි වැඩ කරලා තිබුණා. මගේ පළමු වැනි නාට්‍ය සිරසේ 'සුරවිමන'. ඉතින් ඒ ගමන තමයි තවම යන්නේ.
ස්වර්ණවාහිනියේ විකාශය වුණු %දෙව්ලියේ^ ටෙලිනාට්‍යය හරහා නේද ඔබ ප්‍රේක්ෂකයන් අතරට ගියේ?
ඔව්. 2014 සිරස ඩාන්සින් ස්ටාර් එකෙන් පස්සේ මම ටිකක් කලාවෙන් ඈත්වෙලා හිටියේ. ඊට අවුරුදු 03කට පස්සේ තමයි මම %දෙව්ලියේ^ එකට සම්බන්ධ වෙන්නේ. %දෙව්ලියේ^ එකේ %ඇන්ඩ්‍රියා^ කියන චරිතය හරහා මාව ගොඩාක් ජනප්‍රිය වුණා. ඒකට මාව සම්බන්ධ කළේ මගේ හොඳ යාළුවෙක් පැතුම් කියලා. මම මේ වෙලාවේ එයාට ස්තුති කරනවා. මොකද ඒක ලොකු චරිතයක්. දෙව්ලියේ එකේ අවසාන කොටස්වලදි මම ප්‍රේක්ෂකයන්ට දැනෙන චරිතයක් වුණා. "දෙව්ලියේ" ටෙලිනාට්‍ය කළෙත් ටී. නන්දසේන මහත්මයා.
එතකොට දැන් නිරූපණය අත්හැරලාද?
මම 2011 දී රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණය හදාරලා නිරූපණට එන්නේ. නිරූපණ ක්ෂේත්රයේ ගොඩක් අංශ තියෙනවා නේ. මම පැජන්ට්වලට සහභාගි වුණේ නැහැ. මම බ්‍රයිඩ්ල්, ෆොටෝ ෂූට් තමයි කළේ. ඊට පස්සේ %මිස් ස්කූබා 2016^ එකට සහභාගි වුණා. ඒක වෙනස් පැජන්ට් එකක්. ඒක තමයි ලංකාවේ පළමුවැනි ජලාශ්‍රීත බියුටි පැජන්ට් එක. %මිස් ස්කූබා^ කියන්නේ වතුර ඇතුළේ ඩ්‍රයිවින් කරන ඒවා, වෙරළ ආරක්ෂක ක්‍රම වගේ දේවල් ඇතුළත් පැජන්ට් එකක්. ඒකේ මම පළමුවැනි ස්ථානය ජයග්‍රහණය කරනවා. මම මට යම් වාරණයන් ටිකක් පනවලා තිබුණේ. ඒ කියන්නේ කොට ඇඳුම්, බිකිණි වගේ දේවල් අඳින්නේ නැහැ කියලා. ඒක නිසා මම ගොඩක් පැජන්ට්වලට යන්න බය වුණා. ඒවා අඳින්න වෙයි කියලා. මොකද මට මගේ ගමත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. මට ගමේ අය ආදරෙයි. අදටත් මොනවා හරි උත්සවයක් තිබුණොත් මට කතා කරලා මාව ගෙන්න ගන්නවා. ඒ දේවල් නිසා මම ඒ පැත්ත ටිකක් අත්හැරලා තිබුණේ. ඒත් මම නිරූපණයෙන් අයින් වෙලා නැහැ. නිරූපණ ශිල්පිනියෝ දැන් යන විදියට මම ආසා නැහැ. අනික දැන් ලංකාවේ නිරූපණ ක්ෂේත්රයට මම ටිකක් අකැමැතියි. ඊට වඩා මම කැමැති මාව නර්තන ශිල්පිනියක් විදියට, හරි රංගන ශිල්පිනියක් විදියට හඳුන්වනවා නම්.
අයේෂා සිනමාවට ආසා නැද්ද?, සිනමාවට ආරාධනා ලැබෙන්නේ නැද්ද?
මට ආරාධනා ලැබුණා තිස්ස කාරියවසම් මහත්මයා කරපු "රාක්ෂා" කියලා. ඒක ටිකක් ගැමි චරිතයක්. ඒකට සම්බන්ධ වෙන්න හිටියා. මම ආසයි ලංකාවේ මිනිස්සු අතරට යන හොඳ චිත්‍රපටයකට දායක වෙන්න. හැමෝම කරන ජාතියේ ඒවා නෙවෙයි. මට තවම එහෙම එකකට අවස්ථාව ලැබුණේ නැහැ. ඒත් මම නර්තනයෙන් දායක වෙලා තියෙනවා "කුසපබා" ඇතුළු සම්මාන ලැබුණු චිත්‍රපට කිහිපයකට. මට රංගනයෙන් දායක වෙන්න පුළුවන් චිත්‍රපටයක් තවම ලැබුණේ නැහැ.
කාලයක් ඔබවත් සමාජ ජාල මාධ්‍යවල මාතෘකාවක් වුණා නේද?
මෙහෙමනේ. ඔය ගොසිප් කියන එක ව්‍යාප්ත වෙන්නේ දැනට අවුරුදු 03-04ක ඉඳලානේ. එතකන් මිනිස්සු අතරේ ගොසිප් කියලා පළකළේ හරි දේවල්. පස්සේ ඒ මිනිස්සුන්ගේ පබ්ලිසිටියට ගොසිප් කියන දේ හරවා ගත්තා. දැන් මියුසික් වීඩියෝ එකක් කළත් බොරුවක් දාලා ගොසිප් එකක් හදනවා. මොකද ඒ අර ආකර්ෂණය ගන්න. දැන් මම ගැන සයිට්වල තියෙන්නේ ගොඩක්ම බොරු දේවල්. සියයට සියයක් විශ්වාසයෙන් කියන්නේ මම ගැන ගොසිප් සයිට්වල තියෙන දේවල් බොරු. මට හදපු ගොසිප් එක ලංකාවේ හැමෝම දන්නවා. මාව අඳුනන්නේ නැති වුණාට ඒ ගොසිප් එක ගැන කිව්ව ගමන් දන්නවා. එදා ඒ කෙල්ලකුගේ ජීවිතයකට මඩ ප්‍රහාරයක් එල්ල කළේ. එදා මට ගොඩක් කලකිරුණා. ඇත්තටම මම ගොසිප් සයිට් ගැන හොයන්නෙත් නැහැ. මට වැඩකුත් නැහැ. හැබැයි මට පත්තරවලින් ගොඩක් උදව් කළා. එයාලා පළකළේ ඇත්ත දේවල්. ඒකට මම එයාලට ස්තුතිවන්ත වෙනවා.
මේ දේවල් ඔබේ රංගන කටයුතුවලදී මානසිකව බලපාන්නේ නැද්ද?
ඇත්තටම මට මානසික පීඩනයක් ඒ කාලේ ඇතිවුණා. මට ඒ ගොසිප් එක හැදුණේ ලංකාවේ හිටපු ජනාධිපති කෙනෙක්ව සම්බන්ධ කරලා. ඒකෙන් මට ගොඩක් කෝල්ස් එනවා, මට මඩ ගහනවා. ඒ කාලේම ආණ්ඩුවත් පෙරළුණා. ඒ වෙලාවේ මම ගොඩක් මානසිකව වැටුණා. මොකද මම කරපු නැති දෙයක්නේ. ඒ වෙලාවේ මගේ ළඟින් අම්මා හිටියා, යාළුවෝ හිටියා. එයාලා මට ශක්තියක් වුණා. මුල් කාලේදි නම් මාව රජයේ චැනල්වලින් ප්‍රතික්ෂේප වුණා. පස්සේ මිනිස්සුන්ට ඔය දේවල් අමතක වෙලා ගියා. ඊට පස්සේ වැඩිය කතාබහක් ඇති වුණේ නැහැ. හැබැයි දැන් ආයෙත් ඡන්දේ ළඟ නිසා කතා හැදෙනවා ගොසිප් සයිට්වල.
මේ දේවල් නිසා ගෙදරින් වාරණයක් ආවේ නැද්ද ක්ෂේත්රයෙන් අයින් වෙන්න කියලා?
පවුලේ වැඩිමහල් කෙනා මම. අපේ ගමෙන් මෙහෙම ගමනක් ආවේ එකම කෙනා මම. මම හරිම හිතුවක්කාරයි. ඒක නිසයි මෙහෙම ගමනක් ආවේ. මම ගොඩක් දේවල් කැපකළා මෙතනට එන්න.
මුල් කාලේ තාත්තා අකැමැති වුණා ඩාන්සින් කරනවාට. ඒත් මම ඩාන්සින් කළා. තාත්තා රඟපාන්න එපා කිව්වා. ඒත් මම රඟපෑවා. පස්සේ මාව එයාලා තේරුම් ගත්තා. අර හැදුණු බොරු ගොසිප් එක හැරෙන්න මගෙන් කිසි ප්‍රශ්නයක් අද වෙනතුරු පවුලටත් ගමටත් ඇතිවෙලා නැහැ. දැන් එයාලා කැමැතියි. දැන් ප්‍රශ්න නැහැ. හැබැයි එයාලා කැමති වුණේ මම ගුරුවරියක් වෙනවාට. මොකද මට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධියක් තියෙනවා. දැන් හැමෝම කැමැති මම මේ ආපු ගමනට.
ඉදිරි නිර්මාණ සහ ඉදිරි කටයුතු ගැන කතා කළොත්?
මම ආසයි මම ඉගෙන ගත් දේ ගමේ ළමයින්ට උගන්වන්න. ඒක එක ඉලක්කයක් මගේ. මම දැන් පන්ති පටන් ගන්නවා කුරුණෑගල සහ කොළඹ. මට ආරාධනා ලැබිලා තියෙනවා ෆිල්ම් කිහිපයකට. ඒවට තවම උත්තරයක් දුන්නේ නැහැ. මොකද මම තවම අධ්‍යාපනය හදාරනවා. මම කැලණිය කැම්පස් එකේ එම්.ඒ. එක කරනවා. තව මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා මේ අවුරුද්දේ. ඒවා තමයි ඉදිරි වැඩකටයුතු.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද