මගේම ගීතයක් මේ වසරේදි අහන්න පුළුවන්
ස්වාධින රූපවාහිනියේ විකාශය වෙන ‘ට්‍රැවල් ගර්ල්’ වැඩසටහන හරහා ජනප්‍රිය වී ඇති නර්මදා ජයමහ ප්‍රේක්ෂකයන් අතර වඩාත් කතාබහට ලක්ව ඇත්තේ රංගන ශිල්පිනියක් හා ගායිකාවක් ලෙසය. උදා වෙන 2021 වසරේ විවිධ කලා නිර්මාණ රැසකින් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණිමට සූදානමින් සිටින නර්මදා ඒ පිළිබඳව ‘සාරවිට’ අපිට පැවසුවේ මෙසේය.
‘ට්‍රැවල් ගර්ල්’ වැඩසටහන හරහා වර්තමානයේ බොහෝ දෙනෙකු දන්නා හඳුනන චරිතයක් බවට ඔබ පත් වෙලා තියෙනවා?
ඇත්තටම, ඔව්, ‘ට්‍රැවල් ගර්ල්’ සංචාරක වැඩසටහන දැනට කොටස් 50කට වඩා වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. බොහෝ පිරිසක් ඉතාමත් කැමැත්තෙන් හා ආසාවෙන් නරඹපු රූපවාහිනි වැඩසටහන් බවට ‘ට්‍රැවල් ගර්ල්’ අද වෙන කොට පත් වෙලා තියෙනවා. රසික ප්‍රතිචාරත් මේ වැඩසටහනට ඉහළින්ම අද වෙන කොට ලැබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන ලංකාවෙන් පිටත විදෙස් රටවල තියෙන සුන්දර ස්ථාන ගැනත් ඉදිරියේදී කතා කරන්න. ඒ වගේම ලංකාවේ දැනට සංචාරකයෝ නොදුටු තැන් රාශියක් පිළිබඳවත් මේ වැඩසටහන තුළින් ප්‍රේක්ෂකයන්ට ගෙන එන්න සූදානමින් අපි ඉන්නවා.
නව වසරේදී ඔබ රංගන ශිල්පිනියක් විදිහටත් අපිට ආයෙත් දකින්න පුළුවන්ද?
2020 වසරේ අන්තිමට පටන් ගත්තා ස්වාධින රූපවහිනියේ මහ පොළව කියලා අලුත් ටෙලි නාට්‍යයක්. නමුත්, මා පෙනී සිටින කොටස් විකාශය වෙන්නේ 2021 වසරේ ජනවාරි, පෙබරවාරි හා මාර්තු කියන මාසවල. මහ පොළව ටෙලි නාට්‍යයේ මාව දකින්න පුළුවන් වෙනස්ම චරිතයකින්. ගමේ කැලේ හැදෙන වැද්දෙක් වගේ කෙල්ලෙක් විදිහට තමයි මම මේ නාට්‍යයේ රඟපාන්නේ. ඇත්තටම මේ චරිතය මට ගොඩක් අභියෝගාත්මක චරිතයක් වුණා. මොකද මම මීට කළින් මෙහෙම චරිතයක් කරලා නැති හින්දා. මම හිතනවා මගේ රංගන දිවියේ මේ චරිතය විශාල වෙනසක් කරයි කියලා.
ගායිකාවක් විදිහට ඔබගේම කියලා ගීතයක් නිකුත් කරන්න සූදානමක් නැද්ද?
ගීතයක් දැනට මම කරලා තියෙනවා. එහි තව සුළු වැඩ ටිකක් ඉතුරුවෙලා තියෙනවා. 2021 වසරේ හොඳ කාලයක් එන කොට ඒ ගීතය එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි හිතනවා අපිට ලබන වසරේදිත් ‘කොරෝනා’ වසංගතයත් එක්කම තමා ජීවත් වෙන්න සිදුවෙන්නේ කියලා. නමුත්, මේ වසංගතය යම් තත්ත්වයකට පාලනය වුණාම මම මේ කරපු අලුත් ගීතය එළිදක්වන්න සුදානමින් ඉන්නවා.
ඔබගේ අධ්‍යාපන කටයුතුවල තත්ත්වය කොහොමද?
2021 වසරේදී කලා කටයුතුවලට වඩා මම වැඩිපුර අවධානයක් දෙන්න සූදානමින් ඉන්නේ මගේ අධ්‍යාපන කටයුතුවලට. මගේ උපාධිය සම්පුර්ණ කරන එකට තමයි ලබන වසරේ මගේ මුලිකම ඉලක්කය වෙලා තියෙන්නේ. ඒ වගේම දැනට මම විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. ඒ හැම අධ්‍යාපන කටයුත්තකටම ලබන වසරේදී මම වැඩිපුර අවධානයක් යොමු කරන්න සූදානමින් ඉන්නවා.
බුද්ධික සේනාධී