මගේම ආදරයක් ලැබෙනතෙක් බලා ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-01

හමීදුම්මා සුරූපී මුස්ලිම් කාන්තාවකි. තරුණ කාලයේ දී පැහැර ගැනීමකට ලක් වූ ඇයට ජීවිතය ගෙවීමට සිදුවන්නේ හිංසනයට ලක්වය. මානසික පීඩනයකට ද ලක්වෙමින් පරංගි වාඩිය තුළ දුක්ඛිත ජීවිතයක් ගත කරන්නට ඇයට සිදු වෙයි. මේ විදියට සුරූපී හමීදුම්මාගේ චරිතය අපට මුණ ගැහෙන්නේ මේ දිනවල තිරගත කෙරෙන මහාචාර්ය සුනිල් ආරියරත්නගේ විජයබා කොල්ලය චිත‍්‍රපටයේය. තමන්ගේ දිවි ගලවා ගෙන සිංහලයින්ට උදව් කිරීමේ අරමුණ ඇතිව ආත්මාර්තකාමීව ආදරයක පැටලෙන, ඇය අසංක සහ නයනානන්ද යන දෙදෙනාටම උදව් කරන වීර කාන්තාවකි. වීරත්වය මෙන්ම පෞරුෂත්වය ඇය උරුමකර ගත්තකි. මෙලෙසින් විජයබා කොල්ලයේ හමීදුම්මා වූ ඇය චුලක්ෂි රණතුංගය.2019-09-17-ent-03

 

චුලක්ෂි මේ චරිතයට සාපේක්ෂව සැබෑ ජීවිතය ගැන සැසඳීමක් කළොත්?

මාව තව කෙනෙක් පාලනය කරලා නැහැ. ඒත් හම්දුම්මාව පාලනය කරනවා. පාලනය වෙනවා. ඒ හැර ඇයගෙ චරිතයේ ඇති බොහෝ දේ මගේ ජීවිතයේත් තියෙන්න පුළුවනි. ජීවිතය ගෙවී යන්නේ හැල හැප්පීම් එක්කනෙ. තමන්ගෙ කර්ම ශක්තිය එක්ක ඵල විපාක විඳින්න වෙනවා. මගේ ජීවිතය මේ දක්වා හැලහැප්පීම් එක්ක යන්න ඇති. බොහෝ විට අප කාගේත් ජීවිතවල ස්වභාවය ඒ විදියයි. ජීවත්වන ලෝකය එක්ක අපි අපේ ජීවිත ඉදිරියට ගෙන යා යුතු වෙනවා. මේ චරිතයෙන් කාන්තාවක මුහුණදෙන හැලහැප්පීම් ස්වභාවය මා පෙන්නුම් කර ඇති වග කියන්න පුළුවනි. කාන්තාවක් ජීවිතයේ වරක් හෝ දෙවරක් යම් කිසි විදියකට වද හිංසාවන්ට ලක් වී ඇත්නම්. එයම ශක්තියක් කරගෙන ඇය නැගී සිටින්නේ ඇය සතු දැඩි ආත්ම ශක්තිය නිසයි. ඒ වගේම සියලූ පීඩනයන් හමුවේ දරා ගැනීමට ඇයට ඇති ශක්තිය නිසයි. දැඩි ආත්ම ශක්තියක් තියෙන නිසා තමයි ඇය මවක් වෙන්නෙත්. මම හිතන්නෙ බොහෝ කාන්තාවන්ට ඒ දරා ගැනීමේ ශක්තිය හමුවේ තිබෙන්නෙ හොඳ පෞරුෂයක්.

 

කොහොමද මේ චරිතයට ලැබෙන ප‍්‍රතිචාර?

බොහෝම හොඳයි. බොහෝ දෙනාගෙන් ලැබෙන ප‍්‍රතිචාර හරිම ඉහළයි. ඒ වගේම කලා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින්ගෙන් ලැබෙන ප‍්‍රතිචාරත් හරි හොඳයි. අපි කවුරුත් ආදරය කරන මහාචාර්ය සුනිල් ආරියරත්න ශූරීන්ගේ නිර්මාණයකට දායක වීමට ලැබීම ඉතා ගෞරවයක්.

 

මේ චරිතයෙන් හමුවන චුලක්ෂිගෙ රංගන ජීවිතයේ අලූත් විස්තර කිව්වොත්?

මේ දිනවල ප‍්‍රවීන සිනමාකරු ජයන්ත චන්ද්‍රසිරිගෙ ‘‘මිදුණු විශ්වය’’ චිත‍්‍රපටයේ රූගතකිරීම්වලට දායක වෙනවා. ඊට අමතරව සනත් අබේසේකරයන්ගෙ ‘‘ගුත්තිල’’ චිත‍්‍රපටයේ ගීතමය ජවනිකා සඳහා රූගත කිරීම්වලට දායක වුණා.

 

චුලක්ෂි මේ දක්වා චිත‍්‍රපට කීයකට දායක වී තිබෙනවද?

මුලින්ම රඟපෑවේ ප‍්‍රියන්ත කොළඹගේ මහතාගේ දේදුණු ආකාසේ චිත‍්‍රපටයේ. ඉන්පසුව විජයබා කොල්ලය. උදයකාන්ත මහතාගේ ගින්දරි 2, මොහාන් නියාස් මහතාගේ ශ්‍රී වික‍්‍රම චිත‍්‍රපටවලට දායක වුණා. මේ දක්වා චිත‍්‍රපට පහකට විතර දායක වෙලා තියෙනවා. එයින් දේදුණු ආකාසේ තිරගත වුණා. විජයබා කොල්ලය මේ දිනවල තිරගත වෙනවා.

 

ඇයි ටෙලි නාට්‍යවලට දායක නොවන්නෙ?

විශේෂ වූ අවස්ථාවක් නම් දායක වෙනවා. එහිදී සුවිශේෂ වූ චරිතයක් නම් අනිවාර්යයෙන්ම එය බාර ගන්නවා. එවැනි විශේෂ අවස්ථා ලැබිලා නැහැ.

 

සුවිශේෂි චරිත ලෙස ඔබ හඳුන්වන්නෙ?

ඒක එහෙම සරලව කියන්න බැහැ. මම ක්ෂේත‍්‍රයට ආවේ ශ්‍රී ලංකා රූ රැුජින කිරුළ හිමිකර ගෙන. ඉන්පසුව රූ රැුජිනකට අමතරව මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කරනවා. බොහෝ අය හිතන්නෙ මට තියෙන්නෙ ඉන්දියානු ස්වරූපයක් කියලයි. ඒ වගේම බොහෝ නිර්මාණකරුවන් හිතන්නෙ මාව වඩා ගැළපෙන්නෙ සිනමා තිරයට කියලයි. සිනමාවට මම අලූත් වුණත්. මම ලස්සනයි කියන දේට එහා වූ රූපණයෙන් මා කරන සාධාරණය කෙතරම් දුරට සාධාරණ ද කියන තැනට එන්නයි මට ඕනෑ කරන්නෙ. බටහිර තාලයේ වේවා, බොලිවුඞ් තාලයේ වේවා, මගේ ස්වරූපය කෙසේ වෙතත්, එක් ස්වරූපයක චරිතයකට විතරක් කොටු වෙන්න කැමති නැහැ. ඒ සීමාව කඩාගෙන රූපණයට සාධාරණයක් කරන්න මම සූදානම්. සරලවම කිව්වොත් ඕනෑම විදියක දැනෙන චරිතයක් රඟපාන්න මම කැමතියි.

 

ඒ කිව්වෙ?

කලාව වෙතින් ජනතාවට අපි ලබා දෙන්නෙ වින්දනීය අත්දැකීමක්. ඒ වින්දනීය අත්දැකීම එක්ක සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවනි. එය විවිධාකාරයෙන් අපට ප‍්‍රකාශ කළ හැකියි. ජනතාවට මෙන්ම පුද්ගලිකව මටත් විඳින්න පුළුවන් චරිතයක් නම්, රූපණයෙන ඒ දේ කරන්න මම සූදානම්.

 

අද වැඩිපුර දායක වෙන්නෙ රංගනයටද? නිරූපණයටද?

නිරූපණයට ආ දා සිටම මම තෝරා බේරාගෙන ඒ අවස්ථාවට දායක වුණේ. සෑම දෙයකම ගුණාත්මක බව ගැන හිතලයි ඒ වැඬේ බාර ගන්නෙ. චිත‍්‍රපටයක් බාර ගත්තත්. එය මාසයක් ඇතුළත දී රූගත කිරීම් වෙනවා නම්, ඒ කාලයේ දී මගේ පූර්ණ දායකත්වය ලබා දෙන්නෙ එයට විතරයි.

 

විජයබා කොල්ලයේ චරිතයකට ආරාධනා ලැබුණාම මොන වගේ හැඟීමක් ද ඇති වුණේ?

මහාචාර්යතුමා කියන්නෙ අත්දැකීම් බහුල සිනමාකරුවෙක්. ලාංකීය සමාජයේ සහ කලාව ඇතුළේ එතුමාට තියෙන්නෙ ලොකු ගෞරවයක්. එවැනි දැවැන්ත චරිතයක් විසින් අධ්‍යක්ෂණය කරන නිර්මාණයක රඟපෑමට ලැබීම නිසා ඇත්තටම ලොකු සතුටක් මට ඇති වුණේ.

 

චුලක්ෂිගේ මේ විදයට යන ගමන කලාවට විතරක් සීමා වේවිද?

දැනට මම බාර ගන්න මේ නිර්මාණවල වැඩ ටික ඉවර කළාම එදා ඉදලා මගේ කැමැත්ත තිබූ ව්‍යාපාරික අංශයට මම පෙළැඹේවි. මගේ අරමුණ ව්‍යවසායකත්වයේ කාන්තාවක වීමටයි. දැන් ඊට කාලය සහ මනස යෙදවීමට සුදුසු අවකාශය ඇවිත්.

 

මේ සියල්ල අතරේ ආදරය විවාහය ගැන දැනෙන විදිය කොහොමද?

මේ වෙද්දී ඒ ගැන බලාපොරොත්තු තියෙනවා. කොහොමටත් මම පවුලට දරුවන්ට ආදරේ සහ කැමති කෙනෙක්. මවක වීම මම ආසා කරන දෙයක්. එක ලොකු ගෞරවණීය දෙයක්. ආදරයේ දී විවාහයේ දී මටත් අරමුණක් තියෙනවා. හිමිකරුවා හමුවුණාම එය තීරණය වේවි. මගේම කියලා ආදරයක් ලැබෙන කල් බලාගෙන ඉන්නවා. ඒකට හදිසියක් නැහැ.

 

හැඩගැන්වීම් - හරූන් ෂයිඞීන්

සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ

 

 2019-09-17-ent-02