මගේ සහකරුවා කඩවසම් කෙනෙක් විය යුතුයි
කාලයක සිට ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ නිත්‍ය සමාජිකාවක් ලෙස කටයුතු කරන ප්රවිණා පෙරේරා සමගින් අපි මෙවර තරු කතා බහට මුල පිරුවෙමු. 'ෆුට්බෝල් ප්රවිණා' යන අන්වර්ථ නාමයෙන් වර්තමානයේ හඳුන්වන ඇය ශ්‍රී ලංකා කාන්තා පාපන්දු වාර්තා රැසකටද හිමිකම් කියන්නීයක්ද වෙයි.
ඔබ පාපන්දු ක්‍රීඩිකාවක් නොවුණා නම් මොන වගේ වෘත්තියක් තෝර ගනියිද?
ක්‍රීඩිකාවක් නොවුණා නම් මම බොහෝදුරට ගුරුවරියක් වෙයි. මොකද, පොඩි කාලේ ඉඳලාම මගේ ලොකුම ආසාව තිබුණේ ගුරුවරියක් වෙන්න. ක්‍රීඩාවෙන් දස්කම්පාන කොට මට හිතුණා මට ගුරුවරියක් වෙනවට වඩා ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා. ගුරුවරියක් වෙන හීනය හිතෙන් අත්ඇරලා ක්‍රීඩාවට මුළුමණින්ම ඊට පස්සේ මම අවධානය යොමු කළා.
ඇයි ඔබ ක්‍රීඩිකාවක් විදිහට පාපන්දු ක්‍රීඩාවම තෝර ගත්තේ?
හොඳ ප්‍රශ්නයක්. මොකද. පොඩි කාළේ ඉඳලාම මම ගොඩක් ක්‍රීඩා ඉසව් කරලා තියෙනවා. හැබැයි මම මුලින් කළේ පාපන්දු ක්‍රීඩාව. ඒ ක්‍රීඩාව කරගෙන යන කොට මලල ක්‍රීඩා, වොලිබෝල්, නේට්බෝල්, එල්ලේ හා ක්‍රිකට් ඒ වගේ ක්‍රීඩා කළා. නමුත්, ගොඩක් අය මගේ දක්ෂතාවය දැක්කේ පාපන්දු ක්‍රීඩාව තුළින්. ඒ අය කිව්වා ක්‍රීඩාවක් විදිහට මේක කරගෙන යන්න ඔයාට ජාත්‍යන්තර මට්ටම තෙක් මේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා. අන්න ඒ නිසයි මම පාපන්දු ක්‍රීඩාවම තෝර ගත්තේ.
ගැණු ළමුන් රුව ගැන ගොඩක් හිතනවානේ. ක්‍රීඩිකාවක් විදිහට ඔබත් ඒ ගැන සැළකිළිමත් වෙනවද?
ඇත්තටම රුව ගැන හිතන්න මට වෙලාවක් නැහැ. මම පොඩි කාලේ ඉඳලාම හෙවණේ ඉන්නවාට වඩා හිටියේ අව්වේ. මොකද, උදේ හවස හැම දවසකම වගේ පුහුණුවිම් කරනවා. පාපන්දු ක්‍රීඩාව විතරක් නෙමෙයි මම ගොඩක් ක්‍රීඩා ඉසව් කළා. ඉතින් හැම වෙලාවේම හිටියේ අව්වේ ග්‍රවුන්ඩ්වල. ඉතින් මම ගොඩක් වෙලාවට මගේ රුව ගැන හිතුවේ නැහැ අව්වට කළු වෙන නිසා. හැබැයි වාසනාවට මට විශේෂිත රුවක් දීලා තියෙනවා. ඒ ගැන ඉතින් සතුටුයි මට.
රූමත් ක්‍රීඩිකාවක් නිසා ඔබව කණ්ඩායම්වලට තෝරගනිද්දි විශේෂ අවධානයක් යොමු වෙනවා ඇති නේද?
නැහැ මම එහෙම හිතන්නේ නැහැ. මොකද, රුව නිසා එවැනි දේවල් සිදුවෙන්නේ නිරූපණ, රංගනය කියන ක්ෂේත්රවල. ක්‍රීඩාවට රුව කියන දේ ගොඩක් දුරට බලපාන්නේ නැහැ. මොකද, දක්ෂතාවය තමයි තිරණය කරන්නේ කණ්ඩායමකට ඇතුළත් කරනවද නැද්ද කියන දේ.
තරුණ පිරිසගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
මේ වෙද්දි ගොඩක් දෙනෙක් මට ආදරේයි. ගොඩ දෙනෙක් මාව දැන් %ෆුට්බෝල් ප්රවිණා^ කිව්වාම අඳුනනවා. නමුත්, මම ක්‍රීඩා කරනවා ගොඩ දෙනෙක් දැකලා නැහැ. මොකද, ලංකාවේ පාපන්දු තරග පැවැත්වෙනවා අඩු නිසා. ඒත්, ගොඩ දෙනෙක් මා ක්‍රීඩා කරන හා මා පෙනී ඉන්න විඩියෝ බලලා තියෙනවා. ඒ අය 'ෆේස්බුක්' හා 'ඉන්ටර්ග්‍රැම්ස්' හරහා මට සුබපතනවා. ඒ දේවල් බලද්දි මටත් හිතෙනවා මට ගොඩ දෙනෙක් ආදරේ කරනවා කියලා.
අකාර්ශණියක් රුවක් ඔබට තියෙනවා. ආදර යෝජනා එහෙමත් ඔබට වැඩිපුර ලැබෙනවා ඇති නේද?
ඔව් ගොඩක් දෙනෙක් අහනවා. කොහොමත් ඉතින් ගැණු ළමයින්ගෙන් පිරිම් ළමයි ඕක අහනවා නේ. මගෙනුත් ඉතින් ගොඩ දෙනෙක් කැමැත්ත අහනවා.
වැඩිපුර ආදර යෝජනා ලැබෙන්නේ තරුණයන්ගෙන්ද? එහෙමත් නැත්නම් තරුණියන්ගෙන්ද?
ගොඩක් ආදර යෝජනා ලැබෙන්නේ තරුණයන්ගෙන්. තරුණියන්ගෙන් කියන්නේ ඒ ගොල්ලෝ මට ආදරේ කරන්නේ වෙනත් විදිහකට නෙමෙයි. මට දැනෙන විදිහට එයාලාගේ නංගි කෙනෙක් අක්කා කෙනෙක් විදිහට. ඒ ඇරුණාම ඉතින් මට වෙන විදිහකට ගැණු ළමයි නම් ආදරේ කරන්නේ නැහැ.
සහකරුවෙක් තෝරගන්නවා නම් ඔබ කැමති මොන වගේ කෙනෙක්ටද?
මම හොයන්නේ හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ඒ වගේම එයා කඩවසම් වෙන්නත් ඕනා. අනිත් එක තමයි දකින දකින ගැණු ළමයි පස්සෙන් යන කෙනෙක් නොවෙන්න ඕනා. එහෙම අයට මම ආස නැහැ. ෆැමිලි ලයිෆ් එකක් කියන්නේ ගොඩක් වෙනස් දෙයක්. හෙට විවාහ වෙලා අනිද්දා දික්කසාද වෙන්න මට අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම දෙන්නාට දෙන්නා ගැළපෙන්න ඕනා.
බුද්ධික සේනාධීර
ඡායාරූප - දුලීත ශ්‍රීනාත්