මගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න කටයුතු කරනවා
අනූ නිකී කියන්නේ නවක නිරූපණ ශිල්පිනියක්. ඇය පැජන්ට් ජයග්‍රාහිකාවක්. ඒ වගේම මේ වනවිට අනූ ව්‍යාපාර ලෝකයටද පිවිසෙමින් සිටිනවා. මෙවර සාරවිට කතාබහ අනූ නිකී සමගින්.
අනූ, නව වසර කොහොමද?
2021 තවම ලැබුවා විතරයිනේ. මේ අවුරුද්ද සුභ වෙයි කියලා හිතනවා. සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වසරේදී මගේ අළුත්ම ව්‍යාපාරය සමග තමයි වැඩි කාලයක් ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ.
මොකද්ද ඔබේ ව්‍යාපාරය?
ඒක කාන්තා ඇඳුම් ව්‍යාපාරයක්. ඒකේ නම ඕරා ෆැෂන්. හෑන්ඩ්ලුම් සාරි වගේ දේවල් තමයි බොහෝමයක් අලෙවි කරන්නේ.
ව්‍යාපාරයකට යොමු වුණේ නිරූපණයෙන් සමුගෙනද?
නැහැ නැහැ. නිරූපණයෙන් අයින් වෙලා නැහැ. නිරූපණයට මම හැමදාමත් ආදරෙයි. ඒ නිසා ඒකෙන් අයින් වෙන්නේ නැහැ. ඇත්තටම මම ඉගෙනගත්තේ බිස්නස් පැත්ත. මම ගිණුම්කරණය වගේ විෂයන් ආසාවෙන් හැදෑරුවා. ව්‍යාපාරික කාන්තාවක් වීමේ හීනයක් මට පාසැල් යන කාලේ ඉඳලාම තිබුණා. ඒ ගමනට යන පාරේ තමයි දැන් ඉන්නේ.
අනූ නිරූපණයට ඇවිත් කොච්චර කාලයක් වනවාද?
මම 2014දි වගේ රොසෑන් ඩයස් මහත්මියගේ ක්ලාස් එකට සම්බන්ධ වෙනවා. ඒ වගේම නික් ජයමහ සර් යටතේත් නිරූපණය ඉගෙනගත්තා. ඒ තැන්වලින් ලැබුණු සම්බන්ධතා මත ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් සමග වැඩ කරන්න ලැබුණා. ඊටපස්සේ විශ්ව පෙරේරාගේ Ceylon Magestic - 2017 පැජන්ට් එකට සහභාගී වෙනවා. ඒක මගේ පලමු පැජන්ට් එක. ඒ පැජන්ට් එකෙන් miss catwalk - 2017 ටයිට්ල් එක මම දිනාගත්තා. ඒ ජයග්‍රහණයත් සමග නිරූපණ ක්ෂේත්රයේ මගේ ගමන ශක්තිමත් වුණා.
මේ වනවිට දායක වුණු නිර්මාණ ගැන කිව්වොත්?
මියුසික් වීඩියෝ, වෙළඳ දැන්වීම් රැසකටම සම්බන්ධ වෙලා තිබෙනවා. මම රංගනයට ලොකු නැඹුරුවක් නැහැ. ඉතින් ගොඩක්ම ෆොටෝ ෂූට් වලට තමයි ආරාධනා ලැබෙන්නේ.
ව්‍යාපාරයයි නිරූපණයයි එකට කරගෙන යන්න පුළුවන්ද?
ඔව්. ඒ දෙකම මම සමබරව කරගෙන යනවා. හැබැයි මේ දවස්වල රටේ තිබෙන තත්ත්වය නිසා ගොඩක්ම එළියට යන්නේ නැහැ. ඒ නිසා දන්නම අයත් එක්ක තමයි වැඩ කරන්නේ. මේ අවුරුද්දේදි මම කිව්වා වගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න වැඩි ඉඩක් ලබාදෙනවා.
නිරූපණයට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ඒ ගැන නම් කියන්න වචන නැහැ. මම පවුලේ එකම ළමයා. අම්මායි තාත්තායි දෙන්නම ගුරුවරු. ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මායි තාත්තායි තමයි මේ හැමදේකම පිටිපස්සේ ඉන්නේ.
නිරූපණය ගැන හැදෑරීමක් අවශ්‍ය වන්නේ ඇයි?
නිරූපණය විතරක් නෙවෙයි. හැමදෙයක්ම ඉගෙනගෙන වැඩ කරනවා නම් ක්ෂේත්රය ගැන හොඳ අවබෝධයක් නිර්මාණය වෙනවානේ. එතකොට ලොකු ගමනක් යන්න පුළුවන්. පැවැත්මක් තිබෙනවා.
නිරූපණ ක්ෂේත්රය ගැන ඔබ හිතන්නේ කොහොමද?
හැමදේකම හොඳ සහ නරක දෙකම තියෙනවානේ. නිරූපණයෙත් එහෙමයි. මම ක්ෂේත්රයට ආදරෙයි. හැමෝම සමග සහයෝගයෙන් ආදරයෙන් වැඩ කරනවා.
උදව් කරපු අය ගැන කියමු?
මගේ අම්මායි තාත්තායි මුලින්ම මතක් කරන්න ඕනේ. එතකොට රොසෑන් ඩයස් මහත්මිය, නික් ජයමහ සර්, විශ්ව පෙරේරා අයියා. ඒ වගේම ක්ෂේත්රයේ සහ ක්ෂේත්රයෙන් පිට ගොඩක් අය උදව් කළා. ඒ හැමෝටම ස්තූතියි කරනවා.
කැළුම් දේවින්ද