මගේ ලොකුම බලාපොරොත්තුව තමයි රූපවාහිනී නිවේදිකාවක් වීම
පසුගිය වසරේ විවිධ තරග ඔස්සේ අවුරුදු කුමරිය වූ ඇය නමින් යුගානි විදුෂිකා වෙයි. රූපවාහිනී නිවේදිකාවක් වීමට සිහින මවන ඇයගේ කලාකටයුතු පිළිබඳව කතාබහ කිරීමට අපත් සමග මෙලෙස එක්විය.
ඔබ ගැන ඔබේ රසිකයන්ට හඳුන්වාදීමක් කරන්නේ කොහොමද?
මම යුගානි විදුෂිකා. වයස 23යි. දැනට විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා උපාධිය හදාරනවා. ඊට අමතරව මානව සම්පත් කළමනාකරණ උපාධියක් හදාරනවා.
ඒ කියන්නේ ඔබ දැනට රැකියාවක් කරන්නේ නැද්ද?
රැකියාවක් කරන්නේ නැහැ. ඉගෙනීම් කටයුතු පමණයි කරන්නේ.
ඔබ නිරූපණ ක්ෂේත්‍ර‘යේ දායක වුණු වැඩකටයුතු ගැන කීවොත්?
අන්තිමටම දායක වුණේ Beauty Queen Content එකට. mega life ආයතනය මගින් එය පැවැත්වූයේ. එහි වට තුනක් තිබුණා. ඉන් අවසාන වටයට තේරිලා දෙවන ස්ථානය ලබාගන්න හැකිවුණා. ඊට අමතරව රූපවාහිනී අවුරුදු කුමරිය බවට තේරී පත්වුණා. ඒ වගේම කප්රුක අවුරුදු කුමරිය වුණා. එහි ලොකු තරගයක් තිබුණා. මොකද එහි 500කට අධික තරගකාරිනියන් පිරිසක් හිටියා.
ඔබ වෘත්තියක් වශයෙන් තෝරාගන්නේ කුමන ක්ෂේත්රයක්ද?
රූපවාහිනී නිවේදිකාවක් වෙන්න කැමැත්තෙන් ඉන්නවා. දැනට අධ්‍යාපන කටයුතු කරන ගමන් ඉන්නේ. මේ වෙද්දි රූපවාහිනියෙන් ආරාධනා ලැබිලා තියෙනවා. ඒවාට දායක වෙන්න කැමැත්තෙන් ඉන්නෙ.
ඒ කියන්නේ ඔබ දැනට නිවේදන කටයුතුවල නියැළෙනවාද?
දැනට චැනල් එකක නිවේදන කටයුතු නම් කරන්නෙ නැහැ. නමුත් විවිධ Events වල නිවේදන කටයුතු කරනවා.
ඔබගේ ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු ගැන කතා කළොත්?
ඉගෙනීම පැත්තෙන් බැලුවොත් මගේ එක උපාධියක් නිම වෙන්න තව අවුරුදු එකහමාරක වගේ කාලයක් තියෙනවා. මගේ ලොකුම බලාපොරොත්තුව තමයි රූපවාහිනී නිවේදිකාවක් වීම. ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු මේ දිනවල කරගෙන යනවා.
ඔබ රූපවාහිනී අවුරුදු කුමරිය වීම නිවේදිකාවක් වීමේ සිහිනයට අඩිතාලමක් වුණාද?
අනිවාර්යෙන්ම. මම ඒ තරගයට ඉදිරිපත් වුණේ නිවේදිකාවක් වීමේ ආශාවෙන්. මගේ ජයග්‍රහණයත් එක්ක ඒ සියලු දේ හරි ගියා.
ඔබ නිරූපණ වැඩකටයුතු සඳහා සහභාගී වුණේ නැද්ද?
මම Bridle Modeling කරලා තියෙනවා.
ඔබගේ වැඩකටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
රංගනයට වඩා නිවේදිකාවක් වීමට ගෙදරින් මට උදව් ලැබෙනවා. අපේ අම්මා මට ගොඩක් උදව් කරනවා. විශේෂයෙන් කීවොත් මේක අපේ අම්මාගේ හීනයක්. අම්මා තමයි මේ හැමදේටම මගේ පිටුපසින් ඉන්නේ. අම්මා, තාත්තා, මල්ලී කියන මේ මගේ පවුලේ අය මට ගොඩක් ලොකු සහයක් දෙනවා.
නිවේදනය පිළිබඳ හැදෑරීමක් කරලා තියෙනවාද?
ඔව්. මම 2013 දී ප්‍රවීණ නිවේදක ධර්මසිරි වික්‍රමනායක මහතා යටතේ නිවේදන පාඨමාලවක් හැදෑරුවා. එහිදී හොඳම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස මාව තේරී පත්වුණා. එතැනදී තමයි මට හිතුණෙ මට මේ දේ කරන්න පුළුවන් කියලා. ඉන්පසුව තමයි මට නාළිකාවකට ඉල්ලුම් කරන්න ඕන කියන අදහස ආවේ.
ඔබට අතහිත දුන් මතක් කළයුතු පිරිසක් ඉන්නවාද?
ඔව්. මට මේ දේවල්වලට මගේ පාසල ගොඩක් ලොකු රුකුලක් වුණා. මොකද මම කලාවට සම්බන්ධ වෙන්න හිටපු කෙනෙක් නෙවෙයි. ඒ වගේම මගේ නාට්‍ය හා රංගකලාව පිළිබඳ ගුරුවරුන් වන ලංකා සිරිවර්ධන සහ උපුලි ජයසේකර මිස් මතක් කළ යුතුයි. අම්මා, තාත්තා, මල්ලී ඇතුළු පවුලේ සැමත්, මා වෙත උපකාර කළ සියලුම දෙනාටත් මම මේ අවස්ථාවේදී ස්තූතිවන්ත වෙනවා.
Dilan Chryshantha / Pix - Kaveeth Milindha