මගේ පෞද්ගලික අත්දැකීම් එක්ක මම පොතක් ලිව්වා
රජරට විශ්වවිද්‍යාලයත් සමග දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කලා
රංගනයෙන් ඉපැයූ මුදල්වලින් ළමා නිවාස, පාසල් සංවර්ධනය කරන නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන මිෂෙල් දිල්හාරාට පසුගිය වසරේ විශිෂ්ට සම්මානයක්ද හිමිවිය. එබැවින් මේ වනවිට සමාජ සුබසිද්ධිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන මිෂෙල්ගේ නවතම කටයුත්තක් පිළිබඳව කතා කිරීමට අප ඇය සමග මෙලෙස එක්විය.
මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දවස්වල නාට්‍යය පැත්තෙන් ගත්තොත්, "හාරත හේරා" නාට්‍යයේ රූගත කිරීම් කරනවා. තවත් අලුත් නාට්‍ය තුනක වැඩකටයුතු කරගෙන යනවා. ඒ ඉරේෂ් ලොකුබණ්ඩාර සර්ගේ %වරමද්ද^, නිමල් රත්නායක සර්ගේ %කිසා^ සහ තිළිණ බොරලැස්ස සර්ගේ %අපි නොවන අපි^ කියන නාට්‍ය. ඊට අමතරව සමාජ වැඩකටයුතු පැත්තෙන් දැනට වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථානයක් විවෘත කලා. ඒක සහ සමාජ අදෘශ්‍යමානතාවය ගැන දැනුවත් වීමේ වැඩසටහන් කිහිපයක් රජරට විශ්වවිද්‍යාලය සමග මූලිකව කරගෙන යනවා.
ඔබේම පොතක් එළිදැක්වූවා නේද?
ඔව්. මම පොතක් එළිදැක්වූවා. හැබැයි මම ඊට කලින් මගේම න්‍යායක් නිකුත් කළා. %Theory of Alternative Social Cogwheel^ කියලා. ඒක 2018 වසරේදී තමයි නිකුත් කළේ. 2018දී ඒ න්‍යායට මට %Asia Inspiration Award 2018^ සම්මානය ලැබෙනවා. ඊට පස්සේ 2019දී අවුරුදු හතරක රිසර්ච් එකකින් පස්සේ මගේ පෞද්ගලික අත්දැකීම් එක්ක මම පොතක් ලිව්වා %Social Invisibility is not a Fiction it Exists^ කියලා. ඒ පොත 2019දී මම එළිදැක්වූවා.
ජාත්‍යන්තරයට තමයි ඒ පොත එළිදැක්වූයේ. එය ඇමසන් එකෙන් තමයි පබ්ලිෂ් කළේ. ඒ පොතට සහ එහි සඳහා කරලා තිබුණ කරුණු වගයක් හේතුවෙන් මට සම්මානයක් ලැබුණා. ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවරෙදි පැවැත්වුණු ලෝක තරුණ සමුළුවේ, %National Youth Icon Award 2019^ එක.
රජරට විශ්වවිද්‍යාලය සමග එකතුවෙලා කරන වැඩේ මොකක්ද?
මම සමාජ අදෘශ්‍යමානතාවය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් වගයක් කරගෙන යනවා. ඒකේ පළවෙනි පියවර විදිහට රජරට විශ්වවිද්‍යාලයත් එක්ක ඒ දැනුවත් කිරීමේ වැඩසටහනක් මම ආරම්භ කළා. ඒකේ රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන අංශයේ රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දුමින්ද ගුරුගේ මහතා සහා කථිකාචාරිනී නදීකා රත්නායක මහත්මියගේ ආරාධනයෙන් රජරට විශ්වවිද්‍යාලයේ %සමාජ අදෘශ්‍යමානතාවය (social invisibility)^ ගැන දේශන පැවැත්වුවා. ඒ අයත් එක්ක ඒ දේවල් දිගටම කරගෙන යනවා. අපේ ඉලක්කය විශ්වවිද්‍යාල මට්ටමින් සහ පාසල් මට්ටම. ඔවුන් තමයි ඊළඟ පරම්පරාව. ඔවුන් තමයි ඉදිරියේදී සමාජයත් එක්ක වැඩ කටයුතු කරන්නේ. ඒ නිසා ඒ පිළිබඳව නොමිලේ වැඩසටහන් අපි කරගෙන යනවා.
සමාජයේ යහපත වෙනුවෙන් ලොකු කැපකිරීමක් දරනවා නේද?
ඇත්තෙන්ම මම ක්ෂේත්රයට එන්නත් කලින් තමයි සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වුණේ. හැබැයි මට කරන්න පුළුවන් ප්‍රමාණය ගොඩක් අඩුවෙන් තිබුණේ. මම අවුරුදු 15 ඉඳන් 21 වෙනකන් ළමා නිවාසවල ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරියක් විදිහට කටයුතු කළා. මම දැනට අවුරුදු දෙක හමාරක් වෙනවා ක්ෂේත්රයට ඇවිල්ලා. මම රංගන ශිල්පිනියක් වුණායින් පස්සේ ලැබුණු මාධ්‍ය සහය ඒ හැමදෙයක්ම මම සමාජ සේවා කටයුත්ත වෙනුවෙන් භාවිතා කරන්න ඕනේ කියලා හිතුණා. ඒ නිසා අවුරුදු 15දි පටන් ගත්ත එක අද වෙනකොට හැමෝගේම විශ්වාසයත් එක්ක ලොකු දෙයක් කරන්න පුළුවන් වුණා කියලා විශ්වාස කරනවා. ප්‍රජා මධ්‍යස්ථානය වුණත් විවෘත කරද්දී ගොඩක් ළමුන් මේ සඳහා සම්බන්ධ වුණා. දිවුලපිටියේ තමයි එම ප්‍රජා මධ්‍යස්ථානය තියෙන්නේ. මගේ ඉලක්කය තමයි තව මාස 06කින් වැඩිහිටියන් 100 දෙනෙක්වත් ප්‍රජා මධ්‍යස්ථානයත් එක්ක සම්බන්ධ කිරීම.
ඉදිරියේදී තියෙන ලොකුම බලාපොරොත්තුව මොකක්ද?
ප්‍රධාන වශයෙන් ප්‍රජා මධ්‍යස්ථානයේ වැඩකටයුතු තමයි කරගෙන යන්නේ. දැනට පටන් අරන් සතියක් වගේ ඇති. වැඩිහිටියන්ට දැන් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි විශ්‍රාම ගියාට පස්සේ ඒ අයට මොකද වෙන්නේ කියන එක. එයාලා ගෙදර තනිවෙනවා. වැඩිහිටි නිවාසවලට යනවා. ළමුන් ඈත්වෙලා වෙන්න පුළුවන්. ඒ දේවල් එක්ක එයාලා තනිවෙනවා. ඒ තනිකමත් එක්ක ඔවුන් රෝගවලට ගොදුරු වෙනවා. මේ වගේ තනිවෙච්ච පිරිසක් එක තැනකට ගෙනල්ලා නැති වුණු සම්බන්ධතා නැවත ඇති කරන්න පුළුවන් වාතාවරණයක් සහ තැනක් තමයි මේ වැඩිහිටි ප්‍රජා මාධ්‍යස්ථානයක් කියන්නේ. ඒ අයට ඇවිත් විනෝද වෙන්න, සින්දු අහන්න බණපොත් කියවන්න, කැරම් ක්‍රීඩා කරන්න වගේ දේවල් තියෙනවා. මාසෙට දෙපාරක් අපි බණ දේශනාවක් තියෙනවා.
තමන්ගේ මිතුරන් සමග සම්බන්ධතාවක් ගොඩනගන්න තමයි මේ ප්‍රජා මධ්‍යස්ථානය ඔස්සේ ලබා දෙන්නේ. මේ ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. සමාජ අදෘශ්‍යමානතාවය පිළිබඳව ඇතැම් දෙනා දන්නවා වුණාට, මේකට ගොදුරු වෙලා ඉන්න පිරිස කවුද, මේක අවම කරන්න පුළුවන් කොහොමද මේ සමග ඇතිවෙන ලෙඩ රෝග මොනාද කියන දේ ගොඩක් අයට අදහසක් නැහැ. ඒ පිළිබඳව තමයි වැඩිපුර අපි දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ.
Dilan Chryshantha