මගේ පෙනුමෙන් මාව මනින්න එපා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200418Sudeeksha-(1)එකිනෙකට වෙනස් විවිධ චරිත හරහා නිතර දුටු රංගන ශිල්පිනියක් ලෙස සුදික්ෂා සමාධි පෙරේරා හැඳින්විය හැකිය. මේ දිනවල ඇය ප්‍රේක්ෂක ඔබට දකින්නට ලැබෙන්නේ දෙරණ රූපවාහිනි නාළිකාවේ දිග හැරෙන ‘හේලී’ ටෙලි නාට්‍යයේ ‘නතාෂා’ චරිතය හරහාය. මෙවර ‘සාරවිට’ තරු කතාබහට අප හා එක් වන්නේ ඇයයි.

‘හේලී’ ටෙලි නාට්‍යයේ ‘නතාෂා’ කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙකු ආදරය කරන චරිතයක්?

ඇත්තටම, ඔව්, ලැබෙන රසික ප්‍රතිචාරත් එක්ක මට ඒක දැනෙනවා. මේ අවස්ථාවේදී ‘නතාෂා’ කියන චරිතය මට ලබාදුන් ‘හේලි’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ධනුෂ්ක රත්නායක අයියාට ස්තුති කරන්න ඕනි. ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට මම පිවිසෙන්නේ 2013 වසරේදී. එතැන් සිට මම එකිනෙකට වෙනස් විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට ගිහිල්ලා තියෙනවා. නමුත්, ප්‍රේක්ෂකයෝ මට ගොඩක්ම ආදරය කරන්න ගත්තේ ‘හේලි’ හි ‘නතාෂා’ කියන චරිතය හරහා. කොටින්ම කියනවා නම් මගේ කලා ජීවිතේ හැරවුම් ලක්ෂය විදිහට මම දකින්නෙත් මේ චරිතය තමයි.

‘හේලී’ සමගද මේ දිනවල ඔබ වැඩ කරන්නේ?

නැහැ. ‘හේලී’ ටෙලි නාට්‍යය විකාශය වුණත් මෙහි රූපගත කිරිම් මේ වනවිට අවසන් වෙලා තියෙන්නේ. දැනට මම අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා එහි රූපගත කිරිම් කටයුතුවලට දායක වෙමින් සිටිනවා. ඒ සුමුදු වෙල්ලාලගේ මහත්මයාගේ ‘මනුසත්තු’ කියන ටෙලි නාට්‍යයට. ‘මනුසත්තු’ විදිහට නම් කරලා තිබුණත් මේ ටෙලි නාට්‍යය විකාශය වෙන මෙම නමේ වෙනසක් සිදුවෙයි කියලා මම හිතනවා. ‘මනුසත්තු’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන්නේ මම.

ක්ෂේත්‍රයට ඇවිත් ඔබ කාලයක් වෙනවා. නමුත්, සුදික්ෂාව අපිට දකින්න ලැබුණේ ගොඩක් අඩුවෙන්?

ඇත්තටම, මම නිර්මාණ තෝරා බේරාගෙන රඟපාන කෙනෙක්. අනික මම කාර්යබහුල වෙන්නත් කැමති නැහැ. එක්වර නිර්මාණ ගොඩකට දායක වෙන්නත් මම කැමති නැහැ. බොහෝ වෙලාවට මම එක්වර භාරගන්නේ ටෙලි නාට්‍යය දෙකක් විතරයි. ‘හේලී’ ටෙලි නාට්‍යය විකාශය වෙන කාලයේ මට ගොඩක් නිර්මාණවලට කතා කළා. නමුත්, එක ටෙලි නාට්‍යයක් විකාශය වෙන අතරතුර මම තවත් වැඩක් භාර ගන්නේ නැති නිසා ඒවා ප්‍රතික්ෂේප කළා. ‘හේලී’ ඉවර වුණාට පස්සේ තමයි මම දැනට රූපගත කිරිම් කටයුතු කරන ‘මනුසත්තු’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. 

සුදික්ෂා අපි ඔබව බොහෝ කලා නිර්මාණ හරහා දැකලා තියෙනවා. මේ අතරින් ප්‍රේක්ෂකයෝ ඔබ ගැන කතා කරපු නිර්මාණ තියෙනවාද?

කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් ‘වස්සානේ සිහිනේ’ ටෙලි නාට්‍යයේ ‘සුරේඛා’ හා ‘පැහැසරා’ ටෙලි නාට්‍යයේ ‘ඉෂාරා’ කියන චරිත ප්‍රේක්ෂකයෝ අතර ගොඩක්ම ජනප්‍රිය වුණා. වර්තමානයේ නම් ප්‍රේක්ෂකයෝ මා ගැන ගොඩක්ම කතා කළේ ‘හේලි’ ටෙලි නාට්‍යයේ ‘නතාෂා’ කියන චරිතය හරහා.

ඔබ වේදිකාවෙන් මේ ක්ෂේත්‍රයට ආපු කෙනෙක්. පුංචි තිරේ ජයගත් ඔබ සිනමාවට එකතු වෙන්න අදහසක් නැද්ද?

මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ඒක. මම හිතන්නේ ඒකට මට තව කාලය තියෙනවා කියලා. කුඩා කාළේ ඉඳලා මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණත් මට තවත් මේ ක්ෂේත්‍රය තුළින් හදාරන්න දේවල් ගොඩක් තියෙනවා. කලා ක්ෂේත්‍රය කියන්නේ අද ඉගෙන ගෙන හෙට ඉවර කරන්න පුළුවන් ක්ෂේත්‍රයක් නෙමෙයි. හැමදාම මෙහි යම් දෙයක් තියෙනවා ඉගෙන ගන්න. ඒ හින්දා හැදෑරිමෙන් පරිපුර්ණ වුණාම මම හිතනවා මට සිනමාවට එකතු වෙන්න පහසුයි කියලා. 

ඔබ පෙනුමෙන් නම් ටිකක් නපුරුයි. සැබෑ ජිවිතේත් ඔබ එවැනි චරිතයක්ද?

අපෝ නැහැ. මගේ පෙනුම දුටුවාම බොහෝ දෙනෙකුට හිතන දෙයක් තමයි මම ගොඩක් නපුරු ආඩම්බර කෙනෙක් කියලා. ඒත්, මාව ආශ්‍රය කළාම තමයි තෙරෙන්නේ මම කොයි වගේ කෙනෙක්ද කියලා. ඇත්තටම, මුණෙන් පේන තරම් මම නපුරු නැහැ. හරිම සුහදශිලි සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන අහිසංක කෙනෙක් මම.

බුද්ධික සේනාධීර
ඡායාරූප දුලීත ශ්‍රීනාත්

20200418Sudeeksha-(2) 20200418Sudeeksha-(3) 20200418Sudeeksha-(4)