මගේ පළමු වැනි ප්‍රධාන නොමැකෙන චරිතය 'ශිවන්‍යා'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-22-ent-01

සිරස නාළිකාවේ විකාශය වූ ‘ප්‍රේම දඩයම’ ටෙලිනාට්‍යයෙහි ‘ශිවන්‍යා’ සහ ‘ශිවන්ගි’ චරිත හඬකැවීම තුළින් කලාවට පිවිසි ඇය නමින් පූර්ණිමා විදේශිකාය. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වන ඇය නිවේදිකාවක ලෙසද කටයුතු කරන්නීය. සිය කලා කටයුතු පිළිබඳ කතාබහ කිරීමට ඇය මෙලෙස ‘සාරවිට’ට සම්බන්ධ කර ගතිමු.

 

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?2018-05-22-ent-05

මේ දවස්වල සිරස නාළිකාවේ මගේ නිවේදන වැඩසටහන් විකාශය වෙනවා. එතකොට රූපවාහිනියේ ‘කිරිල්ලියෝ’ කියලා හඬ කවපු නාට්‍යයේ ‘ඇන්ඩි’ කියන ප්‍රධාන චරිතයට හඬ කවනවා. ඒ නාට්‍යය මේ සතියේ ඉඳලා විකාශනය වෙන්න ගත්තා. ඊට අමතරව විශ්වවිද්‍යාල උපාධියේ අධ්‍යයන කටයුතුවල නිරත වෙනවා. මියුසික් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

 

නිවේදන කටයුතු ගැන කතා කළොත්?

මම සිරස නාළිකාවේ තමයි නිවේදන කටයුතු කරන්නෙ. ‘හරි රහ’, ‘සිරසාලින්දය’ ඇතුළු වැඩසටහන් කිහිපයක නිවේදන කටයුතු කරනවා.

 

හඬ කැවීම් කටයුතු ගැනත් කතා කරමු?

මම ‘ශිවන්‍යා’ චරිතයෙන් පස්සේ ‘දෙරණ’ නාළිකාවේ ‘කිඳුරු කුමරා’ නාට්‍යයේ හඬ කැවීම්වලට දායක වුණා. ඊට පස්සේ ඩාන්ස් ඇකඩමි එකේ ‘ඇබිකල්’ කියලා චරිතයක් කළා. ඒකත් ප්‍රධාන චරිතයක්. රූපවාහිනියේ මගේ පළමු වැනි හඬ කැවීම ‘ඇන්ඩි’ කියලා චරිතයක්, ‘කිරිල්ලියෝ’ කියන නාට්‍යයයේ. ඊට අමතරව ඇනිමේෂන් ෆිල්ම්ස්, ඩ්‍රාමාවල හඬ කැවීම් කරනවා.

 

‘ශිවන්‍යා’ට පසුව නේද ඔබට හඬ කැවීම් ක්‍ෂේත්‍රය තුළ නමක් නිර්මාණය වෙන්නෙ?

ඔව්. හඬ කැවීම්වලට මූලික පියවර තියන්නේ ශිවන්‍යා තුළින්. මගේ පළමු වැනි ප්‍රධාන චරිතය සහ නොමැකෙන චරිතයක් තමයි ‘ශිවන්‍යා’ සහ ‘ශිවන්ගි’ කියන චරිත දෙක. එතැනින් පස්සෙ තමයි අනෙක් අවස්ථාව හැදුණේ. ඒ ප්‍රතිචාර දැනටත් තියෙනවා. අදටත් මාව මිනිස්සු හඳුනා ගන්නෙ ඒ නමින්.

 

නිවේදනයට හා හඬ කැවීම්වලට අමතරව රංගනයට අවස්ථාවක් ලැබුණේ නැද්ද?

අවස්ථා රැසක් ලැබුණා. ඒත් මම හරිම කාර්යබහුලයි. මගේ අධ්‍යාපන කටයුතු තවම ඉවර නැහැ. නිවේදනය සහ හඬ කැවීම් කටයුතු නිසා මට දින පිළිබඳ ගැටලුවක් ආවා. ඒක නිසා මම ඒ දේවල් ටිකක් පසුවට කල්දැම්මා. මම ගීත ගායනයට ඊට වඩාත් කැමැතියි. නමුත් හොඳ චරිතයක් ලැබුණොත් සමහර විට මම ඒ චරිතය බාරගෙන කරාවි.

 

නිවේදනය සහ රංගනය අතරින් වැඩියෙන්ම කැමැත්තක් දක්වන්නේ මොන ක්‍ෂේත්‍රයටද?

මම මේ ක්‍ෂේත්‍ර දෙකටම එක වගේම කැමැතියි. ඒත් මම වැඩියෙන්ම කැමැත්තක් දක්වන්නේ මියුසික්වලට. ගිටාර් ප්ලේ කරනවා, සින්දු කියනවා. නමුත් මට ඒ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට එන්න නම් තව කාලයක් ගත වෙයි. මගේ ජීවිතේ මම වැඩියෙන්ම ආදරය කරන්නේ මියුසික්වලට.

 

‘ෂැඩෝ ඩ්‍රාමා’ ක්‍ෂේත්‍රයට මොකද වුණේ?

මම ‘ෂැඩෝ ඩ්‍රාමා’ අවුරුදු දෙකක් පමණ කළා. දැන් මම ‘ෂැඩෝ’ කරන එක නවත්තලා තියෙන්නේ. ඊට අමතරව මම ජිම්නාස්ටික් ක්‍රීඩාව තුළින් අන්තර්ජාතික මට්ටම දක්වා ගිහින් තියෙනවා. එතකොට සටන් කලාවන් දෙකක් යම්තාක් දුරකට මම හදාරලා තියෙනවා.

 

නිවේදනය සහ හඬ කැවීම් තුළින් පැමිණි ගමන ගැන තෘප්තිමත් වෙනවාද?

ඔව්. මම මුලින්ම ෆීල්ඩ් එකට එන්නේ පොඩි කාලෙදි මියුසික්වලින්. ‘මුතුහර’ වැඩසටහන තුළින්. එතැනින් පසුව තමයි මම හඬ කැවීම්වලට පැමිණෙන්නෙ. ඒක නොහිතපු වෙලාවක මට ලැබුණු අවස්ථාවක්. මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂයක් ඒක. මට කලාව පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා මම දන්නවා. නමුත් මේතරම් ඉක්මනට මේතරම් දුර එන්න ලැබෙයි කියලා නම් හිතුවේ නැහැ. අදටත් මිනිස්සු ඒ නම කියලා මට කතා කරනවා, මට ආදරය කරනවා. මට කලාව පැත්තෙන් හදාගන්න බැරි වුණේ මියුසික් පැත්ත තමයි. ඒකත් මම ළඟදීම කරනවා. මගේ වයස අවුරුදු 22යි. මේ වයසට මගේ ගමන ගැන සහ මම කරපු දේවල් ගැන තෘප්තිමත් වෙනවා.

 

මේ පැමිණි ගමනේදී ගැටලු මතු වුණේ නැද්ද?

ඒක ගැන කතා කරන්නම ඕන. ඕනෑම දෙයක් අපට ලේසියි කියන්න බැහැ. ඕනෑම කෙනෙකුට යම්කිසි තැනකට එන්න නම් මහන්සි වෙන්න ඕන. විශේෂයෙන් මේ කලාව කියන දේ තුළ රැඳී සිටින එක අමාරු දෙයක්. කලාව වෘත්තිය කරගෙන ජීවත් වෙනවා කියන එක කරන්න බැහැ. අපි වෘත්තීය ජීවිතේ වෙනම හදාගන්න ඕන. අපට කැපිලි කෙටිලි එන්න පුළුවන්. මට දැනට එහෙම ලොකුවට කැපිලි කෙටිලි ඇවිත් නැහැ. මම මගේ වැඩ කරගෙන පාඩුවේ ඉන්නවා. මම කාටවත් කපන්නේ නැහැ. ඒ නිසා මටත් කැපිලි කෙටිලි නැහැ. තමන් හොඳට ඉන්නවා නම්, තමන් තමන්ගේ හිතට එකඟව වැඩ කරනවා නම් මම හිතන්නේ කිසි කෙනෙකුට වරදින්නේ නැහැ කියලා. බාධක නම් ගොඩක් ආවා, කාලය සහ වැඩ කළමනාකරණය ගැන. ඒ ඇරෙන්න ඉතින් ප්‍රශ්නයක් වෙලා නැහැ.

 

නවකයන් ක්‍ෂේත්‍රයට එකතු වෙද්දි ඔබත් නවකයෙක් වෙද්දි තරගකාරීත්වයක් ගොඩනැගෙන්නේ නැද්ද?

මෙහෙමයි. ගොඩක් අය උත්සාහ කරනවා මේ ක්‍ෂේත්‍රයට එන්න. සමහර විට ගොඩක් දක්‍ෂ අය ඉන්න පුළුවන් මේ තැනට එන්න බැරි. නමුත් ක්‍ෂේත්‍රයක රැඳී ඉන්නවා කියන්නේ ගොඩක් අමාරු කාර්යයක්. දක්‍ෂතාව තිබුණට මදි, අවස්ථාව ලැබෙන්න ඕන. මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වෙන්න ඕන, වාසනා ශක්තිය අනිවාර්යයෙන් ඕන. අනිවාර්යයෙන්ම උත්සාහය තියෙන්නත් ඕන. එහෙම තමයි ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්න පුළුවන් වෙන්නේ. අනිත් එක තමයි යහපත්ව හොඳ නමක් තියාගෙන රැඳී ඉන්න එකත් වැදගත්.

 

අපි කතා කරමු ඉදිරි කටයුතු සහ ඉදිරි බලාපොරොත්තු ගැන?

ඉදිරි වැඩ ගැන කිව්වොත් මගේ විශේෂවේදී උපාධියේ කටයුතු කරගෙන යනවා, කැලණිය විශ්වවිද්‍යාලයේ. මගේ උපාධිය සම්පූර්ණ කරන එක පළමුවැනි කාරණය. ඊට පස්සේ තමයි මගේ ෆීල්ඩ් එකේ වැඩ ගැන හිතන්නේ. මගේ තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි රටේ මිනිස්සුන්ගේ යහපතට දෙයක් කිරීම. හොඳට ඉගෙන ගෙන, හොඳට මුදල් හොයලා රටේ නැතිබැරි මිනිස්සුන්ට උදවු කිරීම. මම දැනටමත් මේ පොඩි වයසට මිනිස්සුන්ට පුළුවන් විදියට උදවු කරනවා. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

Makeup - Dilhani Madhu Fernando

 

  2018-05-22-ent-04 2018-05-22-ent-03 2018-05-22-ent-02